ලයාන්විතව නාදවන ක්ලෑන්ඩ් සංගීත කන්ඩායමේ අයර්ලන්ත ඕගන්, ගිටාර් සම්මිශ්‍රනයත් සමග ඇසෙන, “Robin, the hooded man” ගීතය කන වැකුනු මොහොතේම උන් හිටි තැන් අමතක වෙලා රූපවාහිනීය ලඟට දුවපු සොඳුරු අතීතයක් මටත් තිබුනා. කොටස් 26කින් සමන්විත Robin of Sherwood කතා මාලාවට පෙම් නොබැඳි එකම රූපවාහිනී රසිකයෙක්වත් ඒ කාලේ හොයා ගන්ඩ පුලුවං කමක් තිබුනෙ නෑ…
තාක්ෂණය සහ සන්නිවේදනය එච්චරම දියුනු නැති කාලෙක මේ කතා මාලාව ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ලබාදීලා ටයිටස් තොටවත්ත මහත්තයා ආමන්ත්‍රණය කලේ නියමම ප්‍රේක්ෂකය නාඩියකට. ඒ කතා මාලාව මට මතක විදිහට ලංකා ඉතිහාසයේ සිංහල උපසිරැසි සහිතව විකාශනය වෙච්ච මුල්ම ගනයේ කතාවක්. මගේ සමකාලීන බ්‍රිතාන්‍ය ජාතික මිතුරෙක් පැවසූ ලෙසට The Dukes of Hazzard, Buck Rogers වැනි එංගලන්ත දැවැන්ත කතාමාලා අතර රොබින් හුඩ්ට තිබුනේ ඉතාම අඩු ලංසුවක්. අදටත් Robin Hood of Sherwood එංගලන්තයේ සාර්ථක නිර්මාණයක් නෙවේ. ඒ අතින් ටයිටස් තොටවත්ත මහත්තයාගේ ප්‍රේක්ෂකය කියවීම තිබුනෙනං වෙනම තලයක.
මේ කතා මාලාවෙන් පස්සෙ මේ නළු නිලි කැලට මොකද වුනේ?
රඟපෑමට පෙර බ්‍රිතාන්‍ය හමුදාවේ පවා සේවය කල හර්න් චරිතයට පන පෙවූ ජෝන් අබිනේරි ජීවන රඟ මඩලෙන් බැස ගියේ 2000 වසරේ. එතකොට ඔහු 72 වියේ පසුවුනා. රොබින්ගේ කන්ඩායමට කවදත් හිතැති විකම් ගමේ ප්‍රධානියා, එඩ්වර්ඩ් මිය ගියේ 2020 වසරේ. ඔහු මිය යෑමට ප්‍රතම Star Wars, James Bond ඇතුලු සිනමා නිර්මාන ගනනාවකටම දායකත්වය සපයනවා. දක්ශ රඟපෑම නිසා කාගෙත් උදහසට ලක්ව සිටි ගිස්බන් 43 හැවිරිදි වියේ පිලිකා රෝගයෙන් මිය යන්නේ 2003.
රොබින් හුඩ් කතා මාලාවේ ප්‍රධානම චරිත වලින් ඉන්න වයසින් බාලයා තමා මාච් ඔහුටත් දැන් වයස 60යි. සුරූපී මැරියන් දැන් වයස 62ක ආච්චි කෙනෙක්. මේ දෙදෙනා සහ ටක්, රොබින් හුඩ් කතා මාලාවෙන් පසු රිදී තිරයේ හෝ පුංචි තිරයේ වැඩිය පේන්ඩ හිටියේ නෑ. රොබින් හුඩ් කතා මාලාව සමගම ඔවුන්ගේ නළු ජීවිතය කාලයත් එක්කම වැලලිලා ගියා.
ඔවුන්ට සාපේක්ෂව ලිට්ල් ජෝන් හැල හැප්පීම් මැද ටිකක් ඉස්සරහට ගියා. Thomas and Friend හි හඬ කැවීම් වලින් සහ Game of Throne season 1 ඇතුලු වැඩසටහන් වලින් ලිට්ල් ජෝන් කාලෙන් කාලෙට අපිට සමීප වුනා.
නපුරු ශෙරීෆ්ගේ චරිතයට පන පෙවූ නිකලස් ග්‍රේස් තමයි මේ කන්ඩායමෙන් දැන් වැඩිමහල්ම. ඔහු දැන් 77වියේ පසුවෙනවා. රිදී තිරයේ වැඩිය පේන්ඩ නොහිටියාට ග්‍රේස් අදටත් එංගලන්ටයේ අති දක්ශම වේදිකා නලුවෙකුගේ භූමිකාව කරනවා.
