🛑 ඔයාලා සල්ලි දෙන්න අපි ඒ සල්ලි දෙගුණ කරලා දෙන්නම්.. වංචාවකින් පැයක් ඇතුළත කෝටිපතියෙකු වූන ලෝකේ පලවෙනි පිරමීඩ ජාවාරම
සල්ලි ගස්වල හැදෙන්නේ නැහැ කියලා අපි පොඩි කාලේ ඉඳන් අහලා තිබුණට, එක රැයකින් කෝටිපතියෙක් වෙන්න හීන දකින එක අපේ මිනිස්සුන්ගේ ලේ වලම තියෙන දෙයක්. අද සමාජ මාධ්‍ය පුරා දකින අතේ ඇති මුදල දෙගුණ කරගන්න, ගෙදර ඉඳන් ලක්ෂ ගණන් හොයන්න වැනි දැන්වීම්වල මුල් අඩිතාලම වැටුණේ මීට අවුරුදු 100කටත් වඩා ඉස්සරයි…ඉතින් මේවට අහුවෙන්න කලින් මේක බලන්න,
අද අපි කතා කරන්නේ, තමන්ගේ නම ලෝකයේ ලොකුම මූල්‍ය වංචාවකට උරුම කර දුන්, මිනිස්සුන්ගේ ලෝභකම මාකට් කරපු ඒ අමුතු මිනිසා චාල්ස් පොන්සි ගැනයි.
🇮🇹 1903 අවුරුද්දේ ඉතාලියේ ඉඳන් ඇමරිකාවට නැවකින් ගොඩබහිනකොට චාල්ස් පොන්සිගේ සාක්කුවේ තිබුණේ හරියටම ඩොලර් 2.50ක් විතරයි. එයා පස්සේ කාලෙක කිව්වේ මෙහෙම කතාවක්: මම ඇමරිකාවට ආවේ ඩොලර් දෙකහමාරක් සහ ඩොලර් මිලියන ගණනක බලාපොරොත්තු අරගෙන කියලා.
පොන්සි කියන්නේ සාමාන්‍ය හොරෙක් නෙවෙයි එයා හරිම ප්‍රියමනාප, කතාවට දක්ෂ, ඕනෑම කෙනෙක්ව තමන්ගේ පැත්තට නවාගන්න පුළුවන් Gentleman කෙනෙක්. මුල් කාලේ රෙස්ටුරන්ට් වල පිඟන් හෝදපු පොන්සි, පොඩි පොඩි වංචා වලට හිරේත් ගියා හැබැයි එයා හෙව්වේ මුළු ලෝකයම හොල්ලන්න පුළුවන් අයිඩියා එකක්.
✉️ 1919 දවසක පොන්සිට ස්පාඤ්ඤයෙන් ලියුමක් ලැබෙනවා ඒ ලියුම ඇතුළේ තිබුණා International Reply Coupon එකක්. මේක ඒ කාලේ පාවිච්චි කරපු ක්‍රමයක්. එක රටක ඉඳන් තව රටකට ලියුමක් යවනකොට, ලියුම ලබන කෙනාට පිළිතුරු ලියුම යවන්න මුද්දර ගන්න වියදම් වෙන්නේ නැහැ මේ කූපන් එක පාවිච්චි කරලා එයාගේ රටේ තැපැල් කන්තෝරුවෙන් මුද්දර ගන්න පුළුවන්.
පොන්සිගේ තියුණු මොළයට එකපාරටම අමුතු ගණිතයක් ආවා 💡 යුද්ධයෙන් පස්සේ ඉතාලියේ මුදලේ අගය සෑහෙන්න වැටිලා තිබුණේ. ඉතාලියෙන් අඩුවට මේ කූපන් අරගෙන, ඇමරිකාවේදී ඒවා මුද්දර වලට මාරු කරලා, ඒ මුද්දර විකුණුවොත් 400%ක විතර ලාභයක් ලබන්න පුළුවන් කියලා එයා ගණන් හැදුවා. මේකට කියන්නේ Arbitrage කියලා. නීත්‍යානුකූලයි වගේ පෙනුනට, මේක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක්. මොකද මුද්දර සල්ලි වලට මාරු කරන්න බැහැ, වගේම කූපන් මිලියන ගණනක් නැව් මගින් එහා මෙහා කරන්න යන වියදම වැඩියි.
💰 පොන්සි තමන්ගේ සමාගම පටන් ගත්තා Securities Exchange Company. එයා මිනිස්සුන්ට කිව්වේ පුදුම කතාවක්.
ඔයා මට සල්ලි දෙන්න. දවස් 45කින් මම ඔයාට 50%ක පොලියක් දෙන්නම්. දවස් 90කින් ඔයාගේ මුදල මම දෙගුණ කරලා දෙන්නම් කියලා.,
1920 කාලේ බැංකුවක අවුරුද්දකටම පොලිය ලැබුණේ 5%යි. ඉතින් මිනිස්සුන්ට මේක මැජික් එකක් වුණා. මුලින්ම ආපු කිහිපදෙනාට පොන්සි ඇත්තටම පොරොන්දු වුණ විදියටම සල්ලි දුන්නා. ඒ සල්ලි ලැබුණු මිනිස්සු පිස්සුවෙන් වගේ හැමතැනම කිව්වේ පොන්සි කියන්නේ දෙවියෙක් කියලා.
