SL Media Hub

SL Media Hub - Header

” සත්‍යයේ සුගන්ධය” (2 පරිච්ඡේදය) සුරත් චාමර විදානපතිරණ – වර්තමාන විද්‍යාත්මක යුගයේ ඉතිහාසය

අපි දැන් වර්තමාන විද්‍යාත්මක යුගයට ලෝකය පැමිණීමේ ඉතිහාසය එහි වැදගත් සිදුවීම් ඔස්සේ සරලව සලකා බලමු.

මා මේ සදහා මා විසින් රචිත දහම් පිටුව ග්‍රන්ථයේ 730 වන දහම් පිටුවෙන් මුල් ඡේදය හැර ඉතිරි කොටස උපුටා ඉදිරිපත් කරමි.

මධ්‍යතන යුරෝපයේ වැඩ වසම් යුගය බිද වැටී පුනරුදය ඇති වීමත් සමග සියලු අංශවල දියුණුවක් ඇති වීම ඇරඹුනි. එහෙත් එයට පාදක වූයේ බොහෝ දුරට පෙරදිගින් යුරෝපයට ලැබී තිබූ මූලික දැනුම් සිද්ධාන්ත බුද්ධිමතුන්ට විවෘත වීමෙනි. බටහිර ග්‍රීක් මූලාශ්‍රයන් සහ ඉන්දු චීන මූලාශ්‍රයන් වෙතින් වටහා ගනු ලැබූ විෂයන් පුනරුදය යුගයේදී යුරෝපයේ සංවර්ධනය කෙරිනි.

සරලව අරඹනවා නම් ගණිතය අද තත්ත්වයට දියුණු වන්නේ පුරාණ රෝම අංක ක්‍රමය වෙනුවට ඉන්දු – අරාබි අංක භාවිතයට ඒමෙනි. විද්‍යාත්මක විෂයන් සම්බන්ධයෙන් සලකා බැලීමේ දී ග්‍රීක දාර්ශනිකයන් ට පෙර ඉන්දියානු දාර්ශනිකයන් පරමාණුව පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ. ඉන්දියානු දර්ශනයේ එක් ගුරු කුලයක් වන පූර්ව මීමංසා හදුන්වන අනෙක් නම පරමාණුක සංරචක වාදය වේ. බෞද්ධ දර්ශනයේ අභිධර්මය තුළින් පරමාණුව ඉක්මවා ගිය පදාර්ථයේ හා ශක්තියේ ඒකාබද්ධතාවය හෙවත් අවසාන අවස්ථාව අවිනිබ්භෝග රූප හෙවත් ශුද්ධාශ්ඨක ලෙස දැක්වෙන අතර එම අවස්ථාව කිසිදු විද්‍යාත්මක උපකරණයකට අසු නොවන එහෙත් ගණිතයෙන් ඔප්පු වෙන පරම විශිෂ්ඨ අවස්ථාවකි. ( අද දක්වා කිසිම විද්‍යාඥයකු පරමාණු දැක නොමැති අතර ඔවුන් පරමාණුක ව්‍යුහය නමින් ආකෘතියක් ගොඩ නගා රසායන විද්‍යාව ලෙස මූල ද්‍රව්‍ය, අණු, අයන දක්වන්නේ පර්යේෂණ දත්ත ගණිතයෙන් විශ්ලේෂණය කොට ය. එබැවින් පරමාණුව සම්මුති සත්‍යයකි. නමුත් ශුද්ධාශ්ඨක පරමාර්ථ වශයෙන් පවත්නා දෙයකි. )

වෙඩි බෙහෙත් චීනයේ සොයා ගැනීමකි. රොකට් තාක්ෂණය ද ඔවුන් වෙතිනි. පියාසර කිරීමේ යන්ත්‍ර සතු වූ ප්‍රාග් ඓතිහාසික ලක්දිව රාවණා රජ සමයේ එකී ගගන චාරිකා තාක්ෂණය පිළිබඳව ටිබැට් රාජ්‍යයේ තිබූ මූලාශ්‍ර ඔස්සේ ගුවන් යානා හා ජෙට් තාක්ෂණය වර්ධනය කර තිබේ. මේ අත් හදා බැලීම් බොහොමයක් සිදු වූයේ දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ දීය. පැරණි රහස් වට්ටෝරු අනුව ඇතැම් භයානක ඖෂධ වර්ග පවා නිපදවන ලදී.

