SL Media Hub

SL Media Hub - Header

සැතපෙන ඉරියව් අනුව ඔබ කවුද?

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සෙය්යා සූත්‍රයේදී ලෝකයේ දකින්න ලැබෙන සැතපෙන ඉරියව් හතරක් ගැන බොහොම අපූරු විස්තරයක් කරලා තියෙනවා. අපි හැමදාම රෑට නිදාගත්තට මේ ගැන ලොකු අවබෝධයක් නැති වුණාට බුදු ඇසට පෙනුන ඒ ස්වභාවයන් ගැන දැනගැනීම හරිම වැදගත්.

පළවෙනි ඉරියව්ව තමයි පේත සෙය්යාව. ඒ කියන්නේ ප්‍රේතයන් නිදාගන්නා විදිය. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් උඩුබැලි අතට නිදාගන්න පුරුදු වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර කලුරිය කරපු ප්‍රේතයන් තමයි බහුලව උඩුකුරුව නිදාගන්නේ කියලා. මේ ගැන අටුවාවේ පැහැදිලි කරන විදියට ප්‍රේත ආත්මවල ඉපදුන අයට ඇඟේ මස් ලේ අඩුයි. නිකන් ඇට සැකිලි වගෙයි. ඒ නිසා එයාලට ඇලයට හැරිලා නිදාගන්න අමාරුයි මොකද ඇට වලට රිදෙනවා. ඒ නිසා තමයි එයාලා නිතරම උඩුබැලි අතට හැරිලා නිදාගන්නේ.

දෙවෙනි ක්‍රමය තමයි කාමභෝගී සෙය්යාව. කාම සැප විඳින ගිහි අය සාමාන්‍යයෙන් නිදාගන්නේ වම් පැලපතට හැරිලා. මේක කාමභෝගී මනුස්සයන්ගේ ස්වභාවයක් විදියටයි සූත්‍රයේ පෙන්නලා දෙන්නේ.

තුන්වෙනි එක තමයි වැදගත්ම ඉරියව්ව. ඒකට කියන්නේ සීහ සෙය්යාව කියලා. ඒ කියන්නේ සිංහයෙක් වගේ නිදාගන්න එක. මේක තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වගේම ධර්මයේ හැසිරෙන අපිටත් පුරුදු වෙන්න කියලා උපදෙස් දෙන්නේ. සිංහයෙක් නිදාගද්දි නිදාගන්නේ දකුණු ඇලයට. ඉදිරි පාද දෙක එක මත එක තියාගෙන වගේම පස්ස පාද දෙකත් එක මත එක තියාගෙන වලිගය කලවා අතර ගහගෙන බොහොම තැන්පත්ව තමයි සිංහයා සැතපෙන්නේ. මේ ගැන අටුවාවේ හරි ලස්සන කතාවක් තියෙනවා. සිංහ රාජයා නිදාගන්න කලින් තමන්ගේ පාද පිහිටපු තැන ගැන හොඳ අවධානයකින්ලු නිදාගන්නේ. නින්දෙන් ඇහැරුනාම සිංහයා ඔලුව උස්සලා බලනවලු තමන් නිදාගද්දි තියපු විදියටම කකුල් තියෙනවද කියලා. එහෙම නැතුව ශරීරය හෙලවිලා ඉරියව් වෙනස් වෙලා නම් සිංහයා තමන් ගැනම කලකිරෙනවලු මගේ ජාතියේ වීර්යයට මේක ගැලපෙන්නේ නෑ කියලා. එහෙම වුණොත් ගොදුරු හොයන්න යන්නේ නැතුව ආපහු නිදාගන්නවලු. හැබැයි තමන් හිටපු විදියටම නොසෙල්වී හිටියා නම් තමන් ගැන සතුටු වෙලා කේසර සලලා සිංහනාද කරලා තමයි ගොදුරු හොයන්න යන්නේ. ඉතින් අපිත් සිහිය පිහිටුවාගෙන දකුණු ඇලයට සිංහයෙක් වගේ නිදාගන්න පුරුදු වෙන එක හරිම වටිනවා.

හතරවෙනි ඉරියව්ව තමයි තථාගත සෙය්යාව. ඒක අනිත් හැම එකටම වඩා වෙනස්. බුදුරජාණන් වහන්සේ සැතපෙනවා කියන්නේ උන්වහන්සේ ධ්‍යාන වලට සමවැදිලා ඉන්න එකටයි. ප්‍රථම ධ්‍යානයේ ඉඳලා චතුර්ථ ධ්‍යානය දක්වා සිත දියුණු කරලා සමාධියෙන් ඉන්න එක තමයි තථාගත සෙය්යාව කියන්නේ. නිදාගන්න පොඩි ඉරියව්ව ගැන වුණත් ධර්මයේ කොච්චර ගැඹුරු විස්තරයක් තියෙනවද කියලා මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්.

උපුටා ගැනීම- Facebook

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top