අතට ලැබුණු චෙක් එකක් මාරු කරගන්න බැංකුවට ගියාම, එකවුන්ට් එකේ සල්ලි නෑ කියලා ඒක ‘Return’ වුනොත් ඇතිවෙන කේන්තිය සහ අසරණකම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ගොඩක් අය හිතන්නේ චෙක් එකක් රිටන් වුනාම පොලිසියේ පැමිණිල්ලක් දාන එක විතරයි කරන්න තියෙන්නේ කියලා. හැබැයි ඊට එහා ගිය නීතිමය පියවර ගණනාවක් මේ වෙනුවෙන් තියෙනවා. ඔබ අතේ තියෙන චෙක් එක නිකම්ම නිකන් කොළ කෑල්ලක් නොවී, වටිනාකමක් තියෙන ලියවිල්ලක් බවට පත් කරගන්නේ කොහොමද කියලා අපි බලමු.
මුලින්ම කරන්න ඕන දේ තමයි කලබල නොවී ඉන්න එක. චෙක් එකක් රිටන් වුනාම බැංකුවෙන් ඔබට දෙනවා පොඩි රිසිට් එකක් වගේ කොළයක්. අපි මේකට කියන්නේ ‘Cheque Return Note’ එක කියලා. මේක තමයි ඔබේ අතේ තියෙන ප්‍රධානම සාක්ෂිය. ඒ වගේම මතක තියාගන්න, චෙක් එකක් වලංගු වෙන්නේ එහි සඳහන් දිනයේ ඉඳන් මාස 6ක් ඇතුළත විතරයි. ඒ නිසා මේ වැඩේට කල් මර මර ඉන්න හොඳ නෑ.
සාමාන්‍යයෙන් අපි කාටවත් කරදර කරන්න කැමති නෑනේ. ඒ නිසා චෙක් එක දුන්න කෙනාට කතා කරලා, “මේක රිටන් වුනා, මට අතට සල්ලි දෙන්න” කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි එයා මග අරිනවා නම් හෝ බොරු කියනවා නම්, ඊළඟට කරන්න ඕන දේ තමයි ළඟම තියෙන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන එක. මෙතනදී “චෙක් එකක් රිටන් වුනා” කියනවට වඩා, ඔබව රැවටීමේ අරමුණින් මුදල් නැති ගිණුමක චෙක්පතක් ලබා දීම කියන කාරණය (Cheating) මතු කරලා පැමිණිල්ල දාන එක වැදගත්. පැමිණිල්ලේ පිටපතක් ඔබේ ළඟ තියාගන්න අමතක කරන්න එපා.
ඊළඟ සහ වැදගත්ම පියවර තමයි නීතිඥයෙක් මුණගැසීම. නීතිඥ මහත්මයෙක් මාර්ගයෙන් අදාළ පුද්ගලයාට “එන්තරවාසියක්” (Letter of Demand) යවන්න ඕන. සරලවම කිව්වොත් මේකෙන් කියන්නේ “ඔයා දීපු චෙක් එකට බැංකුවේ සල්ලි නෑ, ඒ නිසා දවස් 14ක් ඇතුළත මගේ සල්ලි ටික ගෙවන්න. නැත්නම් මම නඩු දානවා” කියන එකයි. මේක නීතිමය වශයෙන් බොහොම ප්‍රබල ලියවිල්ලක්. ගොඩක් වෙලාවට මේ ලියුම ලැබුනම බය වෙලා සල්ලි ගෙවන අය ඉන්නවා.
මෙතනදී ගොඩක් අය නොදන්න, ඒ වගේම පැටලෙන තැනක් තියෙනවා. ඒ තමයි “සමථ මණ්ඩලය”. මෑතකදී ගෙනාපු නීති සංශෝධනවලට අනුව, ඔබේ චෙක් එකේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ට (මිලියනයට) අඩු නම්, ඔබ කෙලින්ම උසාවි යන්න බෑ. අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ සමථ මණ්ඩලයට ගිහින් මේක විසඳගන්න බලන්න ඕන. එතනින් විසඳුනේ නැත්නම් විතරයි “නිරවුල් නොකිරීමේ සහතිකය” අරගෙන උසාවි යන්න පුළුවන්. හැබැයි චෙක් එක ලක්ෂ 10 ට වැඩි නම්, සමථ මණ්ඩලයේ රස්තියාදු නොවී කෙලින්ම දිසා අධිකරණයේ මුදල් නඩුවක් පවරන්න ඔබට පුළුවන්.
අවසාන වශයෙන් මතක තියාගන්න ඕන කාරණය තමයි “කාලය”. සිවිල් නීතියට අනුව මුදල් අය කරගැනීමේ නඩුවක් පවරන්න පුළුවන් චෙක් එක රිටන් වුනු දිනේ ඉඳන් අවුරුදු 6ක් ඇතුළත විතරයි. මේ කාලය පැන්නොත් ඔබට නඩු දාලා වැඩක් නෑ. ඒ නිසා චෙක් එකක් රිටන් වුනු ගමන්ම, අවශ්‍ය ලියකියවිලි (ඔරිජිනල් චෙක් එක, රිටන් නෝට් එක, පොලිස් පැමිණිල්ල) ඔක්කොම ලෑස්ති කරගෙන නීතිමය උපදෙස් ගන්න එක තමයි නුවණට හුරුම දේ.

