සීගිරිය ගලකොටුව ප්‍රදේශයෙන් ජංගම දුරකථනයක් විදුලි ආරෝපණයට යොදා තිබූ අවස්ථාවක ඇති වූ විදුලි කාන්දුවකින් ගින්නක් හටගත් පුවතක් වාර්තා වෙයි.
මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති නමුත්, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකගේ කාමරය සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි වාර්තා වේ.
සිසුවිය පාඩම් කරමින් සිටි කාමරයේ ජංගම දුරකථනයක් ආරෝපණයට සවිකර තිබියදී මෙම ගින්න හටගෙන ඇති අතර, එහි තිබූ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් සියල්ල ගින්නෙන් විනාශ වී ඇත.
ගින්න හටගන්නා අවස්ථාවේදී සිසුවිය සහ ඇගේ මව අසල්වැසි නිවසකට ගොස් සිට ඇති බවත්, රාත්‍රී 10ට ආසන්න වේලාවේදී මෙම ගින්න දැකගත් බවත් නිවැසියන් පවසයි.
ප්‍රදේශවාසීන්, පොලීසිය සහ දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න පාලනය කළ ද, නිවසට දැඩි හානි සිදුව තිබේ.
ජංගම දුරකථනය ආරෝපණය කර තිබූ ස්ථානයෙන් විදුලි කාන්දුවක් ඇතිව මෙම ගින්න හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
SOURCE : SINHALA.ADADERANA.LK

