අප කලින් පරිච්ඡේදයේ දී විස්තර කර ගත් ආකාරය ට විශ්වය පිළිබදව බෞද්ධ සංදර්භය වූ මන්දාකිනිවල වූ සක්වලවල් නූතන ව්‍යවහාර තාරකා විද්‍යාව අනුව ගැලෙක්සීන් හි විසිරුනු තාරකා පද්ධති බවත් එසේ ඒ අතරේ විශ්වයේ ක්ෂීරපථය ගැලැක්සියේ අපගේ සූර්යයා මූලික වූ සෞරග්‍රහ මණ්ඩලය අප ගේ සක්වල ලෙසත් අපි දැන ගතිමු.
මේ පරිච්ඡේදයෙන් අපි උත්සාහ කරන්නේ නිරය, තිරිසන් ලොව, ප්‍රේත ලොව, අසුර ලොව, මනු ලොව, දෙව් ලොව, බඹ ලොව යන බෞද්ධ සංදර්භය තුළ විස්තර වෙන සත්ව වාස භූමි පිළිබදව වර්තමාන කියවීමක් ලබා ගැනීමටය.
අපට මුලින්ම සලකා බැලිය යුතු කරුණු වන්නේ පෙර පරිච්ඡේද වලදී අපට යථාර්ථය ලෙස හමුවන ස්වභාවයේ ඇත්ත තත්වය ලෙස දැනගත් කරුණුමය.
ඒ අනුව අපට වටහාගත හැක්කේ අපේ සාමාන්‍ය සංවේදී ඉන්ද්‍රියයන් ( ආයතන ) ගේ මට්ටමට ගෝචර නොවන අරමුණුත් පවතින නිසා ඒ අපේ මට්ටමට සංවේදනය නොවන මානවල යම් ( සත්ව පුද්ගල භාවයේ හැසිරේ යැයි සම්මත කළ හැකි ) ස්කන්ධය ධර්මයෝ පහළ වෙත් නම් ඒ ( සත්වයන් ) පිළිබදව අපට අපගේ මානයේ සිට අරමුණු නොවන බවය.
ඒ අනුව දියුණු කළ මනසකින් භාවිත කළ ආයතන ( දිබ්බායතන ) ඔස්සේ බුදු, පසේබුදු, මහ රහත් උතුමන් විසින් දක්නා ලද මේ භව තලයන්හි සත්වයෝ පහළ වන බවත් ඔවුන් පිළිබදව යථාර්ථය සහේතුක හා සකාරණ වශයෙන් අපි සැක නැතිවම පිළිගන්නෙමු.
අමතර කරුණක් වශයෙන් නවීන විද්‍යාව තුළින් විශ්වය බහු මාන සහිත බව පිළිගැනීම තුළ මේ විෂය ඒ පැත්තෙනුත් තහවුරු වේ.
දුගති භූමි ( සතර අපාය ) යටතේ
(1) නිරය
පව් කම් / අකුසල් බහුලව සිදු කළ සත්වයෝ පහළවන භවයකි.
නිරයෙහි පහළ වූ නිරි සතුන් ගේ ශරීර පොදුවේ පෙණ කැටි ආකාරයේ වහා සිදෙන බිදෙන සුළුය.
නිරයන්හි බොහෝ දුක් වේදනා ගෙනෙන පරිසරයන් වේ. එසේම නිරි සතුන් ට වධ කරන්නාවූ යමපල් සත්වයෝ ද වෙති.
නිරයෙහිත් යමරජු මුල් කොටගත් පාලන ක්‍රමයක් වේ.
ප්‍රධාන නිරයන් අටක් අනුපිළිවෙළින් පහළට විස්තර වේ. ඒ සෑම නිරයන්ටම එකක සතර දෙසට සතරක් බැගින් ඔසුපත් නිරයන් දාසයක් බැගින් නිරයන් අටටම ඔසුපත් නිරයන් එකසිය විසි අටකි. මෙසේ සම්පූර්ණ නිරයන් ගණන එකසිය තිස් හයකි.
මේ ප්‍රධාන නිරයන් අට
- කාල සූත්‍රය
- සංජීවකය
- සංඝාතය
- තාපය
- ප්‍රතාපය
- රෞරවය
- මහා රෞරවය
- අවීචිය
මේ පොළෝ මට්ටමින් පහළට විස්තර වෙන ඌෂ්ණාධික නිරයන් ය.
චක්‍රාවාට තුනක් අතර අවකාශයේ පිහිටන ශීතාධික නිරයන් ද විස්තර වේ.
- ලෝකාන්තරිකය
- ලෝකුඹුව
- කටුඉඹුලාකාර ආදී වශයෙනි
නිරි සතුන් ගේ භව තලය හා මානය සාමාන්‍ය මනුෂ්‍ය භවයෙන් වෙන් වී ඇත.
(2) තිරශ්චීන අපාය
බහුලවම තිරස්ව ගමන් කරන්නන් නිසා තිරශ්චීන භවය ලෙස හැදින්වේ.
ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර මට්ටමේ සිට දැවැන්ත සත්ව ශරීර දක්වා පරාසයක තිරිසන් සත්වයෝ වෙති.
බොහෝ තිරිසන් සතුන් මනුෂ්‍ය මානයට හසුවේ. භව තලය ද සමපාත ය.
(3) ප්‍රේත ලෝකය
මේ භව තලයද මනුෂ්‍ය වාස භූමිය හා සමපාතව පිහිටා ඇති මුත් මානය වශයෙන් හසුවන්නේ ඉතා කලාතුරකිනි.
(4) අසුර භවය
අසුර භවය මනුෂ්‍ය භවය හා සමපාත නමුත් වාස භූමි වශයෙන් බහුතරය පිහිටා ඇත්තේ පෘථිවියේ මහා සාගරය ඇසුරු කරගෙනය.
මනුෂ්‍ය මානයේ දක්නට ලැබෙන අවස්ථා ඇත.
අප කලකට ඉහත ථේරවාද බෞද්ධ ත්‍රිපිටකය අධ්‍යයනය කළ සමයේ දී මුහුණු පොතේ පිටුවක් ( පේජයක් ) ලෙස ඇරඹූ දහම් පිටුව තුළින් මේ කරුණු සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇති අතර ඉන් උපුටා ගත් කරුණු ද මෙහි මෙසේ සදහන් කෙරේ.
විශ්වය පුරා පරමාර්ථ ධර්මතා විසිරී ඇත. සත්වයන් යනුත් ඒ පරමාර්ථ ධර්ම කොටසකට ලබා දුන් සම්මුතියකි. මූලික වශයෙන් ප්‍රසාද රූප සමූහයන් ඒවාට ගෝචර රූප හා ගැටී උපදින විඥානයන් හා ඊට සම්බන්ධ ධර්මතා රැස සත්වයන් යන සම්මුතියෙන් හැදින්වේ. සත්වයන් ගේ විඥානයන් ගේ විවිධත්වය අනුව ඔවුන්ට නියම වූ මාන විශ්වයේ පවතී. මෙයට භවය යන වචනය බුදු දහමේ යෙදේ. ඒ ඒ භවයේ සිටින සත්වයාට ඒ ඒ ලෝක තලය නියම වන අතර ලෝක ධාතුවේ එබදු භව තල තිස් එකක් ( 31 ) ඇති බව භාග්‍යවතුන්වහන්සේ වදාරන ලද සේක. ඒ ඒ භවයේ ලෝක තලයට නියම වූ මට්ටමක් ඇත. ඒ මට්ටමේ පරමාර්ථ ධර්ම ඇසුරු කර ගැනෙන්නේ ඒ ඒ මට්ටමේ සත්වයන් විසිනි. ඇතැම් අවස්ථාවල මේ මට්ටම් බොහෝ ඈත්ව පවතින අතර ( බ්‍රහ්ම ලෝක හා දිව්‍ය ලෝක තල මනුෂ්‍ය ලෝක තලයෙන් ඈත්ව ඉහළින් පිහිටයි. එහෙත් එක් දිව්‍ය තලයක් වඩා සමීපය. දිව්‍ය ලෝක තලයට බ්‍රහම ලෝක තලය ඈතය. බ්‍රහ්ම ලෝක තල වලද රූපාවචර බඹ තලයන්ට අරූපාවචර බඹ තලයන් ඈතය නිර සතුන් ගේ නේරයික තලයන්ද මනුෂ්‍ය තලයට ඈත්ය. දිව්‍ය තලයට ඊට වඩා ඈත්වේ. බ්‍රහ්ම තලයට ඊටත් වඩා ඈත් වේ. ) ඇතැම් අවස්ථාවල එකම මට්ටමේ පවතී. ( අපගේ මනුෂ්‍ය ලෝකය පිහිටි මට්ටමේම තිරිසන් නිරය, ප්‍රේත නිරය පවතී. අසුර නිකාය ද පිහිටියත් ඔවුන් ගේ කලාපය මනුෂ්‍යයන් ගේ කලාපයෙන් වෙනස්ව පිහිටා ඇත. ඒ එය මහා සාගරයන් ඇසුරු කරගෙන ව්‍යාප්ත වී ඇති බැවිනි. ) එකම මට්ටමේ පැවතියද ඒ එක් ලෝකයකට අනෙක් ලෝකයක් ඇතැම්විට පෙනේ. ඇතැම්විට නොපෙනේ. ඒ සත්වයන් ගේ ප්‍රසාද රූප වල පහළ වන විඥානයන් ගේ ස්වභාවය හා ශක්තිය අනුවය. ඒ අනුව සාමාන්‍යය මනුෂ්‍යයන් ට නිරයන් තිබෙන මට්ටමට යම් දාක පොළොව යටට ගියද ඔවුන්ට නිරයන් දැකිය හැකි නොවනු ඇත. එසේම දෙව් ලෝක බ්‍රහ්ම ලෝක පිහිටි මට්ටමට ගියද ඒවා දැකිය හැකි නොවනු ඇත. එහෙත් මනුෂ්‍ය ලෝකයේ සම්මුතිය ට අනුව දිව්‍ය ලෝක හා නිර ලෝක මනංකල්පිත සේ පෙනුනද පරමාර්ථ වශයෙන් ඒවා ඇත.
