ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 7 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ
මනුෂ්‍ය භූමිය පිළිබදව පෙර පරිච්ඡේදයෙන් සාකච්ඡා කළ අතර මෙහිදී අපි යොමු වන්නේ බෞද්ධාගමේ විස්තර වන දිව්‍ය තලයන් හා බ්‍රහ්ම තලයනුත් දෙවිවරු හා බ්‍රහ්මයනුත් පිළිබදවය.
මෙහිදී දිව්‍ය තල සයක් පිළිබදව දැක්වේ.
- චතුර් මහා රාජිකය
- තාවතිංසය
- යාමය
- තුසිතය
- නිම්මාන රතිය
- පරනිම්මිත වසවර්තිය
අපි කලින් පරිච්ඡේදයෙන් මනුෂ්‍ය ලෝකය දක්වා සාකච්ඡා කළා. දැන් අපි සූදානම් වන්නේ අසුර ( අසුරයන් ), නර ( මිනිසුන් ) මෙන්ම සුර ( දෙවිවරු ) කොට්ඨාශයන් පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
මනුෂ්‍ය ලෝකයෙන් ඉහළ ස්ථරවලට විහිදුනු අභ්‍යාවකාශයේ දිව්‍ය ලෝකවල මට්ටම් වේ. ඉන් එපිට අන්තරීක්ෂයේ බ්‍රහ්ම ලෝක වල මට්ටම් වේ. නමුත් මනුෂ්‍ය ලෝකයට සාමාන්‍යයෙන් දිව්‍ය ලෝක හෝ ඊටත් එහා වූ බ්‍රහ්ම ලෝක දර්ශනය නොවේ. ඒ ඒවා වෙනම මාන නිසාය. නමුත් ඒවා පවතින මට්ටම් ත්‍රිපිටකයේ සදහන් වේ. ඒවායේ ආයු කාලයන් ද සදහන් වේ. මෙය හරියටම කිව හොත් පෘථිවිය ට තවත් ස්ථර එකතු වී එය ඉතා විශාල වූ පරිදිය. පහළ දිව්‍ය ලෝක වඩාත් පෘථිවියට ආසන්නව පවතී. නමුත් ඉහළ බ්‍රහ්ම ලෝක ඇත්තේ බොහෝ ඈතිනි.
දෙව් ලෝක ගැන බ්‍රහ්ම ලෝක ගැන විස්තර කිරීමට පෙර පසුගිය සියවසේ විසූ ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයකු වන ඇල්බට් අයින්ස්ටයින් විසින් පෙන්වූ කරුණක් ඉස්මතු කරමි. ඔහු ගණිතයෙන් ඔප්පු කර පෙන්වා ඇති දෙයක් නම් යම් අයකු පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී විශාල වේගයකින් අන්තරීක්ෂ අවකාශය ට ගිය හොත් ඔහු යළි පැමිණෙන විට පෘථිවියේ වර්ෂ එකක් දෙකක් නොව, දසක නොව, සියවස් ද නොව, සහස්ර ද නොව, ඇතැම් විට ලක්ෂ හෝ මිලියන ගණනක් ගත වී ඇති බව දකිනු ඇති බවය. මේ කරුණ සිහි තබාගෙන අපේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු.
මේ දිව්‍ය ලෝක වලට සම්මුති නාමයන් දෙන්නාවූ බුදුරජාණන් වහන්සේ එහිදී ඒවායේ ස්වභාවය අනුව ඒ නාම දුන් සේක.
මුලින්ම හෙවත් පෘථිවිය ට ආසන්න ම දෙව් ලොව චතුර් මහා රාජිකයයි. ( සිව් මහ රජය යනුවෙන් හැදින්වෙන මෙය ) එසේ හැදින්වෙන්නේ පෘථිවියේ සිව් මහා දිවයින් වලට අනුරූපව පෘථිවිය ට ආසන්නයේම පැතිර තිබෙන ඇති බැවිනි. මෙහි වෙසෙන දෙවිවරු පෘථිවියේ මනුෂ්‍යයන් අතර ඉහළම භෞතික සැප සම්පත් ඇති අය ලබන සැපයට වැඩි සැපයක් ලබති. එසේ වුවත් දෙව් ලෝ අතුරින් අඩුම සැප ඇත්තේ මෙහිය. මෙහි දෙවිවරුන්ගේ පාලන ඒකක ( රාජ්‍යයන් ) හතරකි. මෙහි එක් දිනක් පෘථිවියේ වර්ෂ වලින් වර්ෂ 50 කි. මෙහි දෙවියන් ගේ සාමාන්‍යය ආයු කාලය එහි වර්ෂ ( දෙව් ලොව වර්ෂ වලින් ) 500 කි. ( පෘථිවියේ වර්ෂ වලින් වර්ෂ 9,000,000 ක් හෙවත් මිලියන නවයකි. ) සතර වරම් දෙව් රජවරුන් ( දෘඨරාශ්ඨ, විරූපාක්ෂ, විභීෂණ, වෛශ්‍රවණ ) දැනට මේ දෙව්ලොව පාලනය ගෙන යති. මේ දෙව් රජවරු සම්‍යක් දෘෂ්ඨික වෙති.
