SL Media Hub

SL Media Hub - Header

USA, Israel Vs Iran War ලෝකෙට බලපෑම..

අද උදෑසන ඔබ අවදි වී ජාත්‍යන්තර පුවත් සිරස්තල දෙස බැලුවේ නම්, අප මේ ගෙවමින් සිටින්නේ හුදෙක් තවත් එක් සාමාන්‍ය දවසක් නොව, ලෝක ඉතිහාසය අලුතින්ම ලියවෙන තීරණාත්මක මොහොතක් බව ඔබට වැටහෙනු ඇත. දශක ගණනාවක් තිස්සේ මැදපෙරදිග කලාපයේ “ප්‍රබලම මිනිසා” ලෙස වැජඹුණු, ඉරානයේ නොබිඳිය හැකි පවුර ලෙස සැලකුණු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, ඉශ්‍රායල සහ ඇමරිකානු ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව දැන් ජාත්‍යන්තර මාධ්‍ය තහවුරු කරමින් සිටී.

මෙය හුදෙක් තවත් එක් ප්‍රහාරයක් හෝ තවත් එක් දේශපාලන ඝාතනයක් නොවේ. මෙය මුළු මහත් පෘථිවියේම දේශපාලන සිතියම උඩුයටිකුරු කළ ප්‍රබල භූ දේශපාලනික භූමිකම්පාවකි. සරලවම කිවහොත්, මැදපෙරදිග බල කේන්ද්‍රය ඊයේ උදෑසන 8:15 ට සදහටම වෙනස් විය. සාමාන්‍යයෙන් යුද්ධයකදී හෝ රහසිගත මෙහෙයුමකදී ප්‍රහාර එල්ල වන්නේ කළුවරේ, මධ්‍යම රාත්‍රියේ හොර රහසේය. නමුත් මෙවර ඉශ්‍රායලය තෝරා ගත්තේ වෙනස්ම මාවතකි. ඔවුන් ප්‍රහාරය එල්ල කළේ හිරු පෑයූ, සියල්ල පැහැදිලිව පෙනෙන උදෑසනකයි.

මෙය හුදෙක් බෝම්බ ප්‍රහාරයක් ලෙස හැඳින්වීම වැරදිය. මෙය ලෝකයේ ප්‍රබලම බුද්ධි අංශ ජාලයක අතිශය සියුම් “ශල්‍යකර්මයකි”. ඉශ්‍රායලය මෙවර ඉලක්ක කළේ ඉරානයේ තෙල් ටැංකි, රේඩාර් පද්ධති හෝ සාමාන්‍ය හමුදා කඳවුරු නොවේ. ඔවුන් ඉලක්ක කළේ “එරට සුපිරි ලොක්කන්” ය. වඩාත් නිවැරදිව කිවහොත්, ඉරානයේ මුළු මහත් පාලන තන්ත්‍රයේ මොළකරුවන් වූ නායකත්වය එකම වහලක් යටට එනතුරු ඔවුන් මාස ගණනාවක් අතිශය ඉවසීමෙන් බලා සිටියේය. සතුරා නිදා සිටියදී නොව, ඇස් ඇර සිටියදී පහර දුන්නේය.

ඉරානයේ උත්තරීතර නායකයා, එරට ජනාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරීන් පිරිසක් රහසිගත සාකච්ඡාවකට වාඩි වූ ඒ නිමේෂය, ඉශ්‍රායල බුද්ධි අංශ කිසිසේත් මඟ හැරියේ නැත. මීට පෙර 2024 ඔක්තෝම්බර් සහ 2025 ජුනි මාස වලදී ඉශ්‍රායලය එල්ල කළ ප්‍රහාර සිදු වූයේ මධ්‍යම රාත්‍රියේය. ඒ නිසා ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධති සැකසී තිබුණේද “ඉශ්‍රායලය එන්නේ රෑට” යන උපකල්පනය මතය. නමුත් ඊයේ උදෑසන 8:15 ට සියල්ල වෙනස් විය. ඉශ්‍රායලය මුළු ලෝකයටම පණිවිඩයක් දුන්නේය. “අපට ඕනෑම වේලාවක, ඉරානයේ ඕනෑම තැනකට, ඕනෑම ආරක්ෂිත බංකරයකට ළඟා විය හැකියි.”