මෙතැනයි රහස තිබුණේ පොන්සි මුද්දර කූපන් වෙළඳාමක් කළේම නැහැ. එයා කළේ අලුතින් බැඳෙන මිනිස්සු දෙන සල්ලි අරගෙන, පරණ මිනිස්සුන්ට පොලිය විදියට දෙන එකයි. සරලවම කිව්වොත් එකෙක්ගේ සාක්කුවට විදලා තව එකෙක්ගේ බඩ පුරවනවා.
📈 කටකතාව ලැව්ගින්නක් වගේ පැතිරුණා. මිනිස්සු තමන්ගේ ගෙවල් දොරවල් උකස් කරලා, ජීවිත කාලෙම හම්බකරපු සල්ලි පොන්සිගේ ඔෆිස් එකට ගෙනත් දුන්නා. එක වෙලාවක පොන්සිගේ ඔෆිස් එකට මිනිස්සු සල්ලි අරගෙන ආවේ පෝලිම් ගැහිලා. දවසකට ඩොලර් මිලියනයක් (අද කාලේ හැටියට බිලියන ගණනක්) එයාගේ මේසය මත ගොඩගැසුණා.
පොන්සි සුපිරි මන්දිර ගත්තා, රත්තරන් අත්ඔරලෝසු බැන්දා, මිල අධිකම කාර් පාවිච්චි කළා. මාස කිහිපයක් ඇතුළත එයා ලෝකයේ ධනවත්ම සහ ජනප්‍රියම මිනිසෙක් වුණා. ඇමරිකානු පොලිසියටවත්, රජයටවත් මුලින්ම මේක අල්ලගන්න බැරි වුණේ එයා හැමෝටම සල්ලි බෙදපු නිසයි.
📉 ඕනෑම පිරමිඩයක් කඩා වැටෙන්නේ අලුතින් මිනිස්සු බැඳෙන එක නතර වුණු දවසටයි. Boston Post පුවත්පත මේ ගැන පරීක්ෂණයක් කළා. ඔවුන් හොයාගත්තා ලෝකය පුරාම තිබෙන මුද්දර කූපන් ප්‍රමාණයට වඩා වැඩි මුදලක් පොන්සි මිනිස්සුන්ගෙන් අරගෙන තියෙනවා කියලා.
1920 අගෝස්තු මාසයේදී මේ මහා වංචාව හෙළි වුණා. මිනිස්සු කලබල වෙලා තමන්ගේ සල්ලි ඉල්ලන්න පොන්සිගේ ඔෆිස් එක වට කළා. හැබැයි ඒ වෙනකොටත් පොන්සි ගාව සල්ලි තිබුණේ නැහැ. එයා මිනිස්සුන්ගෙන් ගත්ත ඩොලර් මිලියන 20ක් (අද කාලේ හැටියට ඩොලර් මිලියන 260ක් පමණ) අළු වෙලා ගිහින් තිබුණා.
අන්තිමේදී පොන්සිට සිද්ධ වුණේ හිරේ ලගින්න එයා මැරෙනකොට අන්තිම දුප්පත් මිනිහෙක් විදියට බ්‍රසීලයේ රෝහලකදී මිය ගියේ, තමන් රවට්ටපු දහස් ගණන් මිනිස්සුන්ගේ සාපය මැදයි.
🧐 චාල්ස් පොන්සි මැරුණත්, එයා හදපු ඒ පිරමිඩ වංචාව අදටත් මැරිලා නැහැ. ලංකාවේ මෑත කාලීනව සිද්ධ වුණු මූල්‍ය වංචා දෙස බැලුවොත් ඔබට පෙනෙයි ඒවායේ තියෙන්නෙත් මේ පොන්සි ක්‍රමයමයි
බැංකුවලට වඩා තුන් හතර ගුණයක ලාභයක් දෙනවා කීම. මුලින්ම එන අයට සල්ලි දීලා විශ්වාසය දිනාගැනීම. තව දෙන්නෙක් ගෙනාවොත් ඔයාට කොමිස් එකක් දෙනවා කීම. ඔයාලගේ සල්ලි වලින් කරන්නේ මොකක්ද කියලා ඇහුවම Crypto, Gold වගේ ලොකු වචන පාවිච්චි කරලා ඇඟ බේරගැනීම. මේ වගේ ක්‍රමවල තියෙන ප්‍රදාන තුරුම්පුවක්,
✨යාළුවනේ, දහඩිය මහන්සියෙන් තොරව, ලේසියෙන් සල්ලි හොයන්න යන හැම පාරක්ම කෙළවර වෙන්නේ ප්‍රපාතයකින්. ඔබේ මහන්සියෙන් උපයන රුපියල පවා ආයෝජනය කරන්න කලින් දෙපාරක් නෙවෙයි, දහපාරක් හිතන්න. චාල්ස් පොන්සි කියපු එක කතාවක් තියෙනවා: මම මිනිස්සුන්ට දුන්නේ ලොකු සෙල්ලම් බඩුවක්… ඒ තමයි සල්ලි හම්බකිරීමේ හීනය.” ඔබත් ඒ වංචනික හීන වලට රැවටෙන කෙනෙක් වෙන්න එපා.
උපුටා ගැනීම- Facebook