ඉන් ඉහළ ඇති දෙව් තලය තාවතිංස දෙව් ලොවයි. එයට ඒ නම ලැබෙන්නේ එය තිස් තුන් දෙනෙකු ප්‍රධානත්වයෙන් පාලනය වන දෙව් ලොවක් නිසායි. මේ පාලන ඒකකයේ ප්‍රධානියා ශක්‍ර දෙව් රජ වේ. සක් දෙව් රජ නමින් සාහිත්‍යයේ හැදින්වේ. මේ දෙව් ලොවද සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු බොහෝය. විශේෂයෙන් සක් දෙව් රජ භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුනු අයෙකි. මෙහි දෙවියන් ගේ අති විශාල දම් සභා මණ්ඩපයක් වේ. එය සුධර්මා සභාව නම් වේ. ඒ හැර මේ දෙව් ලොව පිළිබඳව බොහෝ කරුණු පැරණි සිංහල සාහිත්‍යයේ සදහන් වේ. මෙහි එක් දවසක් පෘථිවියේ වර්ෂ 100 කි. ආයු කාලය එහි වර්ෂ වලින් වර්ෂ 1000 කි. ( මෙහි වර්ෂ වලින් වර්ෂ 36,000,000 හෙවත් මිලියන තිස් හයකි )
ඉන්පසු ඇත්තේ යාම දෙව් ලොවයි. එහි ප්‍රධාන දෙවි කෙනෙකු ලෙස සුයාම දෙවියන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ එයි. මෙහි එක් දිනක් පෘථිවියේ වර්ෂ වලින් වර්ෂ 200 කි. ආයුෂ එහි වර්ෂ වලින් වර්ෂ 2000 කි. ( මෙහි වර්ෂ වලින් වර්ෂ 144,000,000 හෙවත් මිලියන එකසිය හතළිස් හතරකි. )
ඉන්පසු ඇත්තේ තුසිත දෙව් ලොවයි. එහි ප්‍රධාන දෙවි කෙනෙකු ලෙස සන්තුෂිත දෙවියන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ එයි. මෙහි එක් දිනක් පෘථිවියේ වර්ෂ වලින් වර්ෂ 400 කි. ආයුෂ එහි වර්ෂ වලින් වර්ෂ 4000 කි. ( මෙහි වර්ෂ වලින් වර්ෂ 576,000,000 හෙවත් මිලියන පන්සිය හැත්තෑ හයකි. ) මෙම දෙව් ලොව මතු බුදු බව අපේක්ෂා කරන බොහෝ බෝධිසත්ව දෙවිවරු වෙසෙති. අප මහ බෝසතාණන් වහන්සේ මෙහි ඍෂිකේතු දෙව් පුතු ලෙස මේ දෙව් ලොව පූර්ව අවසාන ආත්ම භාවය ගෙවූ සේක. තවද මතු බුදු වන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ දැනට නාථ දෙව් පුත් ලෙස මෙහි වෙසෙන සේක. එසේම ගෞතම බුදු සසුන ඇතුලු පෙර බුදු සසුන් වල ශ්‍රේෂ්ඨ පින්කම් කළාවූ මහෝත්තමයෝ පැමිණි දෙව් ලොවද මෙය වේ. අප ගේ ගැමුණු මහ රජු ඇතුලු ශ්‍රේෂ්ඨ රජවරු මෙහි උපන්හ. උන්වහන්සේලා අපට ආශීර්වාදය හා උපකාර කරන සේක.
