SL Media Hub

SL Media Hub - Header

අපි අත් විදින යථාර්ථයේ ස්වභාවය ! – (විශේෂ ලිපිය) සුරත් චාමර විදානපතිරණ

” ….. අපට මේ හමුවෙන යථාර්ථයට එහා එය ඉක්මවා යන පරම අර්ථයක් ඇති බවත් එය තේරුම් ගත්තොත් දැන් අත් දකින යථාර්ථය ඔබ ඉදිරියේම බිදී ඔබට නිරන්තරයෙන් සත්‍යය අත්දැකීමක් වන බවත් …..”
( බෞද්ධ දර්ශනයේ මූලික ඉදිරිපත් කිරීම් පිළිබදව ගවේෂණාත්මක ලිපිය සැකසීම : සුරත් චාමර විදානපතිරණ )

අපි අත් විදින යථාර්ථය ඇත්තටම තියෙන දේද ?

ඔයාල මේ ගැන කවදාවත් ගැඹුරට හිතුවද !
නැත්නම් මේ මොකක්ද මං කියන්න හදන්නෙ කියලා කල්පනා කරනවද ?

අපිට මේ විශ්වයේ ලෝකය තියෙනවා, එහි අපි ඉන්නවා, අපි වගේ තවත් සජීවී පුද්ගලයන් මේ ලෝකයට බිහි වෙනවා, ඒ වගේම පිරිසක් මිය ගොස් ලෝකයෙන් ඉවත් වෙනවා. ලෝකයේ මේ අයුරින් දේවල් තියෙනවා, ඇති වෙනවා, නැති වෙනවා ආදී වශයෙන් වූ ස්වභාවයක් වැටහෙනවා නේද !

මේක අපිට මෙහෙම දැනෙන්නේ කොහොමද ?

හොදට විමසලා බලන්න. එතකොට හොදට පැහැදිලි වෙයි අපේ ඇසින් දකින වර්ණ රූප, කණින් අසන ශබ්ද, නාසයෙන් විදින ගද සුවද, දිවට දැනෙන රස, සිරුරට දැනෙන පහස, මේ සියල්ල පිළිබදව මනසින් කරන සිතීම නිසා කියන කරුණු ටික නොකඩවා සිදු වීම නිසා ඒ වපසරිය අපට ඇත්‍තටම සිදුවන / තිබෙන දේ ලෙස ඉදිරිපත් වී ඇති බව.

එහෙනම් මේ අප අත් විදින යථාර්ථය ඇත්තටම ගොඩ නැගෙන්නේ කොහොමද ? අන්න ඒක ගැන තමා අපි සොයා බලන්න ඕන.

මෙතැනදී අපි මේ ගැන පෞරාණිකව සාකච්ඡා කර තිබෙන මූලාශ්‍ර ගැන බලන්න ඕන. ඒ වගේම නවීන විද්‍යාත්මක විෂයන් ඔස්සේ බලන්නත් ඕන. ඊළගට අපිම ස්වයංව මේ පිළිබදව අත්දැකීමක් ලබා ගන්න ඕන.

එතකොට අපට මේ යුගයේ හැටියට ඒ ගැන සම්පූර්ණ ගවේෂණයක් කළා වෙනවා.

ලෝකයේ අපට හමුවන පැරණිම මූලාශ්‍ර ඒ ඒ ශිෂ්ඨාචාරවලට අයත් ශිලා, මැටි හා පුස්කොල හෝ පැපිරස් ආදී යම් ආකාරයකට ස්වභාවික පරිසරයේ අමුද්‍රව්‍ය වලින් නිමවා ගත් ලේඛණ පත්‍ර මත ලියැවී ආ පසුව ඒ ඒ ශිෂ්ඨාචාරවල දියුණුවත් සමග මුද්‍රිත ග්‍රන්ථ හෝ ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයේ ගොනු බවට පත් වීම දක්වා පැමිණි හා ඓතිහාසිකව ඒවාට පරිවාර ලේඛණ සාහිත්‍යයක් ගොඩනැගීම දක්වා බිහිවූ ආගමික දර්ශන හා ඒ ඉගැන්වීම් මත පදනම් වී ගොඩනැගුනු ඒ ඒ සංස්කෘතීන් පිළිබදව කියවීම් වේ. ( අනෙකුත් සියලු දැනුම් පද්ධති පෙළ ගැසෙන්නේ ලෝකයේ මේ හර පද්ධතීන්ට අනතුරුවය. )

මේවා බිහි වන්නේ ඒවාට මූලික වූ ආගමික දර්ශන ලෝකයට ඉදිරිපත් කළ ඒ ඒ ශාස්තෲන් වහන්සේලා මුල් කොටගෙන බිහි වූ ඒ ඒ ශාසනයන් හි ආභාෂයෙනි.

