අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතිහාසයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ කිරීමට රජය සූදානම් බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
නිදහස් චතුරස්‍රයේදී අද (04) උදෑසන පැවැති 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පැරණි අගතීන් නව මානව සංවර්ධනයට බාධා වන්නේ නම් ඒ සියල්ලට එරෙහිව රජය තීරණාත්මක පියවර ගන්නා බවයි.
යටත්විජිත පාලනයෙන් නිදහස ලබාගැනීම සඳහා අපේ මුතුන් මිත්තන් කළ කැපකිරීම් කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලු වීරෝධාරයින්ට ගෞරවය පුද කළ යුතු බවත් සඳහන් කළේය.
“ගොඩනඟමු ශ්‍රී ලංකා” යන මෙවර නිදහස් දින තේමාව යථාර්ථයක් කර ගැනීමට නීතියේ ආධිපත්‍ය, ජාතික සමගිය සහ ශක්තිමත් ආර්ථික පදනම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.
දැනුම, නව තාක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය මත නව ශ්‍රී ලංකාවක් ගොඩනඟන බවත්, ජාතිවාදය සහ අන්තවාදය රටේ ශක්තිය දුබල කරන බැවින් ඒවාට කිසිදු ඉඩක් නොදෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එක්ව ගමන් කළහොත් පමණක් දිගු දුරක් ගොස් රට ගොඩනඟා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සියලු ජනතාවට එකමුතුවෙන් ශ්‍රී ලංකාව නැවත ගොඩනඟන ලෙස ආරාධනා කළේය.
SOURCE : sinhala.adaderana.lk