මෙය “පාවාදීමක්ද”? දැන් මුළු ලෝකයම අසන ප්‍රශ්නය මෙයයි. “ඉශ්‍රායලය කොහොමද හරියටම දැනගත්තේ ඔවුන් ඒ වෙලාවේ, ඒ තැන ඉන්නවා කියලා?” මෙහිදී පැහැදිලි හේතු දෙකක් තිබිය හැකිය. ඉරානයේ ඉහළම පාලන ස්ථරය ඇතුළේම ඉශ්‍රායලයට තොරතුරු දෙන “ඔත්තුකරුවන්” සිටීම. නැත්නම් ඉශ්‍රායලයේ තාක්ෂණික නිරීක්ෂණ මට්ටම ඉරානයේ සිතාගත නොහැකි තරම් ඉහළ මට්ටමක පැවතීම.

මේ කුමන තත්ත්වය වුවත්, එය ඉරාන පාලනයට මාරාන්තික පහරකි. මන්ද, හෙට දිනයේදී ඉරානයේ ඉතිරිව සිටින ජෙනරාල්වරයෙකුට තමන්ගේම නව නායකයා සමඟ රැස්වීමකට යාමට පවා බියක් දැනෙනු ඇත. “මම මේ යන්නේ මගේ මරණ වරෙන්තුව අත්සන් කරන්නද?” යන සැකය ඔවුන්ගේ හිත් තුළ පැලපදිංචි වී හමාරය.

මීට කදිම නිදසුනක් ඉරානයේ හිටපු ජනාධිපති අහමදිනෙජාඩ් වරක් කළ හෙළිදරව්වකින් පෙනේ. ඔහු පැවසූ පරිදි, ඉරානයේ මොසාඩ් නියෝජිතයින් දඩයම් කිරීමට පත් කළ විශේෂ ඒකකයේ ප්‍රධානියාම මොසාඩ් ඔත්තුකරුවෙකු වූ පද්ධතියක් තුළ, උත්තරීතර නායකයා සිටින තැන ඉශ්‍රායලය දැන ගැනීම පුදුමයක් නොවේ. ඔබ සතුරෙකු එනතුරු දොරකඩ රැකවල් ලා සිටියදී, සතුරා දැනටමත් ඔබේ ගෙයි මැද සාලයේ වාඩි වී සිටිනවා වැනි තත්ත්වයකි මෙහි තිබෙන්නේ.

මෙම ප්‍රහාරය සඳහා යොදාගත් තාක්ෂණය ද සැබවින්ම බිහිසුණුය. F-22 Raptor යානය කියන්නේ නිකම්ම ප්‍රහාරක යානයක් නෙවෙයි, එය ලෝකයේ ගුවන් ආධිපත්‍යය තීරණය කරන “අදෘශ්‍යමාන” බලවේගයක්. රේඩාර් වලට හසු නොවන ‘Stealth’ තාක්ෂණය නිසා ඉරානයේ දියුණු රේඩාර් තිරයක මෙම යානය පෙනෙන්නේ කුඩා “මී මැස්සෙකු” හෝ “කුරුල්ලෙකු” ලෙසයි. ශබ්දයේ වේගය මෙන් 1.5 ගුණයකට වඩා වේගයෙන් ගමන් කළ හැකි නිසා සතුරාට ප්‍රතිචාර දැක්වීමට තත්පරයක්වත් ඉතිරි වන්නේ නැත. එසේම GPS සහ ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන BLU-109 “Bunker Buster” බෝම්බ භාවිතයෙන්, පොළොව යට අඩි ගණනාවක් ගැඹුරේ පිහිටි ආරක්ෂිත රැස්වීම් ශාලාව පමණක් ඉලක්ක කර විනාශ කිරීමට ඔවුන්ට හැකි විය.

ප්‍රහාරයෙන් සිය ඉහල ඉස්ලාමීය නායකයන් මිය ගිය පසු ඉතිරි වූ දෙවෙන පෙළ ඉරාන නායකයන් සිදු කළේ අතිශය ආවේගශීලී ක්‍රියාවකි. ඔවුන් ප්‍රතිචාර ලෙස රටවල් හයකට මිසයිල ප්‍රහාර එල්ල කළේය. මෙයින් සිදු වූයේ ඉරානය තව තවත් හුදකලා වීමයි. අබුඩාබි නුවරට පතිත වූ සුන්බුන් වලින් සිවිල් වැසියෙකු මිය යාමත් සමඟ සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් ඉරානයට එරෙහිව පෙළ ගැසී ඇත. ඊයේ නොතිබූ “ගල්ෆ් සන්ධානයක්” අද බිහි වී තිබේ. ඉරානය එකවර සැමට පහර දීමට යාමෙන් සිදු කරගත්තේ තමන්ට එරෙහිව සියලු දෙනා එකතු කිරීමයි. මෙයින් පෙනී යන්නේ ඉරානයේ අණදීමේ ව්‍යුහය මුළුමනින්ම බිඳ වැටී ඇති බවයි. මියගිය ඉස්ලාමීය හමුදා ප්‍රධානීන් ලැයිස්තුව දෙස බලන විට එය පුදුම වීමට කරුණක් නොවේ.

