පසුගිය 2025 වසර තුළ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම වසරේදී සයිබර් අපරාධ 2,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි.
මෙම අපරාධවලට ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ මෙරට තරුණ ප්‍රජාව සහ වැඩිහිටි ප්‍රජාව වන අතර, අන්තර්ජාලයට මෑතකදී ප්‍රවේශ වූ පිරිස්ද සයිබර් අපරාධකරුවන්ගේ ඉලක්ක බවට පත්ව ඇති බව ඔහු පැවසීය.
ඒ හේතුවෙන් මහජනතාව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව අවධාරණය කළ ඔහු, මුරපද, OTP අංක සහ බැංකු ඇතුළු පෞද්ගලික තොරතුරු කිසිදු අවස්ථාවක තුන්වන පාර්ශවයන් වෙත ලබා නොදෙන ලෙස දැනුම් දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා කියා සිටියේ, ප්‍රසිද්ධ පුද්ගලයින් හෝ ආයතන නාම භාවිතා කරමින්, ලක්ෂ ගණනක මුදල් දිනා ඇති බව පවසා ජනතාව රවටා, ඔවුන්ගේ දුරකථන, බැංකු සහ OTP තොරතුරු ලබාගෙන මුදල් වංචා කිරීමේ සිද්ධීන් වාර්තා වන බවයි.
එවැනි රැවටිලි හේතුවෙන් ඇතැම් මව්පියන් සහ තරුණයින් තමන් මහන්සියෙන් උපයාගත් මුදල් අපරාධකරුවන්ට අහිමි කරගන්නා බවත්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසත් ඔහු වැඩිදුරටත් අවවාද කළේය.
SOURCE : sinhala.adaderana.lk

