රොනාල්ඩෝගෙන් ලෝක කුසලාන ඉතිහාසයේ නව වාර්තා රැසක්; පෘතුගාලය උස්බෙකිස්ථානය 5-0කින් පරදවයි..
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් වාර්තාගත දිනයක් සනිටුහන් කරමින් පෘතුගාල සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo ලෝක කුසලාන ඉතිහාසයට නව පිටුවක් එක් කළේය. ඔහු වාර්තා කළ ගෝල දෙකක් (Brace) හේතුවෙන් පෘතුගාලය උස්බෙකිස්ථානයට එරෙහිව 5-0ක දැවැන්ත ජයක් හිමිකර ගත්තේය.
මෙම තරගයේදී රොනාල්ඩෝ ලෝක කුසලාන තරගාවලි හයකදී (2006, 2010, 2014, 2018, 2022 සහ 2026) ගෝල ලබාගත් පළමු ක්‍රීඩකයා බවට පත්විය. මෙය FIFA ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු නොතැබූ සුවිශේෂී වාර්තාවකි.
41 වැනි වියේ පසුවන රොනාල්ඩෝ (අවුරුදු 41යි දින 138යි) මෙම තරගයේ ගෝල දෙකක් වාර්තා කිරීමත් සමඟ ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරගයකදී ගෝල දෙකක් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙසද වාර්තා පොතට එක්විය. එමෙන්ම ලෝක කුසලානයක ගෝලයක් වාර්තා කළ දෙවැනි වයස්ගතම ක්‍රීඩකයා ලෙසද ඔහු පත්විය. එම වාර්තාව තවමත් Roger Milla සතුව පවතී.
පෘතුගාල ක්‍රීඩක Nuno Mendes මෙම තරගයේදී සෘජු නිදහස් පහරකින් ගෝලයක් වාර්තා කළ අතර, FIFA ලෝක කුසලානයකදී එවැනි දක්ෂතාවයක් දැක්වූ දෙවැනි පෘතුගීසි ක්‍රීඩකයා බවට පත්විය. පළමුවැන්නා වූයේ 2018 වසරේ ස්පාඤ්ඤයට එරෙහිව ගෝලයක් වාර්තා කළ රොනාල්ඩෝය.
තවද රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් ලෝක කුසලාන තරග 24කට ක්‍රීඩා කර ඇති අතර, ඔහුට වඩා වැඩි තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්තේ Lionel Messi (28) සහ Lothar Matthäus (25) පමණි.
මෙම තරගයේ ගෝල දෙකත් සමඟ රොනාල්ඩෝ සිය ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාව 230 තරගවලදී 145 දක්වා ඉහළ නංවා ගත්තේය. එමෙන්ම ඔහු ගෝල ලබා ඇති රටවල් සංඛ්‍යාව 49 දක්වා වැඩි විය.
උස්බෙකිස්ථානයට එරෙහි ගෝල දෙකත් සමඟ රොනාල්ඩෝ FIFA ලෝක කුසලාන තරගාවලි තුළ පෘතුගාලය වෙනුවෙන් වැඩිම ගෝල ලාභියා බවටද පත්විය. ඔහු ගෝල 10ක් වාර්තා කරමින් පෘතුගීසි පාපන්දු පුරාවෘත්තයක් වන Eusébio ගේ ගෝල 9ක වාර්තාව අභිබවා ගියේය.
එසේම මෙම තරගයේ ආරම්භක ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර වයස් පරතරයද නව ලෝක කුසලාන වාර්තාවක් විය. උස්බෙකිස්ථානයේ බෙඛ්රුස් කරිමොව් (අවුරුදු 18යි දින 320යි) සහ රොනාල්ඩෝ (අවුරුදු 41යි දින 138යි) අතර තිබූ අවුරුදු 22යි දින 183ක පරතරය FIFA ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම වයස් පරතරය ලෙස සටහන් විය.
මෙලෙස තවත් වාර්තා රැසක් තම නාමය ඉදිරියේ ලියා තැබූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, වයස යනු අංකයක් පමණක් බව නැවතත් ලෝකයටම පෙන්වා දී ඇත.
www.slmediahub.com


