SL Media Hub

SL Media Hub - Header

” සත්‍යයේ සුගන්ධය ” (4 පරිච්ඡේදය )’ සුරත් චාමර විදානපතිරණ ‘

ජීවයේ සම්භවය

සත්‍යය සොයා ගිය මගේ ස්වාධීන චාරිකාවේ දී මා ගවේෂණය කළ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ඉසව් ඔස්සේ විශ්වය, පදාර්ථය හා ශක්තිය පිළිබඳව, අවකාශය හා කාලය පිළිබඳව, තැනුම් අංශු පිළිබඳව පියවරෙන් පියවර විස්තර කරමින් ආවෙමි. ඒ සමග පාඨක ඔබගේ අවබෝධය ද විද්‍යාත්මක ක්ෂේත්‍රය තුළ ගොඩ නැගුවෙමි.

දැන් අප වැදගත් ඊළඟ පියවර කරා යමු. තවමත් විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ගවේෂණ රැසක් සිදුවන ජීව විද්‍යාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යි.

පෘථිවියේ ජීවය බිහි වීම හා පෘථිවිය ජීවය සහිත එකම ග්‍රහලෝකය නොවන බව පෙනී යාමත් සමග ජීවය විශ්වයේ පොදු ලක්ෂණයක් බව වටහා ගැනීම පිළිබඳව දැනුම් පද්ධතිය විද්‍යාත්මක යුගය තුළ සියවස් ගණනක් වැඩුනු ආකාරය අපි සලකා බලමු.

ජීවයේ සම්භවය පිළිබඳව නැවතත් බටහිර විද්‍යාව තුළ ඉගෙනීම ආරම්භ කරන විට ඔවුන් ඒ සම්බන්ධයෙන් පෙරදිග පැවති කරුණු වලින් නොව යුරෝපයට සම්බන්ධ ඉපැරැණි ග්‍රීක් ශිෂ්ටාචාරය තුළ පහළ වූ මත පිළිබඳව ඉදිරිපත් කොට එය සිදු කර ඇත.
නමුත් විද්‍යාත්මක දැනුම ක්‍රමයෙන් වැඩෙන විට ඔවුන් අවධානය යොමු නොකළ පෙරදිග දැනුම තුළ විද්‍යාත්මක ක්ෂේත්‍රය පවා ඉක්මවා යන වටිනා කරුණු ඇති බව පෙනී යාම සමග වර්තමාන විද්‍යාත්මක ලෝකයේ පෙරදිග ඇතිවූ දැනුම සම්බන්ධයෙන් නිසි ඇගයීම ඇති වෙමින් පවතී.
නමුත් තවමත් ඔවුන්ට අත් හැර දැමීමට නොහැකි වූ සංකල්ප ධාරාවන් ද වේ.

යුරෝපයේ සියවස් ගණනක් ජීවයේ සම්භවය පිළිබඳව පිළිගත් මතය වූයේ ග්‍රීක් චින්තක ඇරිස්ටෝටල් ගේ ස්වයං සිද්ධ ජනන වාදයයි. ( Spontaneous Generation ) එයින් කියවුනේ ජීවය ස්වභාවික යෝග්‍ය පරිසරයේ ඉබේම ස්වභාවයෙන්ම බිහි වන බවයි. මෙය ලෝකයේ කාලාන්තරයක් තිස්සේ මනුෂ්‍යයන් තුළ පැවති ජීවයේ සම්භවය පිළිබඳ පොදු අදහස් විධිමත් අයුරින් ඉදිරිපත් කිරීමක් මිස ඇරිස්ටෝටල් ගේ තනි සංකල්පයක් නොවීය. එමෙන්ම මෙය බටහිර දාර්ශනික වශයෙන් පැවති ආගමික සංකල්ප වූ දෙවියන් විසින් ලෝකය හා ජීවය නිමැවීම සමග සමාන්තර වූ බැවින් ආගමික වශයෙන් ද ඊට බලපෑමක් නොවී යුරෝපයේ පුනරුදය දක්වා එය ප්‍රශ්න කිරීමකට ලක් නොවී එසේ පැවතිනි.

යුරෝපයේ පුනරුදය ඇති වීම සමග ස්වභාවික දර්ශනය ලෙස හැදින්වුනු විද්‍යාත්මක ක්ෂේත්‍රය තුළ ජීව විද්‍යාව ක්ෂේත්‍රය සැලකිය යුතු ලෙස වැඩෙමින් පැවතුනි. එය සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, සෛල විද්‍යාව, කායික හා ව්‍යුහ විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව, බීජ හෝ බීජාණු, අණ්ඩ හා කළල විද්‍යාවන් ලෙස නොයෙක් අයුරින් දැනුම් පද්ධති නිර්මාණය කර ගනිමින් පැවතුනි. එහෙත් තවමත් ස්වයං සිද්ධ ජනන වාදය නිරුපද්‍රිතව පැවතුනි.