මේ සියල්ලට මුල් වී ඇති ප්‍රධාන කරුණ නම් ලෝකයේ මිනිසා ඉදිරියේ ඇති මූලික ප්‍රශ්නයට විසදුම් ඉදිරිපත් කිරීම වේ.
එනම් ඉපදීමෙන් පසු අත්විදින මේ ජීවිතය මරණයෙන් අවසන් වීමයි.

” උපතට පෙර හා මරණයට පසු ඇත්තේ කුමක්ද ? “

අද දක්වා සියලු ආගමික දර්ශන ඔස්සේ විග්‍රහ කරන්නේත්, නවීන විද්‍යාව ඔස්සේත් සොයා යන්නේත්, සෑම ප්‍රඥාවන්ත ජීවියකුම පෞද්ගලිකව විචාරන්නනේත් මේ කේන්ද්‍රීය පැනයට පිළිතුරුයි.

නමුත් අපේ ප්‍රස්තූතය අනුව උපතට පසු හා මරණයට පෙර ඇති මේ ජීවිතය මනාව විමසූ විට අපට ජීවිතය කියා හමු වන්නේ, අප සිටින බවට කියා හමු වන්නේ අප කලින් පෙන්වා දී වටහා ගත් පරිදි අපේ ඇසින් දකින වර්ණ රූප, කණින් අසන ශබ්ද, නාසයෙන් විදින ගද සුවද, දිවට දැනෙන රස, සිරුරට දැනෙන පහස, මේ සියල්ල පිළිබදව මනසින් කරන සිතීම නිසා කියන කරුණු ටික නොකඩවා සිදු වීම නිසා ඒ වපසරිය අපට ඇත්‍තටම සිදුවන / තිබෙන දේ ලෙස ඉදිරිපත් වී ඇති බවයි.

මේ පිළිබදව ලෝකයේ ආගමික දර්ශන අතුරින් ඉතාම යථාර්ථවාදී ඉදිරිපත් කිරීම ඇත්තේ ථේරවාද බෞද්ධ දර්ශනයේය.
ඒ තිබෙන දේ ලෙස හැගෙමින් ඉදිරිපත් වන සියලු හටගත් දේ ඒවා හටගත් හේතු ප්‍රත්‍යයන් ගේ සිදීමෙන් අභාවයට යාමය.

එහිදී අප බෞද්ධයන් හැටියට සාමාන්‍ය වශයෙන් දන්නා පරිදි සිදු වන්නේ හටගත් සියලු දේ ඉතුරු නැතිවම අභාවයට යන නොනවතින ස්වභාවයේ පැවතීමක ( සංසාරයක ) මේ පැවතීමේ අවසානයක් නොදැක එහිම කොටසක්ව සිටිනා ( සත්වයන් ) ස්ව-භාවයන් ඇති කර ගන්නා දෘෂ්ටි ගත වීම් ලෙස ඔවුන්ට හමුවන ලෝකය සම්බන්ධයෙන් ඔවුන් පැනවීම් කරගෙන ඇති බවය ( ප්‍රපංච කොට ඇති බවය )

මේ නිසා බුදු දහම තුළ පරමාර්ථ වශයෙන් ඇත්තේ දකින ( වර්ණ රූප දැකීම ( දිට්ඨ ), අසන ( ශබ්ද ඇසීම ( සුත ), විදීම ( ගන්ධය, රස, ස්පර්ශය ( මුත ), සිතීම ( මනස ( විඥාත ) ස්වභාවයක්, ක්‍රියාවලියක් පමණි. මෙහි ඇති බවට යතාර්ථ වශයෙන් වූ කිසිවක් නැත්තේ මේ සෑම අවස්ථාවකම වන්නේ ඒ ඒ බාහිර ධර්මතාවය මේ පැත්තේ ( සත්වයා ලෙස සැලකූ ධර්මතාවය තුළින් හමුවන සංවේදී ඉන්ද්‍රිය මට්ටම් ) ප්‍රසාද ස්වභාවයේ ගැටී එතැන සිදුවන දැන ගැනීම ඇති වී යළි ඒ සියල්ලේ අභාවයට යාමෙන් නැති වී යාමය.

මෙහිදී බාහිර රූපය ( බාහිර රූප සහ මනෝ රූප ), සංවේදී ඉන්ද්‍රිය මට්ටම ( ප්‍රසාද රූප ), දැන ගැනීමේ විඥාන ස්වභාවය ( නාම ) යන ධර්මතා විෂයන් තුනක් එක්වී අරමුණු ගැනීම හා ඒවා විදීම ( ජීවිතය ) උපදවයි. ඉපිදවූ ඒ ඒ අරමුණ ඒ ඒ තැනදීම බිදී යන්නේ ඊට පාදක වූ විෂයන් තුනත් එහිම වෙන් වෙන් වශයෙන් බිදි බිදී යන නිසයි.

