බොහෝ දෙනෙක්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි තමන්ට යම් මුදල් හෝ දේපළ ආරවුලක් වුනාම ඒක විසඳගන්න යන්න ඕන කොතනටද කියන එක. වැරදි තැනකට ගියොත් කාලයත්, මුදලත් දෙකම අපරාදේ.
ඒ නිසා, 2024 වසරේ නව සංශෝධනත් එක්ක සිවිල් නඩු පැවරීමේදී අදාල වන “මූල්‍ය සීමාවන්” (Monetary Limits) ගැන නිවැරදිම අවබෝධය ලබාගෙන ඉමු.
01. මුලින්ම සමථ මණ්ඩලයට යන්න ඕන අවස්ථා මොනවාද?
ඔබේ ආරවුලට අදාල මුදල රුපියල් මිලියනයක් (ලක්ෂ 10 ක්) හෝ ඊට අඩු නම්, ඔබ අනිවාර්යයෙන්ම නඩු කියන්න කලින් සමථ මණ්ඩලයට යා යුතුයි.
1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත: මෙහි මූල්‍ය සීමාව රුපියල් මිලියනය (1,000,000.00) දක්වා ඉහළ දමා ඇත. (2024 අංක 2 දරන සමථ මණ්ඩල (සංශෝධන) පනත මගින්)
2003 අංක 21 දරන සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත: මෙහිද මූල්‍ය සීමාව රුපියල් මිලියනය (1,000,000.00) හෝ ඊට අඩු බව දක්වා ඇත. (අංක 2328/19 දරන 2023.04.21 ගැසට් පත්‍රය අනුව)
ඉහත පනත් යටතේ වන නඩුකරයක් අධිකරණයට දාන්න කලින් සමථ මණ්ඩලයෙන් ලබා ගන්නා “නිරවුල් නොකිරීමේ සහතිකයක්” (Non-settlement certificate) අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.
02. බැංකු සහ ණය දෙන ආයතනවලට විශේෂයි!
ඔබ ණය දෙන ආයතනයකින් ණයක් අරගෙන පොලු තිබ්බොත්, ඒ අයට සමථ මණ්ඩල ගානේ රස්තියාදු වෙන්න ඕන නැහැ.
1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (සංශෝධිත):
මෙම පනතේ 2(2) වගන්තිය අනුව, අර්ථ දක්වා ඇති ණය දෙන ආයතනයකට රුපියල් එක් ලක්ෂ පනස් දහසකට (150,000.00) වැඩි ඕනෑම මුදලක් අය කරගන්න කෙලින්ම දිසා අධිකරණයේ නඩු පවරන්න පුළුවන්. ඒ සඳහා සමථ මණ්ඩල සහතික අවශ්‍ය නැහැ.
03. සුළු හිමිකම් අධිකරණ (Small Claims Courts)
දැන් ලොකු නඩු අස්සේ පුංචි නඩු හිරවෙන්නේ නෑ. රුපියල් ලක්ෂ 20 කට (මිලියන 2 කට) අඩු ආරවුල් තියෙනවා නම් ඒ සඳහාම වෙන්වුණු සුළු හිමිකම් අධිකරණ තියෙනවා.
2022 අංක 33 දරන සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනත: නඩු පැවරීමේ මූල්‍ය සීමාව පොලිය හැර රුපියල් මිලියන දෙකක් (2,000,000.00) හෝ ඊට අඩු විය යුතුයි. (අංක 2328/16 දරන 2023.04.21 ගැසට් පත්‍රය අනුව)
04. වාණිජ මහාධිකරණ (Commercial High Courts)
ව්‍යාපාරික ලෝකයේ සිදුවන දැවැන්ත මූල්‍ය ගනුදෙනු සඳහා වෙන්වූ අධිකරණය මෙයයි.
1996 අංක 10 දරන පළාත්බඳ මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත: මෙහි නඩු පැවරීමේ අවම මූල්‍ය සීමාව රුපියල් මිලියන පනහක් (50,000,000.00) ලෙස දක්වා ඇත. (අංක 2312/26 දරන 2022.12.28 ගැසට් පත්‍රය අනුව)
05. දිසා අධිකරණ (District Courts)
එතකොට අනිත් නඩු වලට මොකද වෙන්නේ?
ඉහත සඳහන් කළ සුළු හිමිකම් අධිකරණයට හෝ වාණිජ මහාධිකරණයට අදාල නොවන (ඒවායේ මූල්‍ය සීමාවලට හසු නොවන) සියලුම සිවිල් නඩු සිවිල් නඩු විධාන සංග්‍රහය අනුව අදාල දිසා අධිකරණයේ ගොනු කළ හැකියි.
(මීට අමතරව ඉහත 02 වන කාරණයේ සඳහන් කළ ණය ආපසු අයකර ගැනීමේ පනත යටතේ රු. 150,000 ට වැඩි නඩු ගොනු කෙරෙන්නේද දිසා අධිකරණයේමය).
✍️සැකසුම: නීතිඥ නාලින්ද දිසානායක.
නීතිය ගැන නිවැරදිව දැනුවත් වන්න, Law Guide සමඟ රැඳී සිටින්න.
Published by admins of Law Guide
Facebook උපුටා ගැනීමකි.

