SL Media Hub

SL Media Hub - Header

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට නව ගෙවීම් ක්‍රමයක්..?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට නව ගෙවීම් ක්‍රමයක්..?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර, එය ක්‍රීඩක දක්ෂතා ඉහළ නැංවීම සහ ජාත්‍යන්තර ජයග්‍රහණ දිරිගැන්වීම අරමුණු කරගනිමින් සකස් කර ඇති බව සඳහන් වේ.
මෙම යෝජිත ක්‍රමවේදය අනුව, ඉදිරියේදී තරගාවලි ජයග්‍රහණ සඳහා බෝනස් ලබාදීම සීමා කරමින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින Top 4 කණ්ඩායම්වලට එරෙහිව ලබාගන්නා ජයග්‍රහණ සඳහා පමණක් එම දීමනා ලබාදීමට යෝජනා වී තිබේ. මීට පෙර, Top 9 කණ්ඩායම් අතර ඕනෑම කණ්ඩායමකට එරෙහිව තරගාවලි ජයග්‍රහණ සඳහා බෝනස් හිමිවිය.
නව යෝජනාවට අනුව, ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 යන ඕනෑම ආකෘතියක තරගාවලියක් පරාජය වුවහොත්, ක්‍රීඩකයන්ගේ තරග ගාස්තුවෙන් සියයට 10ක මුදලක් කපා හරිනු ඇත. එමෙන්ම, විදෙස් රටවලදී ලබන ජයග්‍රහණ සඳහා සම්පූර්ණ බෝනස් මුදල හිමි වන අතර, ශ්‍රී ලංකාවේදී ලබන ජයග්‍රහණ සඳහා එම දීමනා සීමා කර ඇත. විස්සයි20 තරගාවලියන්හිදී දේශීය සහ විදේශීය ජයග්‍රහණ සඳහා එකම අගයකින් බෝනස් ලබාදීමට ද යෝජිතය.
විශේෂයෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක 1 කණ්ඩායමක් පරාජය කළහොත්, ඇමරිකානු ඩොලර් 150,000ක සාමූහික බෝනස් මුදලක් හිමිවීමට නියමිත අතර, 2, 3 සහ 4 ස්ථානවල කණ්ඩායම්වලට එරෙහිව ජයග්‍රහණ සඳහා පිළිවෙලින් අ.ඩො. 100,000, 75,000 සහ 60,000 ලෙස අඩුවන අගයන් යටතේ දීමනා ලබාදීමට සැලසුම් කර ඇත.
එමෙන්ම, එක් එක් තරග ආකෘතිය අනුව ක්‍රීඩකයන්ට ලැබෙන ගාස්තු ද නියම කර ඇති අතර, ටෙස්ට් තරගයක ජයග්‍රහණයකට අ.ඩො. 15,000ක්, එක්දින තරගයකට අ.ඩො. 7,500ක් සහ විස්සයි20 තරගයකට අ.ඩො. 5,000ක් ලෙස ගෙවීම් සිදු කිරීමට යෝජනා වී තිබේ. පරාජයන් සහ විසඳුමක් නොමැති තරග සඳහා ද අඩු අගයන් යටතේ ගෙවීම් සකස් කර ඇත.
නායකත්වය සඳහා ද විශේෂ දීමනා හඳුන්වා දී ඇති අතර, ටෙස්ට් සහ එක්දින තරග සඳහා එක් තරගයකට අමතරව අ.ඩො. 1,000ක් සහ විස්සයි20 සඳහා අ.ඩො. 500ක් ලෙස නායකයාට ලබාදීමට යෝජිතය. එය සම්පූර්ණ තරගය පුරා ක්‍රීඩා කළහොත් පමණක් හිමි වේ.
ඊට අමතරව, ICC ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පුද්ගලික දක්ෂතා සඳහාද දිරිගැන්වීම් සැලසුම් කර ඇති අතර, ලෝක අංක 1 ක්‍රීඩකයාට අ.ඩො. 25,000ක් සහ 2 සිට 5 දක්වා ස්ථාන හිමි කරගන්නා ක්‍රීඩකයන්ට අ.ඩො. 20,000ක් ලෙස එක් වරක් පමණක් ගෙවීමට නියමිතය.
මෙම සියලු දීමනා වලට අමතරව, වාර්ෂික කොන්ත්‍රාත් ගාස්තු, සංචාරක දීමනා, දෛනික දීමනා සහ අනුග්‍රාහක ආදායම් මගින්ද ක්‍රීඩකයන්ට ආදායම් ලැබීමට හැකි වනු ඇත.
කෙසේ වෙතත්, මෙම නව ගෙවීම් ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
Source – Ada Derana
www.slmediahub.com

SriLankaCricket

cricketlover

cricketplayers

slmediahub

news2026

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top