SL Media Hub

SL Media Hub - Header

එප්ස්ටීන්ගේ ලිපිගොනුවල ශ්‍රී ලංකාවේ නමත්

ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් අමෙරිකාවේ වැරදිකරුවකු ලෙස හඳුනාගත් ජෙෆ්රි එප්ස්ටීන් පිළිබඳව එරටදී නිකුත් කළ නව ලේඛන මාලාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද අවස්ථා 182කදී සඳහන්ව තිබේ.

කෙසේවෙතත්, එම ලේඛන කිසිඳු ස්ථානයක ශ්‍රී ලංකාව තුළ එප්ස්ටීන් විසින් වැරදි ක්‍රියාවන් සිදුකර ඇති බවක් සඳහන් කර නොමැත.

ජෙෆ්රි එප්ස්ටීන්ගේ නඩුවට අදාළ නව ලේඛන මිලියන ගණනක් පසුගිය සතියේ අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට ප්‍රසිද්ධ කරනු ලැබීය.

ඒ සමඟ එප්ස්ටීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ ලෝකයේ අතිශයින් ධනවත් සහ බලවත් පුද්ගලයින් රැසකගේ නම් ලැයිස්තුව තවදුරටත් විශාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“එප්ස්ටීන් ලිපිගොනු” ලෙස හඳුන්වන මෙම නවතම ලේඛන தொகுப்பு ජනවාරි 30 වැනිදා නිකුත් කර ඇති අතර, එහි පිටු මිලියන තුනක්, ඡායාරූප 180,000කට අධික ප්‍රමාණයක් සහ වීඩියෝ 2,000කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වේ.

මෙම ලේඛනවල බිලියනපතියන් වන රිචඩ් බ්‍රැන්සන්, බිල් ගේට්ස්, ඊලොන් මස්ක් ඇතුළු ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් ද සඳහන්ව තිබුණද, එය ඔවුන් විසින් කිසියම් අපරාධයක් සිදුකර ඇති බවට සෘජුවම සනාථ කරන නොවන බවද පැහැදිලි කර ඇත.

මෙම පසුබිම තුළ එප්ස්ටීන් ලිපිගොනු තුළ ශ්‍රී ලංකාව පිළිබඳ සඳහන් වන්නේ අවස්ථා 182කදීය.

ඒ අනුව, එප්ස්ටීන්ගේ “ලිට්ල් සෙන්ට් ජේම්ස්” හෙවත් රහස් දූපත සංවර්ධනය කිරීමේදී, ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ අසමසම නිර්මාණ ශෛලියෙන් ආභාසය ලබා ගැනීමට ඔහු උත්සාහ කර ඇති බව ලේඛනවල සඳහන් වේ.

අධිකරණයට ඉදිරිපත් වූ ඊ-මේල් පණිවුඩ අනුව, එප්ස්ටීන්ගේ සමීපතමයෙකු වූ ජූලියන් ලීස් විසින්, ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ කෘතිවල ඡායාරූප ඇතුළත් විද්‍යුත් ලිපියක් එප්ස්ටීන් වෙත යොමු කර තිබේ.

ස්වභාවධර්මය හා ගොඩනැගිලි අතර ඇති සම්මත නොවන සම්බන්ධතාවය හඳුනාගත් බාවාගේ නිර්මාණ ශෛලිය, එප්ස්ටීන්ගේ දූපත තුළ ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳව ඔවුන් අතර විස්තරාත්මක සාකච්ඡා පැවැත්වී ඇති බවද එම වාර්තාවල සඳහන්ය.

ජූලියන් ලීස් යනු 1980 සහ 1990 දශකවල ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ආයුධ වෙළෙන්දෙකු වූ ඩග්ලස් ලීස්ගේ පුත්‍රයා වන අතර, එප්ස්ටීන් ලේඛන තුළ ඔහු හුදු මිතුරෙකු ලෙස පමණක් නොව, ව්‍යාපාරික කටයුතු වලදී සමීප හවුල්කරුවෙකු ලෙසද හඳුන්වා ඇත.

ජූලියන් ලීස් දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ වාසය කර ඇති බවද එම ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී තිබේ.

කෙසේවෙතත්, එප්ස්ටීන් හෝ ජූලියන් ලීස් විසින් ශ්‍රී ලංකාව තුළ කිසිඳු අපරාධ ක්‍රියාවක් සිදුකර ඇති බවට සාක්ෂි අදාළ වාර්තාවල නොමැති අතර, ඒ සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ වෙතද කිසිඳු අනාවරණයක් ලැබී නොමැති බව සඳහන් වේ.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top