ලෝක බැංකුව විසින් 2026 ජූලි 1 වන දින නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව නැවත වරක් “ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්” (Upper-Middle Income Economy) ලෙස වර්ගීකරණය කර තිබේ.
2022 වසරේදී රට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවගේ ආර්ථිකය දැඩි පීඩනයකට ලක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එය පහළ මධ්‍යම ආදායම් ලබන කාණ්ඩයට පහත වැටී තිබුණි. එහෙත් පසුගිය වසර තුනක කාලය තුළ ක්රමානුකූල ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලියක් සහ අංශ ගණනාවක ප්‍රතිසාධනයක් හේතුවෙන් මෙවර එම තත්ත්වය යළි ඉහළට ගොස් ඇත.
ලෝක බැංකු වාර්තාව අනුව 2025 වසර වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 5%ක් පමණ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද සඳහන් වේ. නිෂ්පාදන, සංචාරක සහ සේවා අංශවල ක්‍රියාකාරීත්වය යළි ශක්තිමත් වීම මෙම ආර්ථික ප්‍රතිසාධනයට ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.
ලෝක බැංකුවේ සංවර්ධන දත්ත මධ්‍යස්ථානය සෑම වසරකම ජූලි 1 වන දින ලොව රටවල් 218ක් සඳහා ඒක පුද්ගල දළ ජාතික ආදායම් (GNI per capita) ඇස්තමේන්තු මත පදනම්ව මෙම ආදායම් වර්ගීකරණය යාවත්කාලීන කරනු ලබයි. ඒ අනුව රටවල් ප්‍රධාන වශයෙන් පහළ ආදායම්, පහළ මධ්‍යම ආදායම්, ඉහළ මධ්‍යම ආදායම් සහ ඉහළ ආදායම් යන කාණ්ඩ හතරකට බෙදා වර්ගීකරණය කර ඇත.
මෙවර වර්ගීකරණයේදී ශ්‍රී ලංකාවට අමතරව ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමය ඇතුළු රටවල් කිහිපයක්ද පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයෙන් ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට උසස් වී ඇති බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි.
www.slmediahub.com