අයතුල්ලා අල් කමේනි: ආගමික සහ දේශපාලනික ඉහළම බලධාරියා.

IRGC ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරුන්: හෙස්බුල්ලා සහ හූති කණ්ඩායම් මෙහෙයවූ ප්‍රධානීන්.

කමේනිගේ පවුලේ සාමාජිකයන්: මෙම පුවත සමහර ඉරාන වැසියන්ට අතිශය සංවේදී පුවතක් වී ඇත.

මෙම සිදුවීමෙන් පසු ලෝකය පුරාම කතාබහට ලක්වෙන්නේ ඉරානයේ පරාජයට වඩා, “චීන සහ රුසියානු ආරක්ෂක තාක්ෂණයේ පරාජය” ගැනයි. දශක ගණනාවක් තිස්සේ මේ රටවල් දෙක ලෝකයට පෙන්නුවේ තමන් සතුව ඇමරිකානු ‘Stealth’ යානා පවා හඳුනාගත හැකි ලොව දියුණුම රේඩාර් සහ මිසයිල පද්ධති ඇති බවයි. නමුත් ඊයේ උදෑසන 8:15 ට ඒ සියලු ප්‍රකාශයන් බොරු විය.

ඉරානය සතු ප්‍රබලම ගුවන් ආරක්ෂණ පවුර නිර්මාණය වී තිබුණේ රුසියාවෙන් ලබාගත් S-300 සහ අති නවීන S-400 Triumf පද්ධති වලින්. රුසියාව සැමවිටම පැවසුවේ F-22 සහ F-35 වැනි ඇමරිකානු යානා මේවායේ රේඩාර් තිරවල “පැහැදිලිව පෙනෙන” බව. නමුත් ඊයේ ප්‍රහාරයේදී සිදු වූයේ හාත්පසින්ම වෙනස් දෙයක්.

F-22 Raptor යානා ඉරාන ගුවන් සීමාවට ඇතුළු වී ප්‍රහාරය එල්ල කරන තුරුත්, රුසියානු පද්ධති වලට කිසිදු සංඥාවක් හඳුනා ගැනීමට නොහැකි වුණා. ප්‍රහාරයට මොහොතකට පෙර ඉශ්‍රායලය විසින් රුසියානු රේඩාර් පද්ධතිවල මෘදුකාංග අකර්මණ්‍ය කළ බවට සැක කෙරෙනවා. මෙයින් පෙනී යන්නේ රුසියානු තාක්ෂණයේ ඇති “ඩිජිටල් දුර්වලතාවය”.

ඒසේම ඉරානය මෑතකදී චීනයෙන් ලබාගත් YLC-8B Anti-Stealth Radar පද්ධති ගැන ලොකු විශ්වාසයකින් සිටියා. මේවා නිර්මාණය කර තිබුණේම “Stealth යානා” නිකුත් කරන ඉතා කුඩා තරංග පවා හඳුනා ගැනීමටයි.

නමුත් ඊයේ ප්‍රහාරයේදී, චීන තාක්ෂණයට F-22 යානාවල “කුඩා රේඩාර් සලකුණු” හඳුනා ගැනීමට නොහැකි වුණා. ඉශ්‍රායලය භාවිතා කළ Electronic Warfare (EW) උපක්‍රම හමුවේ චීන පද්ධති සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වූ බව වාර්තා වෙනවා. මේ සිදුවීමෙන් ලෝකයට තහවුරු වූ කරුණු කිහිපයක් තිබෙනවා. ඒ කටකතා වලට වඩා ප්‍රායෝගිකත්වය බලවත් බව!

