ධාවනයට නුසුදුසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) බස් රථයක් පටු මාර්ගයක ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත් කිරීමේ චෝදනාවට වරදකරු වූ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථ රියදුරෙකුට අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබේ.
ඊට අමතරව රුපියල් 15,000ක දඩ මුදලක් ගෙවීමටත්, මරණකරුගේ පාර්ශවයට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙසත් කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකරුට නියෝග කර ඇත.
මෙම සිද්ධිය 2017 වසරේ ජූලි මස 8 වනදා සිදුව ඇති අතර, ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක අපරික්ෂාකාරි ලෙස ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය ඇතුළු චෝදනා 05ක් යටතේ අදාළ රියදුරාට එරෙහිව නඩු පවරා තිබුණි.
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, අදාළ චෝදනා සියල්ලටම විත්තිකරු වරදකරු බවට තීන්දු කළ කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත සිර දඬුවම, දඩ මුදල සහ වන්දි නියම කර ඇත.
එමෙන්ම, විත්තිකරු වන ලංගම බස් රථ රියදුරුගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවීමට ද අධිකරණය නියෝග කර ඇත.
SOURCE: sinhala.adaderana.lk

