ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සිය ධුරයෙන් ඉවත් වීමට ඇති සූදානම පිළිබඳව අද (28) පාකිස්තානය සමඟ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගයෙන් අනතුරුව අදහස් දැක්වීය.
මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ, තමන් මීට පෙරම එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබූ බවයි. ඔහුගේ නිල සේවා කාලය එළඹෙන ජූනි මාසය දක්වා පවතින බවද මෙහිදී සඳහන් විය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති අතර, ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය:
”මම මීට මාස දෙකකට කලින් එංගලන්ත සංචාරයේදීම තීරණය කළා මේ වගකීම තව කෙනෙකුට ලබා දිය යුතුයි කියලා. ලෝක කුසලානය සාර්ථකව නිමා කරලා පුහුණුකරු ධුරයෙන් සමුගන්න මම බලාපොරොත්තු වුණත්, අපිට හිතපු තරම් සාර්ථක වෙන්න බැරි වීම ගැන මට කණගාටුයි. හැබැයි මගේ කාලය තුළ කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානයටත්, ටෙස්ට් කණ්ඩායම 6 වැනි ස්ථානයටත් රැගෙන ඒමට හැකි වීම ගැන මට සතුටු විය හැකියි. මගේ සහාය නිලධාරීන්ගෙන් මට ඒ සඳහා ලොකු සහයෝගයක් ලැබුණා. කොහොම වුණත් මගේ කොන්ත්‍රාත්තුව ජූනි වෙනකන් තියෙනවා, ඉදිරි පියවර ගැන ක්‍රිකට් ආයතනයත් එක්ක කතා කරන්න ඕනේ.”
Source- Ada Derana

