SL Media Hub

SL Media Hub - Header

නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්

අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ද්වේෂ සහගත ලෙස කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ වරදකරු කර තිබෙන, නීතිඥ භාවය අත්හිටුවා තිබූ සුසිල් ජයතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.

එමෙන්ම ඔහු නීතිඥ ධුරයෙන් නෙරපා හැරීමට ද අධිකරණය නියෝග කර තිබේ.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ, නීතිපතිවරයා විසින් එම වගඋත්තරකරුට එරෙහිව ගොනු කර තිබූ පැමිණිලි තුනක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා, වගඋත්තරකරුට පෙර අපරාධ වාර්තාවක් නොමැති බවත් දඬුවම් නියම කිරීමේදී එය සලකා බැලූ බවත් සඳහන් කළේය.

එමෙන්ම වගඋත්තරකරු තිදරු පියෙකු බව ද සලකා බැලූ නමුත්, ඔහු කළ ක්‍රියාවන් නීතිඥවරයෙකුට නොගැලපෙන බව පෙන්වා දෙමින් වසර තුනක සිරදඬුවම නියම කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

මෙම සිරදඬුවම 2024 වසරේ ජූලි මස 01 වනදා සිට, වගඋත්තරකරු රිමාන්ඩ් භාරයට පත් කළ දිනයේ සිට බලපැවැත්වෙන ලෙසද අධිකරණය නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කරමින් නීතිඥ වෘත්තියේ ගෞරවයට හානි වන අයුරින් කටයුතු කර ඇති බවට තීන්දු කළ අධිකරණය, ඒ අනුව ඔහු නීතිඥ භාවයෙන් සම්පූර්ණයෙන්ම නෙරපා හැරීමට නියෝග නිකුත් කළ බව ද සඳහන් වේ.

නඩු විභාගයකදී අධිකරණයට අපහාසාත්මක ලෙස සහ නීතිඥවරයෙකුට නොගැලපෙන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම මෙම චෝදනාවල පදනම වූ බව අධිකරණයේදී කරුණු අනාවරණය වී තිබේ.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top