තුසිත දෙව් ලොවින් පසු ඉහළ ඇති දෙව් ලෝ නම් නිර්මාණ රතියයි. මෙහි එක් දිනක් පෘථිවියේ වර්ෂ වලින් වර්ෂ 800 කි. ආයුෂ එහි වර්ෂ වලින් වර්ෂ 8000 කි. ( මෙහි වර්ෂ වලින් වර්ෂ 2,304,000,000 හෙවත් මිලියන දෙදහස් තුන්සිය හතරකි. )
ඉහළම ඇති අවසාන දෙව් ලොව පරනිර්මිත වසවර්තිය යි. අනෙක් දෙව් ලෝක වලට වඩා නිර්මාණ රති දෙව් ලොව හා පරනිර්මිත වසවර්තිය ඉතාම සැප අධික වන අතර මේ දෙව් ලොවේ දෙවියන් හදුන්වා ඇත්තේ මාරයන් යන විශේෂණ පදයකිනි. ( මාරයන් ගැන අපි දහම් පිටුව තුළින් මින් පෙර සම්පූර්ණ විස්තරයක් සාකච්ඡා කළ බැව් මතක් කරමි ) මෙහි එක් දිනක් පෘථිවියේ වර්ෂ වලින් වර්ෂ 1600 කි. ආයුෂ එහි වර්ෂ වලින් වර්ෂ 16,000 කි. ( මෙහි වර්ෂ වලින් වර්ෂ 9,216,000,000 හෙවත් මිලියන නව දහස් දෙසිය දහසයකි. )
මෙම දිව්‍ය තල වලින් අවසන් වූ දෙව් ලෝක හා මනුෂ්‍ය ලෝකයත් සතර අපායත් කාම ලෝකය නම් වේ. එයට හේතුව ඔවුන් සියලුදෙනා ටම ( මේ ලෝක වල උපදින සත්වයෝ ) පංචේන්ද්‍රිය තිබීම වේ.( ඇස්, කන්, නාස්, දිව හා සංවේදී සිරුර.) කාමය යනු මේ ඉන්ද්රියයන් පිනවීමයි. එසේම සියල්ලන්ටම රූපය හා එහි ක්‍රියාත්මක සිතත් ඇත. එනම් අප පසුව ඉගෙන ගන්නා රූප හා සිතේ කොටස් වූ වේදනා, සංඥා, සංඛාර, විඥාන යන කොටස් පහෙන් යුතු වූ නිසා පංචයෝකාර භවය නම් වේ. මින් සතර අපාය කාම දුගති වේ. ( එහෙත් අසුර ලෝකයෙන් කොටසක් සුගති වේ ) මිනිස් ලොව හා සදෙව් ලොව කාම සුගති වේ.
මින් පසු ඇත්තේ බ්‍රහ්ම ලෝකයි. ඉන් සිරුරක් ඇති සත්වයන් වෙසෙන බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක නම් වේ. සිරුරක් නැති සත්වයන් වෙසෙන බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝක නම් වේ. රූපාවචර බ්‍රහ්ම ලෝක දහසයකි. අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරකි. රූපාවචර බ්‍රහ්ම ලෝක දහසයෙන් පහළවකම බඹුන්ට රූපයත් එහි ක්‍රියාත්මක සිතත් ඇත. ඔවුන්ට චක්ෂු, ස්‍රෝත හා ඝ්‍රාන ප්‍රසාද පමණක් ඇත. ජිහ්වා හා කාය ප්‍රසාද ඔවුන්ට පහළ නොවේ. එහි භාව රූප විභේදනයක්ද නැත. මෙම බ්‍රහ්මයන් ට රූපය හා නාමය හෙවත් සිත ඇති බැවින් පංචස්ඛන්ධය ඇති බැව් අනුව පංචයෝකාර භවය ඇතැයි කියනු ලැබේ. අනිත් රූපාවචර බඹ ලොව බ්‍රහ්මයන්ට රූපය පමණක් ඇති බැවින් ( සිතක් නැති බැවින් ) ඒකඕකාර භවය ඇතැයි කියනු ලැබේ. අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරේ බ්‍රහ්මයන් ට රූපය නැතිව නාම කොටස් හතර පමණක් ඇති බැවින් චතුර්ඕකාර භවය ඇතැයි කියනු ලැබේ.
රූපාවචර බ්‍රහ්ම ලෝක දහසය ඒවායේ පහළ වීමට මුල් වන ධ්‍යාන සිත අනුව ප්‍රථම ධ්‍යාන භූමිය, දුතිය ධ්‍යාන භූමිය, තෘතිය ධ්‍යාන භූමිය හා සතරවන ධ්‍යාන භූමිය ලෙස කොටස් සතරක් වේ.
ඒ ඒ භූමි වලට අදාල බ්‍රහ්ම ලෝක මෙසේයි.
