SL Media Hub

SL Media Hub - Header

ශ්‍රී ලංකාව තුළ නිපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවමයි – සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්

ශ්‍රී ලංකාව තුළ ‘නිපා’ වෛරසය පැතිරීමේ අවදානම වර්තමානයේදී ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

‘නිපා’  වෛරසය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එහි සඳහන් කර ඇත්තේ මෑත කාලයේදී ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ‘නිපා’ වෛරස ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

එහෙත් එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අන්තර්ජාතික සංචරණ සීමා පැනවීමට නිර්දේශ කර නොමැති බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

‘නිපා’ වෛරසය ප්‍රධාන වශයෙන් සත්ත්වයන් අතර, විශේෂයෙන්ම වවුලන් අතර දක්නට ලැබෙන ආසාදන රෝගයක් වන අතර, ආසාදිත සත්ත්වයන් හෝ ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිවූ විට ඉතා කලාතුරකින් මිනිසුන්ට බෝ විය හැකි බවද එහි පැහැදිලි කර ඇත. 

මිනිසුන් අතර ආසාදනය වීම සිදුවන්නේ සමීප සහ දිගුකාලීන සම්බන්ධතා හරහා පමණක් වන බවත්, මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව වැනි වාතයෙන් පහසුවෙන් පැතිරෙන වෛරසයක් නොවන බවත් සඳහන් වේ.

තවද කඩිනමින් රෝගීන් හඳුනාගැනීම සඳහා ශක්තිමත් රෝග අවේක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවත්, කිසියම් රෝගී තත්ත්වයක් හඳුනාගතහොත් වහාම ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන් සූදානම්ව සිටින බවත් ලේකම්වරයා සඳහන් කර ඇත. 

ඒ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සතු රෝග නිර්ණය සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්ද පවතින බව ඔහු අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අදාළ අන්තර්ජාතික ආයතන සමඟ සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරමින් කලාපීය රෝග තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවද, නිවැරදි තොරතුරු සඳහා නිල නිවේදන සහ විශ්වාසනීය මූලාශ්‍ර පමණක් භාවිතා කරන ලෙස ජනතාවට උපදෙස් දී ඇත.

මූලාශ්‍රය – Ada derana

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top