2026 විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 29ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (07) සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ අමෙරිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් රැස් කළේය.
එහිදී සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 84ක් ලබාගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළ අතර, තිලක් වර්මා ලකුණු 25ක් රැස් කළේය.
අබිශේක් ශර්මා, රින්කු සිං, ශිවම් ඩියුබ් සහ හර්දික් පාණ්ඩ්යා යන ක්රීඩකයින් ලකුණු 10ට අඩුවෙන් දැවී ගියහ.
අමෙරිකානු පන්දුයැවීමේදී Shadley van Schalkwyk කඩුලු තුනක් දවාගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ලෙස ලකුණු 162ක ඉලක්කයක් හඹා ගිය අමෙරිකානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 132ක් පමණි.
එහිදී සංජෙයි ක්රිෂ්ණමූර්ති ලකුණු 37ක් සහ මිලින්ද් කුමාර් ලකුණු 34ක් ලබාගත්හ.
ඉන්දීය පන්දුයැවීමේදී හර්දීප් සිං, අක්ෂර් පටේල් සහ මොහොමඩ් සිරාජ් කඩුලු දෙක බැගින් දවාගනිමින් ජයග්රහණයට දායක විය.
SOURCE : SINHALA.ADADERANA.LK

