SL Media Hub

SL Media Hub - Header

මාර්ගවල රේස් පදින තරුණයින්ට වැඩ වරදියි

ප්‍රධාන මාර්ගවල අනාරක්ෂිත ලෙස යතුරුපැදි ධාවනය කරන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි භාවිත කරමින්ද මෙම අනාරක්ෂිත ධාවන කටයුතු සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවත්, එවැනි යතුරුපැදි අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ, යතුරුපැදි භාවිතය ගමන් පහසුව සඳහා වන අතර ප්‍රධාන මාර්ගවල රේස් පැදීම, පදිකයන් හෝ නීතිගරුක රියදුරන් අනතුරට පත් කිරීම සඳහා නොවන බවයි.

විශේෂයෙන්ම තරුණයන් අතර අනාරක්ෂිත ලෙස යතුරුපැදි ධාවනය කිරීමේ ප්‍රවණතාව ඉතා භයානක තත්ත්වයක් බවත්, අධික වේගයෙන් හා අපරික්ෂාකාරීව ධාවනය කරන යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රථවාහන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

එසේම අවුරුදු 18ට අඩු අය විසින්ද යතුරුපැදි ධාවනය කිරීම, රියදුරු බලපත්‍ර නොමැතිව අධික වේගයෙන් ධාවනය කිරීම සහ හෙල්මට් නොපැළඳීම වැනි සිද්ධීන් මෑතකදී වාර්තා වූ බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මෙවැනි ක්‍රියා හේතුවෙන් ජීවිත හානි සිදුවන බවත්, ඒ නිසා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ද පොලීසියට ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top