බත්තරමුල්ල දියත උයන සහ ඇතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් පහරදුන් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 22දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද(13) නියෝග කර තිබේ.
අදාළ සැකකරු වැලිකඩ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
එම පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක් වන බවත් ඔහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවත් පොලිසිය අධිකරණයට දන්වා ඇත.
මෙම සැකකරු මින් ඉහතදීද අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදා හැර ඇති අයකු බවද සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ වන විටත් ඔහුගේ ශරීරයේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තැන්පත්ව තිබූ බවට එම වාර්තාවේ සඳහන් බවද පොලිසිය අධිකරණය හමුවේ දන්වා ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් සිද්ධියට අදාළව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
SOURCE: sinhala.adaderana.lk