නමුත් 17 වන සියවසේදී ඉතාලි ජාතික වෛද්‍යවරයකු වූ ෆ්‍රැන්සිස්කන් රෙඩී විසින් ස්වයං සිද්ධ ජනන වාදය ට එරෙහිව පරීක්ෂණයක් නිර්මාණය කරන ලදී. ඔහු තැම්බූ සමාන මස් කැබලි දෙකක්, එකක් වාතයට විවෘත කොටත්, අනෙක වායු රෝධක කොටත් තබා ඉන් කාලානුරූපීව ඉහද පණුවන් ඇති වූයේ වාතයට විවෘත කොට තැබූ මස් කැබැල්ලේ බවත්, වාතයට සංවෘත කොට තැබූ මස් කැබැල්ලේ ඉහද පණුවන් ඇති නොවූ බවත්, පෙන්වා, එසේ වූයේ, විවෘත මස් කැබැල්ල මත මැස්සන් වසා බිත්තර දැමීම නිසා බවත්, සංවෘත මස් කැබැල්ලේ මැස්සන් වැසීමට ඉඩක් නොවූ බැවින් පණුවන් නොසෑදුනු බවත්, පැහැදිලි කොට ජීවය බිහි වන්නේ තවත් ජීවීන් ගෙන් පමණක් බවත් ඉබේ ස්වභාවිකව ජීවීන් හට නොගන්නා බවත් ප්‍රකාශ කරමින් ස්වයං සිද්ධ ජනන වාදයට අභියෝග කළේය.

18 වන සියවසේ දී ඉංග්‍රීසි ජාතික ජෝන් නීඩම් නම් කිතුනු පූජක තැන විසින් ස්වයං සිද්ධ ජනන වාදයට සහාය පිණිස පරීක්ෂණයක් යෝජනා කරන ලදී. ඒ එවිට ඇන්‍තනි ලියුවැන්හෝක් විසින් නිමැවූ අන්වීක්ෂය විද්‍යා ලෝකයට පිවිසීමත් සමග ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව වැඩෙමින් තිබූ දැනුමත් එක් කර ගනිමිනි. ඔහු ඉදිරිපත් කළ පරීක්ෂණය වූයේ මස් තැම්බූ ජලය සමාන බදුන් දෙකක දමා එකක වැස්ම ඇර තැම්බුම් ජලය වාතයට විවෘතව හා අනෙකේ තැම්බුම් ජලය වාතය සමග නොගැටෙන ලෙස වසා තැබීමෙන් පසු බදුන් දෙකේම ජලය වෙන වෙනම අන්වීක්ෂයකින් පරීක්ෂා කළ විට ඒ දෙකේම ක්ෂුද්‍ර ජීවී කොලනි වර්ධනය වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි බැවින් එයින් වසා තිබූ බදුනේ ජීවය ඇති වූයේ බාහිරින් ඇතුලු වී නොව එය තුළම වූ දෙයින් බවත් එබැවින් තව දුරටත් ස්වයං සිද්ධ ජනනය වලංගු බවත් ය. මේ පරීක්ෂණයට එවක කිතුනු පල්ලි අධිකාරිය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී.

