SL Media Hub

SL Media Hub - Header

UN දියත් කළ මෙරට ‘HPP’ ට ඩොලර් මිලියන 22ක්

ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP) සඳහා මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 22.4ක ආධාර ලැබී ඇති බව මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2025 දෙසැම්බර් මාසයෙන් ආරම්භ වී 2026 අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක වන ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 35.3ක මුදලක් ඉලක්ක කරගත් මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කර තිබේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ජපානය, නවසීලන්තය, අමෙරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපීය සංගමය ඇතුළු රටවල් සහ සංවිධාන රැසකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අරමුදල් ලැබී ඇත.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ නවතම දත්ත අනුව, දිස්ත්‍රික්ක 25ක් පුරා ආපදාවට ලක් වූ පුද්ගලයින් 216,000කට අධික පිරිසකට මේ වනවිට සහන සැලසීමට හැකි වී තිබේ.

මෙම මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ අධ්‍යාපනය, ආහාර සහ පෝෂණය, සෞඛ්‍ය, ආරක්ෂාව, නවාතැන් සහ කෘෂිකර්මාන්තය යන ප්‍රධාන ක්ෂේත්‍රවලට විශේෂ අවධානය යොමු කර ඇත.

පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ගංවතුර හා නායයෑම් තත්ත්වයන් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අතර, එය දිස්ත්‍රික්ක 25ක් පුරා ජනතාව මිලියන 2.2කට ආසන්න සංඛ්‍යාවකට බලපෑවේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ 2025 දෙසැම්බර් 29 වන දින වනවිට මෙම සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 646 දෙනෙකු මියගොස් ඇති අතර, 173 දෙනෙකු අතුරුදහන් වී ඇති බවය.

ආපදාවට ලක් වූ ප්‍රදේශවල සහන සහ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු රජය විසින් මෙහෙයවනු ලබන අතර, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර සහ ජාතික මානුෂීය හවුල්කරුවන්, සිවිල් සමාජ සංවිධාන සහ පෞද්ගලික අංශයේ දායකත්වය ද ලැබී ඇත.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top