මේ ක්‍රියාවලිය තුළ සිදුවන්නේ උණු වතුර, තේ කොළ, සීනි එක් වූ විට තේ සෑදෙන්නාක් සේ ඒ තේක රසවිදින ලෙස ජීවිතය විදීමට තැත් කිරීමකි.

නමුත් ජීවිතය එතැන එතැනම ඉපිද එතැන එතැනම බිදුනද මතක ලෙස ඉතිරිකර ගැනීම නිසා විදීම් රැස ඔස්සේ අඛණ්ඩව පවතින ලෙසක් ( රැවටීමට ලක්ව ) දැනේ.

අඛණ්ඩව විදීම ඇති වන්නේ ඒ ඒ ධර්මතා සන්තති, පරම්පරා වශයෙන් පවත්නා හේතු නිසායි.
මේ ලෙස සංස්කාර ධර්ම ඉපිදෙමින් නිරුද්ධ වෙමින් ( සසර ලෙස ) අනන්තව අඛණ්ඩව ඇත

මේ නිසා ඇති වෙමින් නැති වන විදිනා ස්වභාවයක අඛණ්ඩත්වයක් මිස ( මේ නිසා ඒ ස්වභාවය තුළ සත්වයෙක්, පුද්ගලයකු ඇති සේ හැගෙන මෝඩ කමක් ඇත. ( මෙය අවිද්‍යාව ලෙස දැක්වේ ) සිටින බවට සිතා සිටිනා සත්ව පුද්ගල ස්වභාවයක් නැති බවත්, සම්මුතියට පමණක් ව්‍යවහාර වශයෙන් අර විදිනා ස්වභාවයක පැවතීම* හැදින්වීමට එසේ භාෂාවෙහි භාවිතා වන බවත් බුදු දහම් පැහැදිලි කර දේ.

  • අරමුණු විදීමේ ක්‍රියාවලිය ස්කන්ධ පංචකයක් ලෙස පැනවේ.
    1රූප හෙවත් අරමුණු ගැනීම ( වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප හා මෙනෙහි කිරීම් ( ධම්ම රූප ) තුළින් ඇති 2වේදනා (විදීම්), 3සංඥා (හැදිනීම්), 4සංඛාර (චේතනා), 5විඥාන (මනෝභාව) ලෙස.
    මෙහි රූප හැර ඉතිරිය නාම වේ ( නාම රූප )

නාම රූප ක්‍රියාවලියක් මිස ජීවිතය අන් කිසිවක් නොවේ.

එසේ නම් ඉපදීම හෝ මරණය යනු ක්‍රියාවලියේ ඇත්ත නොදැන මතුපිටින් යෙදූ සම්මුතීන් පමණි.

අනිකුත් සියලු ආගමික දර්ශන සැලකූ විට ඒ සියල්ල පවත්නා ලෙස වැටහෙන යථාර්ථය මත පිහිටා ඇති කරගත් නා නා විධ දෘෂ්ඨි වශයෙන් ඒ ඒ ආගමික දර්ශන ගොඩ නගාගෙන ඇති බවත්, හැම විටම භවය තුළම ඉහළ පැවැත්මක් සකස් කර ගැනීම් වශයෙන් ඒ දෘෂ්ටිගත දර්ශන සසරින් ( විදවීමෙන් ) නිදහස් විම දක්වා ඇති බවත් අප දුටුවෙමු.

බුදු දහම නිවැරදි දැක්මේ ( සම්මා දිට්ඨිය ) සිට, සසරේ මේ සරන බව නොහොත් භාෂා සම්මුතිය අනුව සත්වයන්, ස්ථිර නොමැති බව ( අනිත්‍යය ), දුකට මුහුණ දෙන බව ( දුක්ඛ ), පැනවිය හැකි පුද්ගලත්වයක් නොමැති බව ( අනාත්ම ) යන ත්‍රිලක්ෂණයටම යටත් බැවින් උසස් භවයක් වෙනුවට හැම විටම සංසාර විමුක්තිය වූ සසරින් සපුරා මිදීම වූ නිවන කරාම යොමු කරයි.

එනම් නාම-රූප සන්තතිය අවසන් කිරීම. සසරින් නිදහස් වීම.