නමුත් තවත් ඉතාලි ජාතික ජාතික කිතුනු පූජකයකු වූ ලසාරෝ පැල්සානි විසින් ජෝන් නීඩම් පූජක තැන ගේ පරීක්ෂණය අඩුපාඩු සහිත බවත් මස් තැම්බූ වතුර දැමූ භාජනය වසා වාතය හා නොගැටී තිබුණද, එය වායු රෝධක කිරීමට පෙර එහි පැවති වාතය මස් තැම්බූ ජලය හා ගැටීම සිදු වූ බවත් ඒ නිසා එම වාතයේ තිබූ ක්ෂුද්‍ර ජීවී බීජාණු මගින් වසා තැබූ බදුනේ මස් තැම්බූ ජලයේ ක්ෂුද්‍ර ජීවී කොලනි සෑදූ බවත් ප්‍රකාශ කොට මේ පරීක්ෂණය වඩා නිවැරදිව කරනු පිණිස වසනු ලබන බදුන මස් තැම්බූ ජලය දැමීමට පෙරම ජීවාණුහරණය කරනු පිණිස එහි මස් තැම්බූ ජලය දමා නටවා වාතය පිට වී යැවීමට මිස ඇතුලු වීමට නොහැකි වන පරිදි කපාටයක් සහිත බදුනක් සකසා ඒ ඇසුරින් මේ පරීක්ෂණය විධිමත්ව සිදුකරන ලදී. එවිට පරීක්ෂණයේ ප්‍රථිඵල ලෙස වාතය හා ගැටුනු බදුනේ මස් තැම්බූ ජලයේ පමණක් ක්ෂුද්‍ර ජීවී කොලනි නිරීක්ෂණය වූ අතර වායු රෝධක බදුනේ එවැන්නක් නිරීක්ෂණය නොවිනි. මෙයින් ස්වයං සිද්ධ ජනන වාදය පසු බසින්නට විය.
නමුත් ස්වයං සිද්ධ ජනන වාදීන් පරාජය භාර ගැනීමට සූදානම් නොවූහ. ඔවුන් පැවසුවේ ජීවය බිහි වීමට වාතය තිබීම අත්‍යාවශ්‍ය සාධකයක් බැවින් වාතය ඉවත් කොට සිදු කළ පැල්සානි පූජක තැන ගේ පරීක්ෂණයද නිවැරදි නොවන බවයි.

මේ අවුල ලිහා ගැනීමට ඉතාමත් නිවැරදි පරීක්ෂණය ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වූ ලුවී පාස්චර් විසින් සකස් කරන ලදී. ඔහු මේ සදහා හංස ගෙලක් සේ දිගු සිහින් වක්‍රවූ ගෙලක් සහිත විශේෂ වීදුරු බදුනක් වූ හංසපාතික බදුන සාදවා වාතයට පිට විය හා ඇතුල් විය හැකි මුත් එහි ඇති සිහින් දිගු ගෙල ඔස්සේ ආපසු එන වාතය වක්‍රවූ නැම්මේ දී වාතයේ ඇති ක්ෂුද්‍ර ජීවී බීජාණු රැදී නතර වන බැවින් එම බදුන තුළ මස් තැම්බූ ජලය සමග ගැටෙන්නේ ක්ෂුද්‍ර ජීවී බීජාණු රහිත වාතය බැවින් ඒ අයුරින් නිවැරදි හා දෝෂ රහිත ලෙස පරීක්ෂණ සිදු කළ පසු පරීක්ෂණයේ ප්‍රථිඵල ලෙස වාතය හා ගැටුනු බදුනේ මස් තැම්බූ ජලයේ පමණක් ක්ෂුද්‍ර ජීවී කොලනි නිරීක්ෂණය වූ අතර වාතය හා ගැටුනු නමුත් බදුනේ විවෘත ගෙලේ නැම්මේ එම වාතයේ අඩංගු ක්ෂුද්‍ර ජීවීන් හෝ බීජාණු රැදී ඒවායින් තොර වාතය හා ගැටුනු බදුනේ මස් තැම්බූ ජලයේ ක්ෂුද්‍ර ජීවී කොලනි නිරීක්ෂණය නොවිනි. මෙයින් ස්වයං සිද්ධ ජනන වාදය ස්ථිරවම පරාජය වූ බව පිළිගැනේ.

ජීවය බිහි වන්නේ පෙර සිටින ජීවීන් ගෙනි යන කරුණ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ස්ථිර වන්නට විය.

මේ වන විට පදාර්ථය හා ශක්තිය සංස්ථිතික බව විද්‍යාත්මක ලෝකයේ ඔප්පු වූ නියත කරුණක් විය. එනම් පදාර්ථය හෝ ශක්තිය අලුතින් ඇති වීමක් හෝ තිබෙන දෙය විනාශ වීමක් හෝ නොවන බවත්, ඒවා එකිනෙක බවට පරිවර්තනය වෙමින් වෙනස් ස්වරූපය ගත්තද සමස්ථ වශයෙන් ප්‍රමාණය පොදුවේ විශ්වයේ නියතව පවතින බවයි. ඒ අයුරින් ජීවය ද පොදුවේ විශ්වයේ පොදු ලක්ෂණයක් බවත්, එසේ පැවති ජීවීන් ගෙන් අලුත් ජීවීන් බිහිවනු විනා ස්වභාවිකව ඉබේ ජීවය හට නොගන්නා බවත් නිගමනය කරන ලදී.

