ලිපි පෙළ සම්පාදනය
සුරත් චාමර විදානපතිරණ
හැදින්වීම
ශ්‍රී ලංකාවේ අනාදිමත් කාලයක සිට පැවත එන මෙරටට ආවේණික හා බැහැරින් ලැබී මෙහි සංවර්ධනය වූ ශාන්ති කර්ම ක්ෂේත්‍රයක් ඇත.
පෙරදිග ලෝකයේ ආභාෂය නොමදව ලැබී ඇති මේ ප්‍රායෝගික දැනුම් ක්‍රියාකාරකම් අපේ රටේ ඓතිහාසික යුග පසුකරමින් මේ දක්වා පැවත ඒ.
අපේ පැරැණ්නන් මේවා මැනවින් භාවිතයට ගත් අතර බටහිර ලෝකයේ සංවර්ධනය වූ දැනුම් පද්ධතින් ගේ පැතිර යාමත් සමග මේ ක්‍රියාකාරකම් සමාජයේ යම් ආකාරයකට යටපත් වී තිබේ.
මෙරට ශාන්ති කර්ම පිළිබදව සොයා බලා යම් ගවේෂණයක් සිදු කොට ඒ පිළිබදව අදහස් දැක්වීම කාලෝචිත කටයුත්තක් ලෙස මට හැගී ගියේ ශාන්ති කර්ම පිළිබදව සැබෑව සමාජය හමුවේ තැබීමටය.
මට මේ ගවේෂණය සදහා පසුබිම හා පදනම සැකසුනේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්පේගම රුක්සර සෙවණ පදිංචි ශාන්ති කර්ම වේදිනී I.D. නාලිනී මහත්මිය විසින් සිදු කරගෙන යන්නාවූ සේවාව ඔස්සේය.
දීර්ඝ කාලයක් මේ ක්ෂේත්‍රය ඔස්සේ මෙරට ජන සමාජයට යහපත් සේවයක් කර ඇති එතුමිය ගේ සේවය ඇගයීමට ලක් කරනුවස් මෙන්ම එතුමිය විසින් මෙම ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් කටයුතු කිරීමෙන් ලබා ඇති දැනුම් රාශිය මතු පරපුරේත් දැනුවත් වීම සදහා යම් අයුරකින් සංරක්ෂණය කිරීම යන අරමුණු ඔස්සේ මෙම ලිපි මාලාව රචනා කිරීම සිදු වේ.
නාලනී මහත්මිය සමග සාකච්ඡා කිරීමෙන් පසු එතුමිය ගේ සේවා අත්දැකීම් රැස ඇසුරින් මෙවන් ලිපි පෙලක් රචනා කිරීමෙන් ඉහත කී අරමුණු සැපිරෙන බව මට පෙනී යන ලදී.
අනෙක් අතට ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික පසුබිම යටතේ චිරාත් කාලයක් තිස්සේ පාරම්පරිකවත් ඇතැම් විට ඉන් ස්වාධීනව දේව වරම් ලෙසත් අතීතයේ සිට වර්තමානය දක්වා පැවතෙන මේ ශාන්ති කර්ම පිළිබදව ජන සමාජයේ ඇති ආකල්ප නිවැරදි කිරීමටත් මින් පිටුබලයක් ලැබෙනු ඇතැයි ද මම සිතමි.
මේ ලිපි මාලාව සම්පාදනය කිරීම සදහා කළ ගවේෂණය තුළින් ඓතිහාසික මූලාශ්‍ර හා ජනශ්‍රැතිය එකිනෙක ප්‍රතිබද්ධ වෙමින් අපූරු දසුනක් අප හමුවේ නිර්මාණය වේ.

