අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමෙන් අඩියක්වත් පසුබැස නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.
පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමඟ අද (17) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, දැනට දියත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
ඇය වැඩිදුරටත් කියා සිටියේ, මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන් දීර්ඝකාලීන ක්‍රියාවලියක් ලෙස සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු සහ විදුහල්පති බඳවා ගැනීම්, ඩිජිටල් තාක්ෂණික උපකරණ බෙදාහැරීම් නිරන්තරයෙන් සිදු වෙමින් පවතින බවත්ය.
එවන් බරපතළ හා වැදගත් ක්‍රියාවලියකදී, සුළුතර කණ්ඩායම් විසින් ඔවුන්ගේ පටු අරමුණු ඉටු කරගැනීම සඳහා ඉදිරිපත් කරන විරෝධතා නොසලකා, රජය සහ අධ්‍යාපන නිලධාරීන් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරගත යුතු බව ද ඇය අවධාරණය කළාය.
මෙය දරුවන්ගේ අනාගතය හැඩගස්වන අතර, සමස්ත රටේ ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන ක්‍රියාවලියක් වන බැවින්, ඒ පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
එසේම, අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ විශේෂ වැඩසටහන් සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවත්, යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව ඩිජිටල් අධ්‍යාපන පහසුකම් ලෙස අන්තර්ක්‍රියාකාරී තිර සහ අන්තර්ජාල සබඳතා, මුල් මාස දෙක ඇතුළත තෝරාගත් ද්විතීයික පාසල්වලට ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඇය සඳහන් කළාය.
SOURCE: sinhala.adaderana.lk