මේ වන විට ජීවයේ පරිණාමය පිළිබඳව දැනුම පහළ වී එය දියුණු වෙමින් පැවතිනි. පරිණාම වාදය ( Theory of Revolution ) තුළින් කළ ගවේෂණ අනුව ස්වභාවික ලෝකයේ ජීවය නොයෙක් අයුරින් පරිසර තත්ව හා ජීවයේ ඇතිවන වෙනස් වීම් ඔස්සේ පරිණාමය වේ නම් අජීවී පරිසරයේ යම් සුවිශේෂී තත්ව යටතේ ජීවය බිහි විය නොහැකි ද ? යන පැනය විද්‍යා ලෝකයේ නැගෙන්නට විය.

මෙය එක්තරා අයුරකින් යළි ස්වභාවිකව අජීවී ලෝකයක් තුළ සජීවී ලෝකයක් බිහි වීම ආකාරයේ, ආගමික ඇසකින් බලන විට දේව ක්‍රියාවලියක ප්‍රථිඵලයක් ලෙස අජීවී ලෝකයක ජීවයක් මැවීම වැනි ආකාරයේ අදහසක් යළි ඉස්මතු වීමක් සේ වී යැයි ද, එක්තරා අයුරින් කිවහොත් එය යටපත් වූ ස්වයං සිද්ධ ජනන වාදය නව මුහුණුවරකින් යළි සම්ප්‍රාප්ත වීමක් සේ පෙනුනද ඇත්ත වශයෙන්ම එහි වූයේ ඊට වඩා වෙනස් අරුතකි. විද්‍යාත්මක අදහසකි.

රසායනික පරිණාමය ( Chemical Revolution ) ලෙස පසුව කරළියට එන එයින් විද්‍යාත්මක වශයෙන් අකාබනික අණු වලින් ( ඉතාමත් විශේෂ කාල වකවානු තුළ සුවිශේෂී තත්ව ඇතිවීම යටතේ ) කාබනික අණු නිර්මාණය වීමෙන් ජීවයේ ආරම්භය සදහා වූ මූලික රසායනික පරිසරය ඇති වී යයිද ඒ රසායනික පරිසරය තුළ කාබනික සංයෝග මහා අණු ලෙස නිර්මාණය වෙමින් ජීව ක්‍රියාවලි සිදුවන සූක්ෂ්ම ව්‍යුහයන් නිර්මාණය වීම ඇරඹී ‍යයි ද එසේ අති දීර්ඝ කලකට පෙර ඇතිවූ මූලික ජීවීන් පරිණාමය වී වර්තමාන ජීවී ලෝකය බිහි වී යයි ද පැවසිනි. ( අකාබනික හා කාබනික රසායනය අතර වෙනස ඔබ සරලව හෝ දන්නේ යයි උපකල්පනය කොට මෙය ලියමි. ) පසු බැස සිටි මැවුම් වාදීන් මෙය ඔවුන් ගේ මතය පිණිස උපකාරයක් කරගෙන මෙහි විද්‍යාත්මක අදහස මත ඔවුන්ගේ මැවුම්වාදය තබා ඉන් පෙනී යන්නේ හෙවත් එම ක්‍රියාවලිය සිදුවන්නේ දිව්‍ය අභිප්‍රාය අනුව බව ප්‍රකාශ කළහ. ආගමික පක්ෂය එසේ ඔවුන් ගේ අරුත් දැක්වීම ගෙනහැර පාමින් සැනසෙද්දී විද්‍යාත්මක රසායනික පරිණාමය සොයා දිගටම පරීක්ෂණ මෙහෙයවූ අතර මෙම රසායනික පරිණාමය යම් දුරකට ක්‍රමානුකූලව පරීක්ෂණාත්මකව තහවුරු කෙරිනි.

රසායනික පරිණාමය පිළිබඳ පරීක්ෂණ දාමයේ පළමු සාර්ථක පරීක්ෂණය 19 වන සියවසේ දී ( ව්‍යවහාර වර්ෂ 1828 දී ) ජර්මන් ජාතික විද්‍යාඥයකු වූ ෆෙඩ්‍රික් වොලර් විසින් අකාබනික සංයෝග වූ ලෙඩ් සයනේට්, ඇමෝනියා හා ජලය ඇසුරින් විශේෂ ප්‍රතික්‍රියාවක් සිදු කරවා කාබනික සංයෝගයක් වූ යූරියා නිපදවීය. අජීවී ලෝකයේ හමුවන අකාබනික සංයෝග වලින් ජීවී ලෝකයේ හමුවන කාබනික සංයෝග සෑදිය නොහැකි යැයි සිතා සිටි අදහස ඉන් වෙනස් විය.

