යමක් කමක් ඇති අයෙකුගේ නිවසේ පමණකි. තමන්ගේ ආසනයේ නිවෙස්වල දුරකථනවලට කතා කර ඡන්දය තමන්ට දෙන ලෙසට අපේක්ෂකයාම ඉල්ලීම් කිරීම එකල අමුතු සිදුවීමක් නොවීය. වික්රමසූරියලාගේ නමට තිබූ කාල්ටන් නිවසේ දුරකථන අංකයට ඇමතුමක් ගත් රංජිත් අතපත්තු නිවසේ ඡන්ද දායකයන්ගේ ඡන්දය තමන්ට ලබාදෙන ලෙසට ඉල්ලුවේය. දුරකථනයට පිළිතුරු දුන්නේ මහින්ද රාජපක්ෂමය. මහින්දගේ ඡන්දය රංජිත් අතපත්තුට නොලැබුණත්, එවර නම් මහින්දට පාර්ලිමේන්තු කඩුල්ල පැනගැනීමට තරම් ප්‍රමාණවත් ඡන්ද ගැනීමට නොහැකි වුණේය.
කාල්ටන් නිවසේ සිටි මහින්දට විජේරාමයේ නිල නිවස ලැබුණේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන කාලයේදීය.
දෙවැනි වරටත් මහින්දට තංගල්ලේ පදිංචියට යාමට සිදුවුණේ විජේරාම මාවතේ නිල නිවස අහිමිවීම නිසාය. ඒ හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව ගෙනා පනත නිසාය. එම පනත සම්මත වීමෙන් පසු විශ්‍රාම වැටුප හැර අන් සියලු පහසුකම් හිටපු ජනපතිවරුන්ට අහිමි වූවේය. එනමුත් එල්ල වී ඇති තර්ජන විශ්ලේෂණය කර අඩුවැඩි වශයෙන් පොලිස් ආරක්ෂාව දිගටම දුන්නේය. විජේරාම නිවසින් එළියට බැස තංගල්ලට ගිය මහින්ද නොයෙක් දේශපාලන කටයුතුවලටත්, උත්සවවලටත් සහභාගීවීමට කොළඹට පැමිණීමට සිදුවිය. කොළඹ ගමන්වලදී මහින්ද බොහෝ විට රැය පහන් කළේ යෝෂිත රාජපක්ෂගේ නිවසේය. කෙසේ නමුදු මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට දිගටම කොළඹ සිටීමට නිවසක් සොයා බැලුණි.
මහින්දට කොළඹින් නිවසක් ගැනීමට මාස කිහිපයක් තිස්සේම නිවාස ගැන සොයා බැලුවේය. වරක් කැලණියේ නිවසක් ගැනීමට නියමිතව තිබුණත්, ආරක්ෂක අංශ සාමාජිකයන්ට නවාතැන් ගැනීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම නිසා එම නිවස ගත්තේ නැත.
ඉන් මාස කිහිපයකට පසුව මහින්දට කිරුළපනෙන් නිවසක් ලැබුණේය. මේ නිවසත් දේශපාලනඥයෙක්ට සම්බන්ධ නිවසක්ය. මේ ආකාරයට 2015 වසරේදී ජනාධිපතිවරණයෙන් පසුව කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී. ලියනගේ මහින්දට නිවසක් දීමට සූදානම් වුණේය. නිවසේ ඉදිරිපිට පිහිටි පිහිණුම් තටාකයක් වැලිවලින් පුරවා වසා දමා ඔහු මාධ්‍යවේදීන් පිරිසක් නිවසට කැඳවා නිවසත් පෙන්නුවේ සුවිශේෂී පුද්ගලයෙක් ඉදිරියේදී නිවසට පදිංචියට එන බව කියමිනි. එහෙත් මහින්ද රාජපක්ෂ, ඒ.එස්.පී. ලියනගේගේ ගෙදරට ගියේ නැත.
ඔහුගේ නිවසට නොගිය මහින්ද රාජපක්ෂ හිටපු ඇමැති ජීවන් කුමාරතුංගගේ බෑණා කෙනෙක් වන ව්‍යාපාරිකයෙක් දුන් නිවස නම් එපා කිවේ නැත. ජීවන්ගේ නිවසට හූවක දුරින් පිහිටි මේ නිවසේ හිමිකරු නාමල් රාජපක්ෂගේ මිතුරෙකි. කාමර හතරකින් සමන්විත වන නිවසේ ඉහළ මහලේ කාමර දෙකකි. පහළ මහලේ කාමර දෙකකි. ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් ඒ අසලම වෙනත් නිවසක් කුලියට ගෙන තිබෙන්නේ මහින්ද පදිංචි නිවසේ ඉඩ කඩ ප්‍රමාණවත් නැති නිසාය.
මේ නිවසට මහින්ද පදිංචියට ආවේ එක්වරමය. ඒ නිසා හිටපු ජනාධිපතිවරයෙක්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර ගැනීමට නියමිතව තිබෙන්නේය. එම පියවර මොනවාදැයි ආරක්ෂක රහස්ම විය හැක්කේය.
මුලාශ්‍රය – අරුණ පුවත් පත

