ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් (13) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.
මෙම ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉදිරියේදී අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුකරන අඩු තක්සේරු කිරීම් (Under Valuation) හේතුවෙන් රජයට බදු අහිමිවීම් සිදුවන බව හඳුනාගෙන ඇති අතර, ඇතැම් ව්‍යාපාරිකයින් තෙවැනි පාර්ශවයන් හරහා තාවකාලික පදනමින් භාණ්ඩ ආනයනය කර බදු පැහැර හැරීමත්, එමගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු මුදල්ද නොගෙවීමත් සිදුකරන බව අනාවරණය වී ඇති බව සඳහන්ය.
මෙම ගැටලු අවම කිරීම සඳහා දෙපාර්තමේන්තු දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.
ගිවිසුම මගින් භාණ්ඩ ආනයනකරුවන් සහ වෙෙළඳ ප්‍රජාව විසින් රේගුවට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කරන ප්‍රකාශන ඒකාබද්ධව විමර්ශනය කිරීම සහ විගණනය කිරීමේ හැකියාව ලැබේ.
SOURCE: sinhala.adaderana.lk

