SL Media Hub

SL Media Hub - Header

දේශීයව නිපදවූ බවට සැක කෙරෙන ගිනිඅවි 19ක් දෙමටගොඩින් සොයාගනී – සංවිධානාත්මක අපරාධ කල්ලි නව උපක්‍රමයකට?

දේශීයව නිපදවූ බවට සැක කෙරෙන ගිනිඅවි 19ක් දෙමටගොඩින් සොයාගනී – සංවිධානාත්මක අපරාධ කල්ලි නව උපක්‍රමයකට?

කොළඹ, ජූනි 03 – දිවයින පුරා ක්‍රියාත්මක වන දැඩි පොලිස් වැටලීම් සහ විදේශීය රටවලින් නීතිවිරෝධී ලෙස ගිනිඅවි මෙරටට ගෙන්වීමේදී පවතින බාධා හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි දේශීයව ගිනිඅවි නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
මෙම සැකයට හේතු වී ඇත්තේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අද (03) දෙමටගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අනාවරණ වූ තොරතුරු රැසකි.
පොලිසිය පවසන්නේ පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45ක් සමඟ පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මරණීය දණ්ඩනය නියමව සිටින අපරාධකරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා ලෙස සැලකෙන සහ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින “මලීෂ” නමැත්තා විසින් එම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බවයි.
ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, මලීෂගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකළ බව කියන පුද්ගලයෙකුද ගාල්ල නෙළුව ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන අංශ අංක 3හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී නිවස තුළ තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයක් (බෆල් එකක්) තුළ සඟවා තිබූ ටී-කටස් වර්ගයේ ගිනිඅවි 19ක්, ඒ සඳහා භාවිත කළ හැකි ටී-56 උණ්ඩ 24ක් සහ මත්පෙති තොගයක් සොයාගෙන තිබේ.
කෙසේ වෙතත්, අදාළ ගිනිඅවි සඟවා තිබූ නිවසේ හිමිකරු පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම නිවෙස් හිමිකරු “මලීෂ” නමැත්තාගේ සමීපතමයෙකු වන අතර, ඔහු මලීෂට අයත් මත්ද්‍රව්‍ය තොග සඟවා තැබීමේ කටයුතු සිදුකර ඇති බවයි.
පොලිසිය වැඩිදුරටත් සැක පළ කරන්නේ මෙම ගිනිඅවි සම්පූර්ණයෙන්ම මලීෂගේ මෙහෙයවීම යටතේ මෙරට තුළදී නිෂ්පාදනය කර ඇති බවයි. මෑත කාලයේ අපරාධකරුවන් සතුව තිබූ ගිනිඅවි විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔවුන් දේශීයව ආයුධ නිෂ්පාදනය කිරීමේ ප්‍රවණතාවයකට යොමුවී ඇති බවටද විමර්ශකයන් සැක පළ කරයි.
කෙසේ නමුත් අදාළ ගිනිඅවි නිෂ්පාදනය කළ ස්ථානය සහ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

www.slmediahub.com

#slmafia
#PoliceNews
#viralnews
#slmediahub
#slnews2026

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top