SL Media Hub

SL Media Hub - Header

” සත්‍යයේ සුගන්ධය ” – (හැදින්විම)සුරත් චාමර විදානපතිරණ

පෙරවදන

ලෝකයේ එකම එක යථාර්ථයක් ඇත. ඒ යථාර්ථය ප්‍රඥාවන්තයන් විසින් තේරුම් ගනු ලැබුවේ විවිධ කෝණ වලිනි. ඒ අනුව ලෝකයේ නොයෙක් කාලවල දී නොයෙක් ආකාර දර්ශනයන් බිහි විය.

මේ දර්ශනයන් මුල් කොට ගෙන ඒවා බිහිවූ සමාජයේ ප්‍රබල පරිවර්තන සිදු විය. දර්ශනයන් සමාජයන් හි ගාමක බලය විය.

එවිට දර්ශනය බිහිකළ ප්‍රඥාවන්තයන් ශාස්තෘත්වයේ තබා ආගම් නිර්මාණය විය.

මෙසේ ලෝකයේ ආගම් ද විශාල ප්‍රමාණයක් බිහි විය. ඉන් කිහිපයක් ප්‍රබල භූමි ප්‍රදේශයක පැතිර ගිය අතර ඉතිරි ආගම් ඒවා බිහි වූ ප්‍රදේශ ආශ්‍රිතව ශේෂ වන්නට විය.

ආගම් තුළ සම්ප්‍රදායයන් ගොඩ නැගුනු අතර ඒ සම්ප්‍රදායයන් පවත්වාගෙන යාම පිණිස පූර්ණ කාලීනව ඊට කැපවූ පිරිස් බිහි විනි. ඔවුන් ආගමික පූජකයන් වූහ. දර්ශනය ජීවමාන වූ සමයේ දී පහළ වූ දාර්ශනික අනුගාමිකයන් කාලයාගේ ඇවෑමෙන් ඉකුත්ව යාමේදී ඔවුන් ගේ හිස් වීම පිරවීම පිණිස ක්‍රමයෙන් පූජ්‍ය පක්ෂයන් බිහි වෙද්දී ඔවුන් දර්ශනය අනුගමනය කිරීමට අසමත් වූවොත්, අවබෝධය නොමැති වූවොත් එයින් දර්ශනය නියෝජනය නොවී සම්ප්‍රදායක් පමණක් නියෝජනය වී ආගමට අගතියක් සිදුවේ.

ආගමක් පිළිබඳව බුද්ධිමත් ලෙස විමසිය හැක්කේ එහි සම්ප්‍රදායයන් පිටුපස ඇති දර්ශනයන් විශ්ලේෂණය කිරීමෙනි.

මා මේ ග්‍රන්ථය තුළින් සැරසෙන්නේ ද එම කාර්යය කිරීම සදහා යි.

ලෝකයේ සත්‍යය හැකි පමණින් දැක ගෙන එය අන්‍යයන් හටත් හැකි පමණින් දැක ගැනීමට උදව් කිරීමට යි.

සත්‍යය එකම එක පවිත්‍ර සුගන්ධයකි. එහි ප්‍රභේද නැත. ඒ ජීවමාන සත්‍යයේ සදාතනික සුගන්ධය සෑම ප්‍රඥාවන්තයකු සදහාම එක සේ විවෘතව ඇත.

ස ත්‍ය යේ සු ග න් ධ ය . . . .

මේ පොත ලිවීමට හේතු වූ කරුණු :-

  1. ජීවිතයේ මුහුකුරා යද්දී ඒ පිළිබඳව අවබෝධය ලැබීමට වෑයම් කිරීම
  2. ජීවිතය තුළ සිදුවන වෙනස් වීම් හා අපේක්ෂා කළ අයුරින් සියලුදෙය සිදු නොවීම සහ අපේක්ෂා නොකළ දේවල් ද සිදු වීම.
  3. සමීප අය ගේ සමු ගැනීම තුළින් ජීවිතයට එල්ල වූ බලපෑම.
  4. ජීවිතය තුළ සැනසීමෙන් ජීවත් වී ලෝකයට ආදර්ශයක් දුන් ජීවමාන වූ පුද්ගලයන් පිළිබඳව කළ සෙවීම්
  5. මා විසින් කළ ගවේෂණය පාඨක ලෝකයා ගේ සුභ සිද්ධිය පිණිස ඉදිරිපත් කිරීම.

මගේ ගවේෂණය සැකෙවින් :

මා යථාර්ථය සෙවීමට උත්සාහ ගත්තේ උසස් පෙළ අවසන් වීමෙන් පසුය.