චීනය සහ රුසියාව තමන්ගේ අවි ආයුධවල බලය ගැන ප්‍රදර්ශන පවත්වමින් ලෝකයට පෙන්වූ “ප්‍රචාරණය” , ඇමරිකානු සහ ඉශ්‍රායල “ප්‍රායෝගික තාක්ෂණය” හමුවේ ඊයේ සම්පුර්ණයෙන් බිඳ වැටුණා. ඒ වගේම අද කාලේ යුද්ධය දිනන්නේ වැඩිපුර බෝම්බ තියෙන කෙනා නෙවෙයි, සතුරාගේ පද්ධති වලට රිංගා ඒවා අකර්මණ්‍ය කළ හැකි කෙනායි. රුසියානු සහ චීන පද්ධතිවල ඇති “දුර්වලතා” ගැන ඊශ්‍රායල බුද්ධි අංශ හොඳින් දැන සිටි බව මේ සිදුවීමෙන් පැහැදිලි වෙනවා.

දැන් ඉරානය පමණක් නොව, රුසියානු සහ චීන අවි මිලදී ගත් ඉන්දියාව, තුර්කිය සහ අරාබි රටවල් පවා තමන් සතු පද්ධති ගැන දෙවරක් සිතන්නට පටන් ගෙන තිබෙනවා. “ඇත්තටම මේවා වැඩ කරයිද?” කියන ප්‍රශ්නය දැන් මුළු ලෝකයම අසනවා.

කිසියම් රටක් තවත් රටක තාක්ෂණය මතම සියයට සියයක් යැපීම කොතරම් භයානකද කියාත් මේ සිදුවීම අපට පෙනෙනවා. ඉරානය විශ්වාස කළේ රුසියානු සහ චීන “යකඩ පවුරු” තමන්ව ආරක්ෂා කරයි කියායි. නමුත් අවසානයේදී ඔවුන්ට ඉතිරි වුණේ සුන්බුන් පමණයි. ඒවා ගෙන්වූ නායකයින් ගියේ එලොවයි.

අයතුල්ලා අලි කමේනිගේ නික්මයාමත් සමඟ ඉරානය දැන් සිටින්නේ එහි ඉතිහාසයේ දරුණුතම “දේශපාලන අස්ථාවරත්වය” හමුවේයි. දශක ගණනාවක් තිස්සේ තනි පුද්ගලයෙකු වටා ගෙතුණු පාලන තන්ත්‍රයක්, එක රැයකින් නායකත්වයක් නොමැති රික්තකයක් බවට පත්වීම සුළුපටු කාරණයක් නොවෙයි.

ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා විය හැක්කේ කවුද? අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්තබා, වසර ගණනාවක සිටම මේ තනතුර සඳහා රහසින් සූදානම් කළ පුද්ගලයා ලෙස සැලකේ. ඔහු ඉරාන බුද්ධි අංශ සහ IRGC හෙවත් ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සමඟ අතිශය සමීප සබඳතා පවත්වයි.

පියාගේ පාලන කාලය තුළ තිරය පිටුපස සිට රාජ්‍ය තන්ත්‍රය හැසිරවූයේ මොහු බවද කියැවේ. එහෙත් එදා ඉරාන විප්ලවයේ එක් මූලධර්මයක් වූයේ “පරම්පරාගත රජ පාලනය” අවසන් කිරීමයි. කමේනි ගෙන් පසු ඔහුගේ පුතාම පත් කිරීම, 1979 විප්ලවයේ පරමාර්ථ පාවාදීමක් ලෙස ජනතාව සහ ඇතැම් ආගමික නායකයන් දකිනු ඇත. මෙය දැවැන්ත මහජන විරෝධයකට පාර කැපිය හැකිය.

ඉරාන පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයා වන ලරිජානි, වඩාත් පරිණත සහ මධ්‍යස්ථ මතධාරී දේශපාලනඥයෙකු ලෙස ප්‍රසිද්ධය. එසේම ඔහුට බටහිර රටවල් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව සහ ඉරාන පාලන තන්ත්‍රය තුළ “ප්‍රායෝගිකවාදියෙකු” ලෙස පිළිගැනීමක් ඇත. රට ආර්ථික වශයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට ඔහුට හැකි බව බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් ඉරානයේ සිටින “දැඩි මතධාරීන්” ඔහුව විශ්වාස නොකරයි. ඔහු බටහිරට ගැති වේ යැයි බියක් ඔවුන් තුළ පවතී.