පළමු ධ්‍යාන භූමිය : 1. බ්‍රහ්ම පාරිසජ්ජය ( ආයුෂ අසංඛ්‍ය කල්ප 3/4 ) 2. බ්‍රහ්ම පුරෝහිතය ( අසංඛ්‍ය කල්ප 1/2 ) 3. මහා බ්‍රහ්මය ( අසංඛ්‍ය කල්ප 1 ) යන බඹ තලද
දෙවන ධ්‍යාන භූමිය 4. පරිත්තාභය ( මහා කල්ප 2 ) 5. අප්පමානාභය ( මහා කල්ප 4 ) 6. ආභස්සරය ( මහා කල්ප 8 ) යන බඹ තලද
තෘතිය ධ්‍යාන භූමිය 7. පරිත්ත සුභ ( මහා කල්ප 16 ) 8. අප්පමාණ සුභ ( මහා කල්ප 32 ) 9. සුභකින්නභය ( මහා කල්ප 64 ) යන බඹ තලද සතරවන ධ්‍යාන භූමියේ 10. වේහලප්පය ( මහා කල්ප 500 ) 11. අවිහය ( මහා කල්ප 1000 ) 12. අතප්පය ( මහා කල්ප 2000 ) 13. සුදස්සය ( මහා කල්ප 4000 ) 14. සුදස්සිය ( මහා කල්ප 8000 ) 15. අකනිට්ඨ හෙවත් භවාග්‍රය ( මහා කල්ප 16,000 ) යන බඹ තලද වේ. ඒවා රූපාවචර හා පංචයෝකාර භවයෙන්ද හා එහි 16. අසංඥ සත්වය යන බඹ තලය ( මහා කල්ප 500 ) ඒකඕකාර භවයෙන්ද යුතුවේ. ( 10 – 15 දක්වා වූ බඹ තල සයෙන් 11 සිට 15 දක්වා වූ බඹ තල පංච ශුද්ධාවාස නම් වේ. )
අරූපාවචර බ්‍රහ්ම ලෝක සතර ඒ ඒ අරූපාවචර ධ්‍යාන අනුව නම් කර තිබේ. 1. ආකාසනංචායතනය ( කල්ප 20,000 ) 2. විඥානසංඥායතනය ( කල්ප 40,000 ) 3. ආකිංචඣ්චායතනය ( කල්ප 60,000 ) 4. නේවසංඥානාසංඥායතනය ( කල්ප 84,000 ) යනු ඒවායි. එම බඹුන් චතුර්ඕකාර භවය දරයි.
බ්‍රහ්ම ලෝක වල ආයුෂ පෘථිවියට සාපේක්ෂව නොව දෙව් ලොවට සාපේක්ෂවත් ඉතා දීර්ඝ බැවින් වර්ෂ වලින් නොව කල්ප වලින් කියනු ලැබේ. ඉතා සියුම් රූපාවචර බ්‍රහ්ම ශරීර දෙවියන් ගේ චක්ෂු විඥානයට පවා ඇතැම්විට නොපෙනෙන බව දැක්වේ. අසංඥ බ්‍රහ්මයන් සිතක් නොමැතිව පවතී. අරූපාවචර බ්‍රහ්මයන් සිරුරක් නොමැතිව පවතී.
මේ අයුරින් දැක්වූ භව චක්‍රයේ තිස් එක් තලයම අපි සාකච්ඡා කළෙමු.
( සාරාංශය කළ හොත්
සතර අපාය = 4
මනු ලොව = 1
දෙව් ලොව = 6
රූපාවචර බ්‍රහ්ම ලෝක = 16
අරූපාවචර බ්‍රහ්ම ලෝක = 4
මුලු එකතුව = 31 )
සක්වළ මේ තිස් එක් භව තලයේ පහළ සිට ඉහළට කිසිම තැනක සැපයක් නොමැති බවත් මේ අනවරාග්ර සංසාරයෙන් භවයේ පෙරැළෙමින් දුක් විදින සත්වයින් ඒ සසර දුකින් මුදවා ගැනීම පිණිස විශ්වයට කලකට වරක් පහළවන විශ්වයේ ගුරුවරයාණන් වනුයේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන්වහනසේ ය.
සාධූ ! සාධූ !! සාධූ !!!
බෞද්ධ සංදර්භයෙහි විස්තර වන ඒ ඒ දිව්‍ය තල සදහා ප්රමුඛ දෙවිවරු
චතුර් මහා රාජිකය
දෘඪරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ දිව්‍ය රාජයෝ සිව් දෙන
තාවතිංසය
සක් දෙව් රජ හා පරිවාර දේව පිරිස්
යාමය
සුයාම දෙවිදු හා පරිවාර දේව පිරිස්
තුසිතය
සංතුෂිත දෙවිදුන් හා පරිවාර දේව පිරිස්
( බෝධිසත්වයන් වහන්සේලා බහුලව වැඩ සිටින දෙව් ලොවයි )
නිම්මාන රතිය
නිම්මාන රති දෙවිවරු
( බුද්ධ ශාසන වලදී උත්කෘෂ්ට පින්කම් කළ මහා පින්වතුන් මෙහි උපදී )
පරනිම්මිත වසවර්තිය
වසවත් මාර දිව්‍ය පුත්‍රයා හා මාර පිරිස