ඒ ගවේෂණය පුරා වසර පහළවක් තුළ විහිදී ගියේය. ( 1999 – 2014 )

ඒ කාලය තුළ මම වැඩිදුර අධ්‍යාපනය ලැබීමි, රැකියාවල නිරතවීමි, ආදරය කළෙමි, විවාහ වී පියෙකු බවට පත් වීමි. එහෙත් මගේ ගවේෂණය ඒ සියල්ල මැද නොනවත්වා ඇදී ගියේය.
මගේ ගවේෂණය තුළ දී මම උසස් පෙළින් ලැබූ විද්‍යාත්මක දැනුම මුල් කොටගෙන විද්‍යාත්මක වශයෙන් වැඩිදුර ගවේෂණයක් ද, ශාස්ත්‍රීය වශයෙන් වැඩිදුර ගවේෂණයක් ද, ආගම් හා දර්ශනයන් පදම් කරගෙන වැඩිදුර ගවේෂණයක් ද වශයෙන් මගේ ගවේෂණය ඉතා විශාල වපසරියක් තුළ විහිදුවාලීමි.

මා ලෝකයේ පහළ වූ සියලු ප්‍රධාන ආගමික දර්ශනයන් අධ්‍යයනය කළෙමි. ඒවායේ ගැඹුරට ගියෙමි.

මට නිවසින් මෙන්ම ජීවිතයෙන් ද ඊට අවශ්‍ය පහසුව හා නිදහස ලැබුණි. නොඑසේනම් මා ඒවා උනන්දු වී ලබා ගත්තෙමි. එසේත් නැත්නම් මා ඒවා ලැබීමට වාසනාවන්ත වීමි. මේ සියල්ල සිදු විය.

මගේ ගවේෂණයේ තීරණාත්මක අවස්ථාවකි 2009 දී අගෝස්තු මස මා බෞද්ධ දර්ශනය පිළිබඳව විශේෂ වශයෙන් පැහැදීම හා ශ්‍රද්ධාව නියමාකාරයෙන් පහළ කර ගැනීම.

ඉන් වසර හයකට පසු එකී ශ්‍රද්ධානුසාරී ජීවිතය තුළින් කළ මගේ ගවේෂණයේ යම් කිසි කෙළවරක්, යම් ප්‍රගතිශීලී මං සළකුණක් මට හමුවූයේ 2015 වසරේ නොවැම්බර් මස දීය. එනම් මා විදෙස් ගත වී වසර එකහමාරක් පමණ ගත වූ පසුය. එකී ප්‍රඥානුසාරී මංසළේ දී මට ජීවිතය පිළිබඳව ප්‍රථම යථාර්ථවාදී අවබෝධය ලැබුණි.

ඉන් පසු නොනවත්වා අද දක්වා පටිසෝතගාමීව ආර්ය මාර්ගය තුළින් ගමන් කරන අතර වරින්වර නැවත නැවතත් ලැබූ ඒ යම් ආකාර වූ අවබෝධය ක්‍රමිකව වැඩි දියුණු වී ඇති බව මට පසක් වේ. එය තව දුරටත් වර්ධනය වනු ඇත.

මා අද ජීවිතයේ දශක පහක් අවසන් කිරීමට ළං වූ අයෙකු වෙමි.

ගිහි පුද්ගලයකු වශයෙන් භෞතික හා අධ්‍යාත්මික වශයෙන් අද මා සිටින ස්ථානය පිළිබඳව මට විශේෂ වූ සතුටක් ඇත.

එයින් ඇති විස්තර කළ නොහැකි ආශීර්වාදය හා සාමය ලෝකයේ සෙසු අයටත් ( මගේ ආමන්ත්‍රණය වෙසෙසින් ගිහි ප්‍රඥාවන්තයන් හටය ) ලබාගැනීමට හා ඒ සදහා උපකාරකයක් ලෙසත් මේ ග්‍රන්ථය එළි දක්වමි.

( මෙය අද සිට ඉඩ ලැබෙන අයුරින් මගේ මුහුණු පොතේ සත්‍යයේ සුගන්ධය නම් ඇල්බමය ඔස්සේ පළ වනු ඇත. මෙය මගේ නිවෙන මග කෘතියේ ඊළඟ කොටස ලෙස ද සැලකිය හැක. එසේම මෙය එයින් ස්වාධීන වූ නිර්මාණයකි. )

Cover Photo: Samadhi Prathima, Mahamewna Garden, Anuradhapura, Sri Lanka. (Before it was protected by the Archeological Department of Sri Lanka with the UNESCO Cultural Triangle of Sri Lanka )

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top