20 වන සියවස මුල භාගයේ දී ( එනම් 1936 දී පමණ රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් ඔපාරින් සහ බ්‍රිතාන්‍ය ජාතික J. B. S. හැල්ඩේන් විසින් රසායනික පරිණාමය පිළිබඳ විද්‍යාත්මක සිද්ධාන්තය ඉදිරිපත් කරනු ලැබීය. එමගින් ඔවුන් පැහැදිලි කළේ ආදි පෘතුවියේ පැවති රළු පරිසර තත්ව, වායු ගෝලීය සංයුතිය, නිරන්තරයෙන්ම පැවති අධි වෝල්ටීයතා අකුණු ගැසීමේ ක්‍රියාවලිය තුළින් පෘතුවියේ පැවති ප්‍රාථමික සාගර පද්ධතිය තුළ ( මේ මුල් අදියරේ පැවති සාගර සමූහය ඔවුන් ආදී සූපය හෙවත් Primordial Soup ලෙස හදුන්වන ලදී ) අකාබනික අණු වලින් පළමු පෙළ කාබනික අණු සංස්ලේෂණය වී ඒවා ක්‍රමයෙන් රසායනික පරිණාමය ඔස්සේ ජීවීන් තුළ දක්නට ලැබෙන මහා අණු නිර්මාණය වූ බවත් ඒ ඇසුරෙන් ජීවීන් ගේ මූලික තැනුම් ඒකක වූ සෛල බිහිවීමේ ක්‍රියාවලියේ ප්‍රාරම්භක අවස්ථා ඇරඹුණු බවත් ඒ ඔස්සේ දිගටම පැමිණ අද දක්වා වූ ජීවීන් බිහි වූ බවත් ප්‍රකාශ කරන ලදී.

මේ සම්බන්ධයෙන් ඊළග සාර්ථක පරීක්ෂණය 1952 දී ඇමෙරිකාවේ චිකාගෝ සරසවියේ ජෛව රසායනික විද්‍යා පර්යේෂකයන් යුවළක් වූ හැරල්ඩ් යූ සහ ස්ටැන්ලි මිලර් විසින් සිදු කරන ලදී. ඔවුන් ආදි පෘතුවියේ තිබුණා යැයි නිගමනය කළ පරිසර තත්ව පරීක්ෂණාගාර ඇටවුමක් තුළින් සකසා එහි එදා පැවති වායුගෝලයේ සංයුතිය හා සමාන වායු මිශ්‍රණයක් ද, සාගර පද්ධතිය හා ගැලපෙන ජල පරිමාවක් ද, අකුණු සැර නියෝජනය කිරීම සදහා අධික ප්‍රබලතාවයෙන් යුතු ඉලෙක්ට්‍රෝඩ ද අන්තර්ගත කරන ලදී. මේ පද්ධතිය තුළ වූ ජලය චක්‍රීකරණයට ලක් විය. එමගින් නිරූපණය වූයේ ජල චක්‍රය යි.
මේ පරීක්ෂණ ඇටවුම සති කිහිපයකට පසු නිරීක්ෂණය කළ විට ඔවුන්ට පෙනී ගියේ මෙහි වූ ආදී සූපය හා අනුරූප වූ ජලය රෝස පැහැ වී තිබූ බවත් එය විශ්ලේෂණය කළ විට මූලික කාබනික අණු ගණනක් එහි සංස්ලේෂණය වී තිබූ බවත් ය . ( ප්‍රධාන කොටම ප්‍රෝටීන වල තැනුම් ඒකක වූ ඇමයිනෝ අම්ල අණු හා ලිපිඩ වල තැනුම් ඒකක වූ මේද අම්ල අණු )

මේ ලෙසින් හැරල්ඩ් හා මිලර් ගේ මුල් පරීක්ෂණය ඉන් පසුව නොයෙක් විද්‍යාඥයන් විසින් වඩා සංවර්ධන කොට සිදු කරන ලද අතර එහිදී ජීවයේ පැවැත්ම සදහා අවශ්‍ය මූලික කාබනික අණු ගණනක් සංස්ලේෂණය කර ගැනීමට ඔවුන්ට හැකි වී තිබුණි. ( මේ වන විට ජීවයේ පැවැත්ම පිළිබඳ වැදගත් ඇමයිනෝ අම්ල විස්සෙන් දහයක් පමණ හා ජීවයේ පැවැත්ම හා සම්බන්ධ නොවූ ඇමයිනෝ අම්ල විස්සක් පමණ සංස්ලේෂණය කර ගැනීමට හැකි වී තිබූ අතර, එහෙත් කාබෝහයිඩ්‍රේට වල තැනුම් ඒකක වූ සරල සීනි අණු, සංකීර්ණ ලිපිඩ වල තැනුම් ඒකක වූ ඇතැම් මේද අම්ල අණු හෝ සෛල න්‍යෂ්ටියේ අඩංගු DNA සහ RNA ප්‍රවේණික අම්ල වල තැනුම් ඒකක වූ නියුක්ලියෝටයිඩ කිසිවක් මේ පරීක්ෂණය හරහා නිර්මාණය කිරීමට නොහැකි විය. )

