2025 වසරේ මුල් මාසවලදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
සමීක්ෂණ ප්‍රතිඵල අනුව, නාගරික අංශය සියයට 52.1කින් ඉහළම පරිගණක සාක්ෂරතා අනුපාතය වාර්තා කර ඇති අතර, ග්‍රාමීය අංශයේ එය සියයට 36.6ක් ලෙසත්, වතු අංශයේ සියයට 18.6ක් ලෙසත් සඳහන් වේ.
එසේම 2025 වසරේ මුල් භාගයේදී පිරිමින් අතර පරිගණක සාක්ෂරතාව සියයට 39.9ක් ලෙසත්, කාන්තාවන් අතර සියයට 37.1ක් ලෙසත් වාර්තා වී ඇත.
මෙම සංඛ්‍යා ලේඛන අනුව, ස්ත්‍රී–පුරුෂ පාර්ශ්ව අතර පවතින පරිගණක සාක්ෂරතා පරතරය සාපේක්ෂව සුළු අගයක් බවද සමීක්ෂණය පෙන්වා දෙයි.
වයස අවුරුදු 15 සිට 19 දක්වා තරුණයන් සියලුම වයස් කාණ්ඩ අතර ඉහළම පරිගණක සාක්ෂරතා අනුපාතය දක්වා ඇති අතර, එය සියයට 75.6ක් ලෙස වාර්තා වේ.
අධ්‍යාපන මට්ටම හා ඩිජිටල් කුසලතා අතර දැඩි සම්බන්ධයක් පවතින බවද සමීක්ෂණයෙන් හෙළිව ඇති අතර, උසස් පෙළ හෝ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකම් හිමි අය අතර පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 78.6ක් ලෙස සටහන් වේ.
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාක්ෂරතාව ඇති පුද්ගලයන් අතර පරිගණක භාවිත කුසලතා ඉහළ මට්ටමක පවතින බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය මැනී ගන්නේ, වයස අවුරුදු 5 සිට 69 දක්වා ජනගහනයෙන් තමන්ටම පරිගණකයක් භාවිතා කිරීමට හැකියාව ඇති පුද්ගලයන්ගේ ප්‍රතිශතය ලෙසයි.
SOURCE: sinhala.adaderana.lk