එවිට පමණක් ඉහත කී විශ්වීය පැනය විසදීමේ මාවත හමුවේ.
එනම් අඛණ්ඩව පවතින විදින ස්වභාවය හෙවත් නාම රූප සැකැස්ම සැලකීමේදී එක් නාම රූප සැකැස්මක පවත්නා කාලය අවසන් වෙත්ම බිදී නව සැකැස්මක් ඇති වන බැවින් හා එය ක්ෂණයකදී මෙන්ම සන්තතියක් ලෙස ගත් විට රූප කාණ්ඩයක පැවැත්ම බිදී අන් රූප කාණඩයක් ගොඩ නැගෙන විට පෙර රූප කාණ්ඩය ඇසුරු කළ නාම ධර්ම පරම්පරාවම නව රූප කාණඩය සමග නව නාම රූප සැකැස්ම ගොඩ නගා ගන්නා බැවින් අනන්‍යතාව වෙනස් කර ගත්තද එකම පෙළකට වැටෙන විදින ස්වභාවය නොසිදී පවතී.

එසේ නම් උපත හෝ මරණය යනු මේ අඛණ්ඩ සසර ගමනේ නැවත නැවත හමුවන සන්ධි පමණි.

මෙහි දී දත යුතු ඉතාමත් වැදගත් අනෙක් කරුණ නම් මේ ස්කන්ධ පරම්පරා හට ගන්නා ආකාර අනුව ඒවාට ඇසුරු වන බාහිර ධර්මතාවයන් ද ඇත්තේ ඊට අනුරූප මට්ටම් පරාසයන්හි නිසා ලැබෙන අරමුණු පවා ඒ ඒ විවිධ මාන තුළ පැවතෙන බවයි.

විදින ස්වභාවය පහළ වූ තත්වය ( භවය ) අනුව තිස් එක් තලයක් බුදු දහමේ විස්තර වන්නේ ඒ නිසාය.
එසේම මේ භව මට්ටම් ගත් විට එක් භවයක සත්වයන්ට වෙනත් සත්ව භවයක් ඇසුරු වීම හෝ නොවීම ඒ ඒ ධර්මතාවයන් යෙදෙන ආකාරයන් අනුවම තීරණය වේ.

ජීවිතය ලෙස වර්තමානය ලෙස ලැබෙන විදීම සේම මේ හටගත් ස්කන්ධ සමූහය ට පෙර ස්කන්ධ සමූහයක් නිසැකවම වූ බව හා විදීම වූ බව පැහැදිලි ය.
එසේම, මේ හටගත් ස්කන්ධ සමූහය ට පසු ස්කන්ධ සමූහයක් නිසැකවම ඇති වන බවද හා විදීමක් වන බවද පැහැදිලි ය.
නමුත් පරම අර්ථ වශයෙන් මේ සෑම සන්තතියකම ගොඩ නැගීම් බිද වැටීම් වන කෙටිම අවස්ථා ගත් විට ඒ ක්ෂණය තුළිනුත් මෙහි ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය ප්‍රකට වේ.

ඒ සෑම මොහොතකම ඇත්තටම සිදු වූයේ සත්ව පුද්ගල භාවයෙන් තොර හුදු ස්කන්ධයන් ගේ ඇතිව නැතිව යාමක් පමණි.
අවිද්‍යාව නිසා අප විසින් අප එහි ඇතැයි, සිටියි රැවටීමට යනු ලැබිණි.

මෙය තේරුම් ගත් විට ඉපදුනු හෝ මැරෙන කෙනෙක් නැති බවත්, එය සිතේ අවිද්‍යාව අනුව හට ගත්තක් බවත් ඒ උපන් නුවණට වැටහේ.
හුදු විදීම් සන්තතියක් පමණක් ඇති බවත් එය අවසන් කරන තුරු දුකෙහි අවසානයක් නොවන බවත් ඒ නුවණට වැටහේ.

ඒ නිසා මෙය අවබෝධ කළ පසු ඒ නුවණැත්තන් සිදු කරන්නේ ඒ අවසානය උදා කර ගැනීමට වෑයම් කිරීමයි.

මෙසේ උපතට පෙර හා පසු සහ මරණයට පෙර හා පසු තත්වයන් පැහැදිලි වීම සමග වැඩී ඇත්තේ හේතූන් නිසා හටගත් ඵල ඒ හේතූන් ගේ අභාවය අනුව අභාවයට යන බව අවබෝධ කරවන ‘ බෞද්ධ ධර්මයෙහි ‘ පනවා ඇති පටිච්ච සමුප්පාද විෂය යි.

එතැනදී මෙතෙක් ලෝකය ලෙස හමු වූ විෂයෙහි යථාර්ථය වැටහී ඇති බැවින් එහි ඇලීම් හෝ ගැටීම්, එය සැබෑවක් කර ගැනීම් ගෙවී, දුරු වී ගොස් සසරින් නිදහස් වීම ප්‍රත්‍යක්ෂ වේ.

විශ්වයේ සත්‍යය මෙතැනදී නිරාවරණය වේ. සෙවීමද අවසන් වේ 🙏

සුරත් චාමර විදානපතිරණ

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top