ඒ සා දැනුම් සම්භාරයක් පෙරදිග තිබීත් ඔවුන් ඒවා ඉන් එහාට වැඩි දියුණු නොකළේ ඇයි යන්න වැදගත් පැනයකි. පෙරදිග ශිෂ්ටාචාරයන් පෙරදිග දර්ශනයන් අනුව බිහි විය. පෙරදිග දර්ශනයේ දී අවිහින්සාව යනු ප්‍රධාන සංකල්පයක් වේ. එයට පිටින් ගොඩ නැගෙන දර්ශනයක් පෙර දිග නැත. ඒ නිසා මිනිසා සිය දැනුමින් සොබාදහම ජය ගත යුතුය යන අදහස පෙරදිග දර්ශනයේ නොමැත. එහි ඇත්තේ මිනිසා සොබා දහමේම කොටසකි.මිනිසා විසින් සොබාදහම සුරැකිය යුතුය යන අදහසයි. ඒ නිසා පෙරදිග යුරෝපය මෙන් භෞතික වාදී නොවීය. එය අධ්‍යාත්මික වටිනාකම් සොයා ගියේය.
පුනරුදය යුරෝපයේ දැනුමේ මූලස්ථාන වූ ලෝක ප්‍රකට විශ්ව විද්‍යාල ඇති කරන ලදී. ඒ තුළින් සියලු අංශවල විෂයන් නිර්මාණය විනි. පරමාණුව පිළිබඳව අතීත විද්‍යාඥයන් ගෙන් ජෝන් ඩෝල්ටන් විසින් යම් වාදයක් ගොඩ නගන ලදී.ඒ ඔස්සේ දිගටම පරීක්ෂණ පැවැත්වූ තැනැත්තා අර්නස්ට් රදෆර්ඩ් වේ. ඔහු සිය පරමාණුක ආකෘතිය ඉදිරිපත් කළේ අදට සාපේක්ෂව ඉතා ප්‍රාථමික ලෙසය. පසුව මෙය ඇල්බට් අයින්ස්ටයින් ගේ ශිෂ්‍යයන් වූ නීල්ස් බෝර්, අයිවන් ෂෲඩින්ගර් ආදීන් විසින් වැඩි දියුණු කරන ලදී. ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ සාපේක්ෂතා වාදය තුළින් එතෙක් පැවති කීර්තිමත් විද්‍යාඥ අයිසැක් නිව්ටන් ගේ භෞතික විද්‍යා නිගමන වලට අභියෝගයක් එල්ල කරන ලදී. පෘථිවිය බදු ග්‍රහ ලොවක් මත දී සම්මත තත්වයන් අනුව හැසිරෙන පදාර්ථය හා ශක්තිය සාමාන්‍යය ග්‍රහ ලොවකින් බැහැර අභ්‍යාවකාශයේ දී වෙනස් ලෙස හැසිරෙන බව ඔහු සිය සාපේක්ෂතා වාදයෙන් පෙන්වා දුන්නේය. මේ නිසා භෞතික විද්‍යා ක්ෂේත්‍රයම කැළඹීමකට ලක් විය. ආලෝකයේ වේගය, පදාර්ථය හා ශක්තිය අතර සම්බන්ධය පැහැදිලි කර ඔහු විසින් ඉදිරිපත් කළ e = mc* ( මෙහි e = ශක්තිය , m = ස්කන්ධය , c = ආලෝකයේ ප්‍රවේගය , * = 2 ) සමීකරණය අනුව වැලි අහුරක ඩයිනමයිට් පුපුරන ද්‍රව්‍ය ටොන් ගණනක ශක්තිය ගැබ්ව ඇතැයි හේ පෙන්වීය.

ලොව විශිෂ්ඨතම විද්‍යාඥයකු බවට අයින්ස්ටයින් පත් වෙද්දී ඔහුගේ ශිෂ්‍යයන් වූ නීල්ස් බෝර් ඇතුලු කණ්ඩායම අයින්ස්ටයින් ද අභිබවා යමින් පරමාණු මට්ටමේදී පදාර්ථය හා ශක්තිය හැසිරෙන්නේ සම්මත තත්ව යටතේ ග්‍රහ ලොවක් මත හැසිරෙන අයුරින් අයිසැක් නිව්ටන් විස්තර කළ ආකරයට වත්, අභ්‍යාවකාශයේ දී හැසිරෙන අයුරින් අයින්ස්ටයින් විස්තර කළ ආකාරයට වත් නොව වෙනස්ම ආකාරයකට යැයි පෙන්වා දුනි. මේ සොයා ගැනීමෙන් ක්වොන්ටම් භෞතික විද්‍යාව ට පදනම වැටුනු අතර භෞතික විද්‍යා ක්ෂේත්‍රය ක්වොන්ටම් හා නිර් – ක්වොන්ටම් ලෙස බෙදී ගියේ ය.

