1977 දී NASA විසින් අභ්‍යවකාශයට යොමු කළ Voyager 1 යානය, මානව ඉතිහාසයේ විශිෂ්ටතම අභ්‍යවකාශ මෙහෙයුම්වලින් එකක් ලෙස සැලකේ. 2012 අගෝස්තු 25 දින, මෙම යානය සූර්ය සුළඟේ බලපෑම අවසන් වන සූර්ය මණ්ඩලයේ පිටත සීමාව වන Heliopause කලාපය පසු කිරීමට සමත් විය.
මෙම හෙලියෝපෝස් සීමාව තාප්පයක් මෙන් පැහැදිලිව හමුවන සීමාවක් නොව, සූර්යයාගේ චුම්භක බලපෑම ක්‍රමයෙන් දුර්වල වන අතර, තාරකා අතර පවතින Interstellar medium හි බලපෑම වැඩිවන සංක්‍රාන්ති කලාපයකි.
විද්‍යාඥයන් මෙම සීමාව පසු කිරීම තහවුරු කළේ, යානයෙන් ලැබුණු දත්තවල පැහැදිලි වෙනස්කම් පදනම් කරගෙනය. එහිදී සූර්ය සුළඟට අයත් අංශුවල තියුණු අඩුවීමක්, මන්දාකිණි කොස්මික් කිරණවල වැඩිවීමක් සහ තාරකා අතර අවකාශයට ගැලපෙන ප්ලාස්මා ඝනත්වයක් වාර්තා විය.
කෙසේ වෙතත්, ගුරුත්වාකර්ෂණ බලය අනුව සලකා බැලූ විට, මෙම යානය තවමත් සූර්යයාගේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වී නොමැත. එය දුරස්ථ Oort Cloud කලාපය තුළ ගමන් කරමින් සිටින බව විද්‍යාඥයන් සඳහන් කරයි.
වර්තමානයේ, මෙම යානය පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 24 කට වඩා දුරින් පිහිටා ඇති අතර, එහි විකිරණශීලී තාප විදුලි ජනකය (RTG) මගින් බලය ලබාගනිමින් තවමත් පෘථිවිය වෙත වටිනා විද්‍යාත්මක දත්ත එවමින් සිටියි.
මෙම ජයග්‍රහණය හේතුවෙන්, තාරකා අතර අවකාශයේ පවතින ද්‍රව්‍ය සෘජුවම අධ්‍යයනය කළ පළමු මානව නිපද වු වස්තුව ලෙස වොයේජර් 1 යානය ඉතිහාසයට එක්ව ඇත.
Source- Nasa
Facebook උපුටා ගැනීම් සමග