හැරල්ඩ් හා මිලර් ගේ පරීක්ෂණය රසායනික පරිණාමය තහවුරු කිරීමට සහාය වූ හා පසුගිය සියවසේ සිදු කළ වැදගත්ම පරීක්ෂණයක් වූ නමුත්, බොහෝ විද්‍යාඥයන් එකී රසායනික පරිණාමය සිදු වූ බව පිළිගත්තේ වුවත්, මේ සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු ද සංකීර්ණ වූ බැවින් රසායනික පරිණාමය පිළිබඳ සංකල්පය ඒ වන විට සංවර්ධනය කර තිබූ සර්වත්‍ර බීජාණු න්‍යාය ( Theory of Panspermia ) මගින් පසු බස්වන ලදී.

මේ න්‍යාය මගින් රුකුල් දෙන්නේ ජීවය යනු විශ්වයේ පොදු සංසිද්ධියක් ය යන අදහසටයි.
පෘතුවියේ ජීවීන් ඇති වූයේ විශ්වයේ විසිරෙන පොදු බීජාණු ව්‍යාප්ත වීමේ ක්‍රියාවලියක ප්‍රථිඵලයක් ලෙසය, එනම් පෘතුවියේ ජීවය බැහැරින් ලැබුණු දෙයක් බවය.
ජීවීන් සහිත ග්‍රහලොවක සිට විශ්වයට නිදහස් වන බීජාණු විශ්වයේ සරන ධූමකේතු හෝ ඇස්ටරොයිඩ ආධාරයෙන් වෙනත් යෝග්‍ය ග්‍රහලොවකට පතිත වී එහි ජීවීන් පරිණාමය වේ යැයි මෙමගින් දැක්වේ.

මේ පැන්ස්පර්මියා වාදය පිළිබඳ ඉතිහාසය ඉන්දු ශිෂ්ඨාචාරය හා ග්‍රීක් ශිෂ්ඨාචාරය හා සම්බන්ධ වේ.
පෘතුවියේ ජීවය සදහා ඉන් බාහිර බලපෑමක් සිදු වූ බව පෙරදිග දර්ශනය තුළ හමුවන කරුණකි.
ග්‍රීක් යුගයේ විසූ ඇනෙක්සිගෝරස් නම් චින්තකයා විසින් මේ සංකල්පය වඩා විධිමත් ලෙස ඉදිරිපත් කරන ලදී. පැන්ස්පර්මියා නම් ග්‍රීක් වචනයේ අරුත වන්නේ විශ්වයේ පුරා විසිරෙන සර්වත්‍ර බීජාණු යන්නයි.

පැන්ස්පර්මියා වාදය අදියර තුනකින් විද්‍යාත්මක ලෝකයේ දී සංවර්ධනය විය.

  1. අන්තර් තාරීය පැන්ස්පර්මියාව – බීජාණු වෙන් වෙන් වූ තාරකා දෙකක සෞරග්‍රහ මණ්ඩල අතර සම්ප්‍රේෂණය වීම.
  2. අන්තර් ග්‍රහ පැන්ස්පර්මියාව – බීජාණු එකම සෞරග්‍රහ මණ්ඩලයක වෙන් වූ ග්‍රහලෝක දෙකක් අතර සම්ප්‍රේෂණය වීම.
  3. අධීක්ෂිත පැන්ස්පර්මියාව – දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයකින් තෝරාගත් ග්‍රහලොවක බීජාණු තවාන් කිරීම.

මේ මතය තුළ කාබනික මහා අණු නිර්මාණය වීමක් ගැන පැන නොනැගේ. මන්ද ජීවය විශ්වයේ පොදු ක්‍රියාවලියක් නිසා පටන් ගැන්මක් හෝ අවසානයක් නොමැතිව මහා අණු හා ඒවායේ සංඝටක විශ්වයේ පවතින බව පිළිගැනීම නිසායි.