මේ සියල්ල සිදුවන්නේ ඉතා කෙටි කලක් තුළය. පරමාණුක ව්‍යුහය පිළිබඳව නීල්ස් බෝර් ගේ ක්වොන්ටම් ආකෘතිය අනුව යමින් බොහෝ විද්‍යාඥයන් පර්යේෂණ කළ අතර මූල ද්‍රව්‍ය, අණු හා අයන සහ සංයෝග මිශ්‍රන ලෙස පදාර්ථයේ සකස්වීම් සොයා ගත් හ. එසේම එකම මූල ද්‍රව්‍යයේ පරමාණු අතර සමස්ථානික නම් විවිධත්වය ඇති වන බවත් එසේම ඇතැම් මූල ද්‍රව්‍ය විකිරණ ශීලී නම් තත්වය සහිත බවත් අනාවරණය කර ගනු ලැබිනි. ස්වභාවයෙන්ම විකිරණ ශීලී මූලද්‍රව්‍යයන් ඇති අතර ප්‍රංශයේ සෝබෝන් සරසවියේ රසායන විද්‍යා ආචාර්යවරුන් යුවලක් වූ පියරේ කියුරි සහ මේරි කියුරි විසින් සොයා ගත් රේඩියම් එවැන්නකි. යුරේනියම් , ප්ලූටෝනියම් තවත් එබදු විකිරණ ශීලී මූල ද්‍රව්‍ය වේ. පරමාණුක ව්‍යුහයේ මැද කොටසේ ඇති අංශු වර්ග අතරින් ප්‍රෝටෝන විද්‍යුත් ලෙස ධන ආරෝපිත බවත් ඒ වටා භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත බවත් සෙසු මධ්‍ය / න්‍යෂ්ටික අංශු අතුරින් නියුට්‍රෝන උදාසීන බවත් , තවත් මීසෝන, ඩෙසිට්‍රෝන, පොසිට්‍රෝන ආදී අංශු ද සොයා ගෙන තිබිණි. පරමාණුක ඉලෙක්ට්‍රෝන වල හැසිරීම අදටත් නොවිසදුනු පැනයකි. ඉලෙක්ට්‍රෝන වරෙක පදාර්ථමය අංශුවක් ලෙස පෙනී අනෙක් වර ශක්ති කදම්බයක් ලෙස පෙනී යයි. එය කුමක් යටතට ගන්නද යන්න අවිනිශ්චිත වේ. පරමාණුක න්‍යෂ්ටියේ ව්‍යුහය අනුව ඇතැම් මූල ද්‍රව්‍ය වල පරමාණුක න්‍යෂ්ටි එක් වී වෙනත් මූල ද්‍රව්‍යය ගොඩ නැගීමෙන් විකිරණ ලෙස අධික ශක්තියක් නිදහස් වේ. මේ අයුරින් මූල ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවීම න්‍යෂ්ටික විලයන / ගොඩනගන ප්‍රතික්‍රියා ලෙසද එක් මූලද්‍රව්‍යයක පරමාණුක න්‍යෂ්ටි බිද වෙනත් මූල ද්‍රව්‍ය ගොඩ නැගීමෙන් විකිරණ ලෙස අධික ශක්තියක් නිදහස් කෙරෙන ප්‍රතික්‍රියා න්‍යෂ්ටික විඛණ්ඩන / බිද හෙලන ප්‍රතික්‍රියා ලෙසද හැදින් වුනි. මේ සොයා ගැනීම් කිරීමේ දී මේ ආකාර ප්‍රතික්‍රියා විකිරණ ශීලී මූල ද්‍රව්‍ය වල , සූර්යයා බදු තාරකා වල ස්වභාවිකව සිදු වන බවත් කෘතීමව එබදු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් නිර්මාණය කොට මනාව පාලනය කොට න්‍යෂ්ටික බලාගාර ඇති කොට විදුලිය නිපද විය හැකි බවත් සොයා ගැනිනි.