කලහකාරී විල් සහ නිහඬ නසියර් සෑහෙන්ඩ ගමනක් ගමන් කරනවා. King Arthur, Beowulf, Noah, Black Widow වැනි සිනමා නිර්මාන ගනනාවකටම විල් දායකත්වය සපයනවා. රොබින් හුඩ් කතා මාලාවේ අඩුවෙන්ම කතාකරන නසියර් Transformers කතා මාලාවේ හුරතල් Bumblebeeට හඬ කවන්නා වෙනවා. ඊට අමතරව ඔහුගේ රංගනය The Prestige, Black Sail වැනි නිර්මාන හරහා ඔහු එලි දක්වනවා.
ලාංකීය ඌරුවෙන් කීවොත් දෙවෙනි රොබින් නැත්තං ජේසන් කොනරිටත් අත් වෙන්නේ හොඳ ඉරනමක් නෙමෙයි. චිත්‍රපට ගනනාවකට ඔහු සම්බන්ධ වුනත් ඒ එකක්වත් සාර්ථක වෙන්නේ නෑ. ඔහුගේ ගමන වැසීයන්නේ ඔහුගේම පියානන්ගේ සෙවනැල්ලෙන්. ජේසන්ගේ පියා ශෝන් කොනරි එංගලන්තයේ ප්‍රතිභාපූර්න නලුවෙක්. ප්‍රේක්ෂකයන් ජේසන්ගෙන් දිගින් දිගටම ශෝන්ගේ දක්ශතා බලාපොරොත්තු වීම ජේසන්ගේ ගමන අඩපන කලා.
රොබින් හුඩ් කතාවේ සම්පූර්ණ ආකර්ශනයම තිබුනේ මුල් කතා 13 වීරයා හෙවත් කලු කොන්ඩ රොබිගෙ කියන එකට තර්කයක් නෑ. මයිකල් ප්‍රෙඩ් එදා ගොඩක් ගෑනු ලමයිගෙ සිහින කුමරාත් පිරිමි ලමයින්ගෙ වීරයාත් වුනා. කතා මාලාව තිර ගත කරන වකවානුවේ මේකෙම රැඳී ඉන්නවාද නැවතත් වේදිකාවට යනවද කියලා වැට උඩ අවස්තාවක ප්‍රෙඩ් රැඳී ඉන්නවා. අන්තිමේ රොබින් හුඩ්ට සමුදීලා ප්‍රෙඩ් වේදිකාව තෝරා ගන්නවා. රොබින්හුඩ් කතා මාලාවේ නිර්මාතෘ රිචඩ් කාපෙන්ටරට රොබින් හුඩ් මරන්න වෙන්නේ මේනිසයි. ආදරෙන් වැලඳත් ඔක්කොම ප්‍රේක්ෂක හිත් මරන්ඩ ඒ තීරනය ගන්න කලු කොන්ඩ රොබින්ට යන්නේ පැය 11ක් විතරයි.
ඒ මොනවා වුනත් රොබින් හුඩ් කතා මාලාව ලංකා රූපවාහිනී අතීතයේ ප්‍රදානම හැරවුම් ලෂ්‍යක් කීවොත් වැරදි නෑ. මේ සටහන තැබුවේ බ්‍රිතාන්‍යයේ මුලින්ම මේ නිර්මාණය විකාශනය කලේ 1984 අප්‍රේල් 28, ඔව් අදට හරියටම අවුරුදු 40කට කලිං. මට මතක විදිහට මුලින්ම රූපවාහිනියෙ ලංකාවෙ විකාශනය වුනේ 1987දි. එදත් අදත් කී සැරයක් රූපවාහිනියෙ විකාශනය වුනත් ආයෙ පාරක් බලන්ඩ ඔක්කොම එකතු වෙන්නේ පරන මතකත් එක්කමයි. මොකද හැමෝගෙම හිත්වල ඒ වෙලාවට රැව් දෙන්නේ හර්න්ගේ ගැඹුරු වදන් පේලියයි….
Nothing’s forgotten, Nothing is ever forgotten…
ඇත්තටම රොබින් ඔෆ් ශර්වුඩ් කතා මාලාවක්ම නොවේ. අපි ගොඩ දෙනෙක්ම ආදරෙන් මෙනෙහි කරන අපේ සුන්දර ළමා කාලය..
(2024 මාර්තු මාසයේ මගේ මූනු පොතේ ලියා පලකෙරූවක් මෙහි බෙදාගැනීමට හිතුවා)