පැන්ස්පර්මියා වාදයට වැදගත් සාක්ෂි සපයන සිදුවීමක් නම් 1984 දී ඇන්ටාක්ටිකා මහාද්වීපයේ ගවේෂණ වලදී හමුවූ අගහරු ග්‍රහයා ගෙන් කැඩී ආ උල්කාෂ්ම කොටසක් පරීක්ෂණ කළ විට එහි බැක්ටීරියා වාසය කළ බවට ලැබුණු සාක්ෂි ය. එසේම කාබනික අණු රැසක් ද එහිදී හදුනා ගනු ලැබිනි.
කෙසේ උවත් මේ බැක්ටීරියා උල්කාෂ්මය තුළම තිබුණා ද නැත්නම් එය පෘතුවියට පතිත වූ පසු පෘතුවියේ තිබී එහි තැන්පත් වූයේ ද යන්න පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇත.

පැන්ස්පර්මියා වාදය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල් සහ ශ්‍රී ලාංකික චන්ද්‍ර වික්‍රමසිංහ යන විද්‍යාඥයන් විසින් වැදගත් මෙහෙවරක් සිදු කොට ඇත.

නමුත් රසායනික පරිණාමය තහවුරු කිරීම සම්බන්ධයෙන් ද වැදගත් පියවර ගණනක් ගැනිනි. ( රසායනික පරිණාමය පිළිබඳව ශ්‍රී ලාංකික විද්‍යාඥ ; සිරිල් පොන්නම්පෙරුම විසින් වැදගත් කාර්ය භාරයක් ඉටු කොට ඇත. )
රසායනික පරිණාමය පිළිබඳ ප්‍රධාන ගැටලුවක් වූයේ අකාබනික ලෝකයේ සිට කාබනික ලෝකය දක්වා රසායනික පරිණාමය සිදුවීමේදී මහා අණු ( කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ හා නියුක්ලික් අම්ල ) නිම වීමට ඒවායේ සරල මට්ටමේ අණු අතර ප්‍රතික්‍රියාවලි සදහා වුවද මහා අණු විශේෂයක්ම වන එන්සයිම ගණනාවක් අවශ්‍ය වීමයි. එන්සයිම නොමැතිව මහා අණු සෑදීම විය නොහැකි දෙයක් බව පෙනී යන්නට විය. එන්සයිම යනු ප්‍රෝටීන දාමයන්ම ත්‍රිමාන ව්‍යුහයක් අනුව සැකසී සෑදෙන අණු විශේෂයකි. තවද ජීවයේ පදනම් අණු ලෙස සැලකෙන ඩිඔක්සිරයිබෝ නියුක්ලික් අම්ල අණු ( DNA ) න්‍යෂ්ටික වශයෙන් ප්‍රධාන වී මූලික ගුණ ඊළග අවස්ථාව වෙත සම්ප්‍රේෂණය කරන්නේ මුල් අණුව බිදී ඒ හා සර්ව සම අණු දෙකක් බවට පත් වෙමිනි. ඉතින් මුල් යුගයේ ප්‍රාථමික සෛල අවස්ථාවක් තුළ වුවත් එක් සෛලය බෙදී සෛල දෙකක් වීමට න්‍යෂ්ටික බෙදීමේ ක්‍රියාවලියේ දී මුලින් ඇතිවූයේ එන්සයිම ද නැත්නම් DNA ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයක් විය. මන්ද DNA සංස්ලේෂණය ට එන්සයිම අවශ්‍ය සේම එන්සයිම සංස්ලේෂණය ට DNA අවශ්‍ය බැවිනි. ( රසායනික පරිණාමයේ දී මේ ප්‍රශ්නය නගනුයේ මුලින් ඇතිවූයේ කිකිළියද බිත්තරයද යන්න විසදීමක් ලෙසය ) මේ නිසා සර්වත්‍ර බීජාණු න්‍යාය ඉදිරියේ රසායනික පරිණාමයට පසු බැසීමට සිදුවිය.