පාලනයකින් තොරව සිදු කරන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් ඉතා භයානක බව පෙනී ගියේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ මැක්ස් ප්ලාන්ක් විද්‍යාඥයා ගේ පර්යේෂණාගාරය සුළු ප්‍රමාදයකින් සුනු විසුනු වී ගිය බැවිනි. ජීවිතය බේරා ගැනීමට වාසනාවන්ත වූ මැක්ස් ප්ලාන්ක් පරමාණුක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සියැසින් දුටු පළමු මිනිසා යනුවෙන් වාර්තා වේ. මූලික වශයෙන් අයින්ස්ටයින් ගේ සමීකරණ ඔස්සේ පර්යේෂණ කොට එළැඹුනු මේ සොයා ගැනීම නුසුදුසු අය අතට පත් වූවොත් වන විනාශය ඔහු දැන සිටියේය. භෞතික විද්‍යාව නැංවීමෙන් මිනිස් සමාජයට යහපතක් කිරීමට පැතූ ඔහුට පෙනී ගියේ දැන් මේ විද්‍යාත්මක දැනුම මානවයා විසින් මානවයාට එරෙහිව යොදන්නට යන බවයි.

එහි සජීවී උදාහරණය ඇමෙරිකාව ජපානයට හෙලූ පරමාණු බෝම්බ යුගලයයි. එහිදී සිදුකල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවට වැය වූ න්‍යෂ්ටික අමුද්‍රව්‍යය හයිඩ්‍රජන් සමස්ථානිකයකි. කිලෝ ග්‍රෑම් කිහිපයකි. අයින්ස්ටයින් සමීකරණය සනාථ කරමින් ඩයිනමයිට් ටොන් මිලියන ගණනක මහා ශක්තියක් විකිරණය ලෙස නිදහස් විය. හිරෝෂිමා හා නාගසාකි නගර වලින් නැගුනු පරමාණුක ගින්නේ ස්වභාවය හත්තක හැඩය ගනිමින් කිලෝමීටර් ගණනක් සියලු දිසාවනට විහිදි ගියේය. විකිරණය තුළ නිදහස් වූ අති මහත් ශක්තිය මිනිසුන් ඇතුලු සියලු දේ තප්පරයකින් දවා අළු කරනු ලැබීය. තවත් කිලෝමීටර් ගණනක් දුර සිටියවුන් විකිරණයෙන් පිළිස්සී මිය ගියහ. දිවි ගලවා ගැනීමට ගංගා වලට පැන්න මිනිසුන් ඒ ගංගා ජලය ඇසිල්ලකින් නටන ජලයේ උෂ්ණත්වයට ළගා වී තිබූ බැවින් තැම්බී මිය ගියහ. දැවී පිළිස්සී විනාශ වූ මහා ප්‍රදේශයක් ඉතිරි වී මාස ගණනක් යන තෙක් ගසක් පවා එහි නොවැඩුනේය. මිය ගිය මිනිසුන් ගණන මිලියන ගණනකි. ජීවත් වූ අය සදාකාලික රෝගීන් වූහ. එකී ජාන විකෘති වීම් පසු පරම්පරා වලට ද බලපාන ලදී.

පරමාණු බෝමබ විසින් කළ විනාශය නිසා න්‍යෂ්ටික අවි තැනීම වැළැක්වීය යුතු බව සියලු රටවල් වලට පෙනී ගියේය. නැවත ලෝක යුද්ධයක් ඇති නොවන්නට කටයුතු කිරීම පිණිස කලින් අසා‍ර්ථක වී තිබූ ජාතීන් ගේ සංගමය වෙනුවට එක්සත් ජාතීන් ගේ සංවිධානය පිහිටුවා ගනු ලැබිනි. න්‍යෂ්ටික බලය අභ්‍යාවකාශ ගවේෂණය හා බල ශක්තිය නිපදවීම වැනි ප්‍රයොජනවන් කටයුතු වෙනුවෙන් යෙදවීමට අපේක්ෂා කෙරිනි. මේ වන විට ඇමෙරිකාවේ නාසා ආයතනයත් රුසියාවේ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයත් ප්‍රමුඛව මේ වෙනුවෙන් ඉදිරිපත් වී සිටියේය. එහෙත් ලොව බලවත් රටවල් රැසක් මේ වන විට ලෝකයම දවා හල හැකි ප්‍රබලතාවයෙන් යුතු න්‍යෂ්ටික අවි රහසේ තනා මතු අවස්ථාවක ඇතිවිය හැකි ප්‍රයොජනයක් උදෙසා ගබඩා කොට ඇතැයි ප්‍රසිද්ධ රහසකි.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top