ඉරානයේ ආගමික මූලධර්මවාදී කොටස් අතර අතිශය ජනප්‍රිය චරිතයක් වන පනාහියන්, මේ ලයිස්තුවේ කියැවෙන අවසන් පුද්ගලයායි. ඉරාන තරුණ සටන්කාමීන් සහ IRGC පහළ මට්ටමේ නිලධාරීන්ගේ ප්‍රියතමයෙකි. ඔහු අතිශය දක්ෂ කථිකයෙකි. ඉශ්‍රායලයට සහ ඇමරිකාවට එරෙහිව දැඩි මතයක් දරන ඔහු, පාලන තන්ත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා ඕනෑම බිහිසුණු තීරණයක් ගැනීමට පසුබට නොවන අයෙකි. ඔහු පත් වුවහොත් ඉරානය තවදුරටත් ලෝකයෙන් හුදකලා වනු ඇත. එය බටහිර සමඟ සෘජු යුද්ධයකට පවා මඟ පාදන්නක් විය හැකිය.

කෙසේ වුවත් ඉරාන ව්‍යවස්ථාවට අනුව මීළඟ නායකයා තෝරා ගැනීමේ බලය ඇත්තේ ආගමික විද්වතුන් 88 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයටයි. නමුත් මෙහිදී සැබෑ බලය ඇත්තේ IRGC හමුදාවටයි. ඔවුන් කැමති වන පුද්ගලයා මිස, වෙනත් අයෙකුට එම පුටුවේ වාඩි විය නොහැක. මේ සියල්ල මැද අප අමතක නොකළ යුතු තවත් පාර්ශවයක් ඇත. ඒ ඉරාන ජනතාවයි. විශේෂයෙන්ම ඉරාන කාන්තාවන් සහ තරුණ පරපුර පවතින්නේ පාලන තන්ත්‍රය කෙරෙහි දැඩි කලකිරීමකිනි. නායකත්වයේ ඇති වූ මේ හදිසි බිඳ වැටීම, “නිදහස” පතා ජනතාව වීදි බැසීමට ලැබුණු අවස්ථාවක් ලෙස ඔවුන් භාවිතා කළහොත්, ඉරානය තුළ අභ්‍යන්තර සිවිල් යුද්ධයක් ඇති වීමේ ඉඩකඩ ඉතා ඉහළය.

ඉරානයේ මීළඟ නායකයා කවුරුන් වුවත්, ඔහුට මුහුණ දීමට සිදුවන ලෝකය ඊයේ තිබූ ලෝකය නොවේ. රුසියානු සහ චීන ආරක්ෂක පවුරු බිඳ වැටී ඇති, රටේ ඉහළම තනතුරු පවා සතුරා සතු වී ඇති පරිසරයක, නව නායකයාට මුලින්ම කිරීමට සිදු වන්නේ “තමන්ගේ ජීවිතය රැකගැනීමයි”

“පෙසෙෂ්කියන් බේරුණේ කොහොමද?”

බොහෝ වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රහාරය එල්ල වීමට මිනිත්තු කිහිපයකට පෙර ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් එම ස්ථානයෙන් ඉවත් වූ බව. සාමාන්‍යයෙන් මෙවැනි ඉහළ පෙළේ රහසිගත සාකච්ඡා අතරතුර, රාජ්‍ය නායකයාට හදිසි දුරකථන ඇමතුමක් හෝ වෙනත් රාජ්‍යතාන්ත්‍රික පණිවිඩයක් ලැබීම නිසා ඔහු වෙනත් කාමරයකට හෝ ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීම සාමාන්‍ය දෙයක්. ​

ඉශ්‍රායල ප්‍රහාරය එල්ල වූයේ හරියටම උදෑසන 8:15 ට වුවත්, පෙසෙෂ්කියන් 8:10 ට පමණ එම භූගත බංකරයෙන් පිටව ගිය බවට ඇතැම් තොරතුරු වාර්තා වෙනවා. මෙය ඔහුගේ “වාසනාව” හෝ ඔහුට ලැබුණු “රහසිගත පණිවිඩයක්” විය හැකියි. එසේම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී පෙසෙෂ්කියන් එම ගොඩනැගිලි සංකීර්ණයේම සිටියත්, ඔහු සිට ඇත්තේ උත්තරීතර නායකයා සිටි ප්‍රධාන ශාලාවට වඩා මීටර් කිහිපයක් ඈතින් පිහිටි වෙනත් ආරක්ෂිත කොටසක බව පැවසෙනවා. “Bunker Buster” බෝම්බ අතිශය නිවැරදිව ප්‍රධාන ශාලාව පමණක් ඉලක්ක කළ නිසා, ඒ ආසන්නයේ සිටි පෙසෙෂ්කියන් නිරුපද්‍රිතව බේරෙන්නට ඇති.

ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ ඉරාන පාලන තන්ත්‍රය තුළම සිටින ඇතැම් පාර්ශවයන්ට පෙසෙෂ්කියන් වැනි මධ්‍යස්ථ මතධාරියෙකු දිවි ගලවා ගැනීම අවශ්‍ය වූ බව. ​ඉශ්‍රායලය පවා සියල්ලන්ම විනාශ කරනවාට වඩා, රට මෙහෙයවීමට එක් අයෙකු ඉතිරි කිරීමේ “උපායමාර්ගික තීරණයක්” ගත්තාද යන්න සැක සහිතයි. මන්ද, සම්පූර්ණ නායකත්වයම විනාශ වුවහොත් රට පාලනයකින් තොරව පිස්සු වැටුණු පහළ නිලධාරීන් අතට පත්විය හැකි නිසා, යම් “වගකිවයුතු” නායකයෙකු ඉතිරි කිරීම ඔවුන්ගේ උපක්‍රමයක් විය හැකියි.

සමහර විට මෙයට ඉහත කිසිදු හේතුවක් නොතිබෙන්නට පුළුවන්. හුදෙක් ඔහු ඒ අවස්ථාවේ වැසිකිළියට යාම හෝ වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයකට එම කාමරයෙන් බැහැර වීම වැනි අතිශය සරල අහම්බයක් නිසා, ඔහුගේ ජීවිතය බේරෙන්නට ඇති! ලෝක ඉතිහාසයේ මෙවැනි අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඔබේ ජීවිතයේත් එහෙම අවස්ථා ඇති.

ඔහු කොහොම බේරුණත්, ඉරානයේ දැඩි මතධාරීන් සහ IRGC බලකාය දැන් ඔහු දෙස බලන්නේ සැකයෙන්. “අනෙක් හැමෝම මැරෙන කොට ඔබ විතරක් බේරුණේ කොහොමද?” යන ප්‍රශ්නය ඔවුන් පෙසෙෂ්කියන් ගෙන් අසනු ඇත.

අපට ඇති පාඩම කුමක්ද? මෙය මැදපෙරදිග සිදුවීමක් වුවත්, අපටද මෙයින් වැදගත් පාඩම් කිහිපයක් උගත හැකිය. ආරක්ෂාව යනු අවි ආයුධ පමණක් නොවේ. ඕනෑම රටක හෝ ආයතනයක ආරක්ෂාව රඳා පවතින්නේ එහි සිටින මිනිසුන්ගේ පක්ෂපාතීත්වය මතයි. ඉහළම පුටුවල සිටින අය රට පාවා දෙනවා නම්, ලොව දියුණුම තාක්ෂණය තිබුණත් වැඩක් නැත.

මනෝවිද්‍යාත්මක යුද්ධය! “සතුරාට එරෙහිව ශක්තිය පාවිච්චි කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් සතුරාගේ මනස සමඟ සෙල්ලම් කිරීම විශිෂ්ටත්වයකි.” ඉශ්‍රායලය විනාශ කළේ ඉරානයේ ගොඩනැගිලි නොවේ. ඔවුන් විනාශ කළේ ඉරාන නායකයින් එකිනෙකා කෙරෙහි තැබූ විශ්වාසයයි.

​ඉතින් ඔබ හිතන්නේ කුමක්ද? පෙසෙෂ්කියන් බේරුණේ වාසනාව නිසාද, නැතිනම් මෙහි පිටුපස කිසියම් රහසිගත ගනුදෙනුවක් තිබිය හැකිද? චීන රුසියා අවි වෙළඳාම යනු හුදෙක් ප්‍රචාරණය මත පදනම් වූ බාල දේ විකිණීමක්ද? නායකත්ව හිස්තැනත් සමඟ ඉරානය තුළ කැරැල්ලක් ඇති වීමට ඉඩ තිබේද? නැතිනම් මෙය තුන්වන ලෝක යුද්ධයක ආරම්භයද? තවත් විග්‍රහයකින් හමුවෙමු!

©️ සාගර දියගම
diyagama@outlook.com

Facebook උපුටා ගැනීමකි.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top