SL Media Hub

SL Media Hub - Header

අලුතින් පුළුල් වූ 5% රැඳවුම් බද්ද: Freelancers සහ ස්වාධීන සේවා සපයන්නන් රැසක් දැලට..

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් පනතට සිදුකළ නව සංශෝධනත් සමඟ රැඳවුම් බදු (Withholding Tax – WHT) පද්ධතියේ පරාසය තවත් පුළුල් කර ඇති බව වාර්තා වේ. මෙම නව සංශෝධනය යටතේ, මීට පෙර බදු දැලට සෘජුව ඇතුළත් නොවූ ස්වාධීන සේවා සපයන්නන් සහ Freelancers රැසක් දැන් 5% රැඳවුම් බද්දට යටත් විය හැකි බව බදු විශේෂඥයන් පෙන්වා දෙයි.
මෙම බද්ද අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ වාසය කරන පුද්ගලයන් විසින් ස්ථිර සේවකයෙකු ලෙස නොව, ස්වාධීනව (Independent Service Providers) ආයතන වෙත සේවාවන් සපයන අවස්ථාවලදීය. ඒ අනුව, යම් ආයතනයක් විසින් රුපියල් 100,000ක් හෝ ඊට වැඩි මුදලක් තනි ගෙවීමක් ලෙස ගෙවන්නේ නම්, එම මුදලෙන් 5%ක් රැඳවුම් බද්ද ලෙස කපා තබා ඉතිරි මුදල සේවා සපයන්නාට ලබාදීමට නියමිතය.
මෙවර බදු පරාසයට ඇතුළත් විය හැකි ක්ෂේත්‍ර අතර විගණකවරුන්, කලාකරුවන්, නළුවන්, නර්තන ශිල්පීන්, වීඩියෝ නිෂ්පාදකයින්, පුහුණුකරුවන්, සමාජ මාධ්‍ය විශේෂඥයන්, සන්නාම තානාපතිවරුන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන්, භාෂා පරිවර්තකයන්, ලේඛකයන් සහ උපදේශකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසක් අයත් වන බව සඳහන් වේ.
බදු විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මෙම ක්‍රමය හරහා රජය බලාපොරොත්තු වන්නේ නිල බදු පද්ධතියෙන් පිටත පැවති ආදායම් ප්‍රවාහයන් නීතිගත කර බදු ආදායම වැඩි කිරීම බවයි.
ඒ අතර, බදු අඩු කරගන්නා ආයතනය විසින් අදාළ පුද්ගලයාට “රැඳවුම් බදු සහතිකයක්” (WHT Certificate) ලබාදිය යුතු බවත්, එය වාර්ෂික බදු වාර්තා ගොනු කිරීමේදී වැදගත් ලේඛනයක් වන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
විශේෂයෙන්, පුද්ගලයෙකුගේ වාර්ෂික සමස්ත ආදායම බදු නිදහස් සීමාව වන රුපියල් ලක්ෂ 18ට වඩා අඩු නම්, කපාගත් බදු මුදල් නැවත ලබා ගැනීමේ (Tax Refund) හැකියාවද පවතින බව බදු බලධාරීන් සඳහන් කරයි.
කෙසේ වෙතත්, ආයතන විසින් මෙම රැඳවුම් බද්ද නියමිත පරිදි අය නොකරන්නේ නම්, එම ගෙවීම් වියදම් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප විය හැකි අතර, එය සමාගම්වලට අමතර බදු බරක් ගෙන ඒමට හේතු විය හැකි බවත් වාර්තා වේ.
මෙම නව බදු සංශෝධනත් සමඟ, ශ්‍රී ලංකාවේ Freelance සහ Independent Service sector එකට සැලකිය යුතු බලපෑමක් ඇතිවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි. නව නීතිමය රාමුව පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගෙන ක්‍රියා කිරීම සියලුම සේවා සපයන්නන්ට අත්‍යවශ්‍ය වී තිබේ.
www.slmediahub.com

incometax

incomereverniv

freelancerincome

withholdingtaxes

slmediahub

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top