SL Media Hub

SL Media Hub - Header

විදෙස් රැකියා තුළින් වංචා කළ රුපියල් මිලියන 380කට අධික මුදලක් නැවත පැමිණිලිකරුවන්ට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට අයත් පොලිස් ඒකකයේ නිලධාරීන් සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අතර (20) සාකච්ඡාවක් පැවැත්වී ඇත.

මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවේ, ජනතාව කේන්ද්‍ර කරගත් නීති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සහ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහාය.

එහිදී, 2025 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විදේශ ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් විශේෂ විමර්ශන අංශය සැලකිය යුතු ප්‍රතිඵල ලබා දී ඇති බව නිලධාරීන් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දී ඇත.

ඒ අනුව, එම කාලය තුළ මහජන පැමිණිලි 4,822ක් ලැබී ඇති අතර, ඒ අතරින් පැමිණිලි 2,914ක් විමර්ශන මගින් විසඳීමට හැකි වී ඇති බව අනාවරණය විය.

තවද අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණයට නඩු 772ක් ගොනු කර ඇති අතර, විමර්ශනවලින් අනතුරුව පුද්ගලයින් 121 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් විය.

එසේම, නීති විරෝධී බඳවා ගැනීම් සම්බන්ධයෙන් වැටලීම් 21ක් සිදුකර ඇති අතර, ඒ හරහා රුපියල් මිලියන 380කට අධික මුදලක් පැමිණිලිකරුවන් වෙත නැවත අයකර දීමට හැකි වී ඇත.

නීති විරෝධී ක්‍රියාවල නිරත වූ බවට තහවුරු වූ විදේශ රැකියා නියෝජිතායතන 15ක බලපත්‍ර අවලංගු කිරීමටද පියවර ගෙන ඇති බව මෙහිදී හෙළිවිය.

2025 සැප්තැම්බර් 22 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ විශේෂිත පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීම හරහා, විමර්ශන සහ නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් හා ශක්තිමත් කර ඇති බවද නිලධාරීන් අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළහ.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top