1960 දී ඩී.එන්.ඒ සමගම සෛල න්‍යෂ්ටියේ ඇති රයිබෝ නියුක්ලික් අම්ල ( RNA ) අණු වලට නැමීම් ඇතිකරගෙන ප්‍රෝටීන අණු මෙන් පෙනී සිටිය හැකි බව සොයා ගන්නා ලදී. DNA තරම් සංකීර්ණ නොවූ RNA සතු මේ ආකාර හැකියාවන් තව දුරටත් ගවේෂණය කරන ලද අතර 1982 දී RNA වලට එන්සයිම ලෙස ක්‍රියා කළ හැකි බවත් ඔප්පු විය.
රසායනික පරිණාමය ට ප්‍රබල රුකුලක් සපයන මේ ප්‍රථිඵල අනුව මුලින් RNA ඇති වූ බවත් එයින් එන්සයිම හා DNA නිර්මාණය වූ බවත් පුරෝකතනය කරන ලදී.
නැවත 2001 දී RNA සතු වූ ස්වයං සංස්ලේෂණය වීමේ හැකියාව ද ඔප්පු විය.
මේ අනුව RNA බිහිවීම හා එයින් උත්ප්‍රේරණය ලැබ අනිකුත් මහා අණු නිර්මාණය වීමත් එම රසායනික පරිණාම යුගයේ දී බිහිවූ ප්‍රාග් සෛල ඔස්සේ ජීවයේ සෛලීය පරිණාමය ඇරඹී නොයෙක් ආකාර ලෙස විවිධ වූ ජෛව ගෝලයක් පෘතුවියේ නිර්මාණය වූ බවත් ගෙනහැර දක්වන ලදී.

එහෙත් ඔපාරින් හා හැල්ඩේන් විසින් ඉදිරිපත් කොට හැරල්ඩ් හා මිලර් විසින් පරීක්ෂණ අරඹා අද දක්වා ඔවුන්ගේ පසුගාමී විද්‍යාඥයන් විසින් වැඩි දියුණු කළ රසායනික පරිණාමයේ දී තවමත් සරල සීනි, ඇතැම් අත්‍යාවශ්‍ය මේද අම්ල හා නියුක්ලියෝටයිඩ මේ පරීක්ෂණ ක්‍රියාවලියේ දී නිපදවා පෙන්වීමට අසමත් වීමත්, මෙහි විස්තර කරන ආදි පෘතුවි තත්ව පිළිබඳ පැහැදිලි නිගමන නොමැති වීමත් ආදී ප්‍රබල සාධක නිසා රසායනික පරිණාමය හෙවත් එක් අයුරකින් බටහිර දාර්ශනික මැවුම්වාදීන්ට සිය මතයට රුකුලක් සපයන මේ න්‍යාය ද ජීවයේ සම්භවය පිළිබඳව සම්පූර්ණ පැහැදිලි කිරීම සිදුකිරීමට අසමත් වී තිබේ.

මේ න්‍යාය ප්‍රබල ලෙස ප්‍රශ්න කළ පැන්ස්පර්මියා වාදී විද්‍යාඥ බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල් රසායනික පරිණාම වාදීන් පවසන අයුරින් අකාබනික අණු වලින් කාබනික අණු ඇති වී ඒවා මහා අණු දක්වා විකසනය වී ඉනුත් පසුව සෛල යුගයක් ඇතිවී බහු සෛලීය ජීවීන් බිහිවී ඒම පැරණි කාර්මික සුන් බුන් ගොඩක් හරහා හමායන සුළි කුණාටුවකින් ඒ සුන් බුන් එකලස් වී එයින් නවීන ජෙට් යානයක් නිර්මාණය වීම බදු සුරංගනා කතාවකියි පවසන ලදී.

අවසාන වශයෙන් ජීවයේ සම්භවය පිළිබඳව ලෝකය ඉදිරියේ ඇති ප්‍රධාන විද්‍යාත්මක මත දෙක නම් රසායනික පරිණාමය ත්, සර්වත්‍ර බීජාණු න්‍යාය ත් වේ.
මින් එකක් හෝ ඇතැම් විට දෙකම යථාර්ථය හා සමීප විය හැක.

ඡායාරූපය :

ජීවයේ සම්භවය පිළිබඳ නූතන අඛණ්ඩ පර්යේෂණ ක්‍රියාවලිය

[ මේ දක්වන ලද නවීන විද්‍යාත්මක කරුණු සහ තථාගතයාණන් වහන්සේ විසින් දේශිත අභිධර්මය අතර පෙනීයන ආශ්චර්යජනක සම්බන්ධය ඒ පිළිබඳව පරිච්ඡේද කරා පැමිණි විට ඉදිරිපත් කරමි.

එබැවින්, දිගටම ලිපි මාලාව සමග රැදී සිටින්නට ආරාධනා ! ]

මේ ලිපි මාලාව මගේ මුහුණු පොතේ ‘ සත්‍යයේ සුගන්ධය ‘ ඇල්බමයෙන් ද ඔබට කියවිය හැක.
මේ එහි මෙම ලිපියෙහි මුල් පෝස්ටුවයි

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top