අපි වෙසෙන ලෝක ධාතුවේ මේ තිස් එක් තල පිහිටා ඇත්තේ මෙසේයි. මේ තල භාග්‍යවතුන්වහන්සේ විසින් නම් කර ඇත්තේ ඒවායේ ස්වභාවය අනුව පැනවූ සම්මුති නාම ලෙසය.
මේ තල සදහා පෘථිවිය පාදක ලෝකය වේ.
එහි අභ්‍යන්තරයට විහිදුනු ප්‍රධාන නිරයන් අටකි ( 8 ). පහළට යත්ම ඒ ඒ නිරයන් ඇති පිළිවෙළ අනුව 1. සංජීවකය 2. කාල සූත්‍රය 3. සංඝාතය 4. තාපය 5. ප්‍රතාපය 6. රෞරවය 7. මහා රෞරවය 8. අවීචිය යනු ඒවායි. මේ සෑම නිරයකම වටකර කලාපයේ එක දිසාවකට නිරයන් 4 බැගින් දිසා 4 හි උප නිරයන් හෙවත් ඔසුපත් නිරයන් 16 ක් ඇත. වේතරණී, කටු ඉඹුල්, අසිපත් වනය යනාදී නම් යොදා ඇත්තේ මේ ඔසුපත් නිරයන්ටය. මහා නිර 8 ටම ඔසුපත් නිර 128 කි. ( සියලු නිරයන් ගණන 136 කි ) නොයෙක් පව් කම් කළාවූ අය මේ නිරයන් හි ඕපපාතිකව උපදිති. පව් වල ප්‍රමාණය අනුව උපදින නිරය පහළට යයි. ආනන්තරීය පව් කළාවූ අය අවීචියේ උපදිති. වැඩිම කාලයක් ගෙවීමට සිදු වන්නේ එම නිරයේය. පෘථිවියේ මධ්‍යය වන එහි උපදින නිරි සත්වයකුට එහි මහා කල්පයන් පීඩා විදින්නට සිදුවේ.
මීට අමතරව ලෝක ධාතූන් හෙවත් සක්වළ තුනක් අතර වූ ලෝකාන්තරික නිරයන් ගැනත් සදහන් වේ. ඒවා අන්තරීක්ෂ නිර හෙවත් ශීත නරක වේ. ඒවායේ පහළ වන නිරි සතුන් කටුක සීතලෙන් පීඩා විදිති.
නිරය මෙන්ම ඊළඟ දුගති භූමිය ලෙස පැතිර ඇත්තේ ප්‍රේත නිරය නැත්නම් ප්‍රේත අපායයි. එය මනුෂ්‍ය ලෝකය මට්ටමේම ඇත. මනුෂ්‍ය ලෝකය ආශ්‍රිතව ඇත. එහෙත් සාමාන්‍යයෙන් ඔවුන් මනුෂ්‍ය චක්ෂු විඥානයට අරමුණු නොවේ. ඔවුන් ගේ හඩ මනුෂ්‍ය ස්‍රෝත විඥානයට අරමුණු නොවේ. මනුෂ්‍යයන් වාසයෙන් හැර දැමූ ස්ථාන, නොයෙක් අපවිත්‍ර ස්ථාන හා මනුෂ්‍යයන් නොවෙසෙන වනාන්තර, කාන්තාර ආශ්‍රිතව ව්‍යාප්තය. බුදු දහමේ ප්‍රේත ලෝකය බෙදන ප්‍රධාන කොටස් 1. පරදත්තූපජීවිකය ( පින් අනුමෝදන් වීමෙන් සැප ලබන අතර නොඑසේනම් දුකට පත් වන්නෝය ) 2. ඛුප්පිපාසිකය ( නිරන්තර සා පිපාසයෙන් පීඩිතය ) 3. නිජ්ජාමතණ්හිකය ( නිරතුරුව සිරුරේ දැවෙන වේදනා ස්වභාවයන් යුතුය ) 4. කාලකණ්ජකය ( සිරුරු වියළි කර්කශ වූ ස්වභාවය ගන්නෝය ) ලෙස වේ. මෙයට අමතරව විවිධාකාර අයුරින් බුදු දහමේ ප්‍රේත ලෝකය බෙදා දක්වයි. එසේ භාග්‍යවතුන්වහන්සේ විසින් ප්‍රේතයන් පිළිබඳව ප්‍රධාන ආකාර සතර තුළ නොයෙක් ආකාර දක්වා ඇත. තවද ගිජිකුළු පව්වේදී මුගලන් හිමි සමග වැඩි ලක්ඛණ මහ රහතන් වහන්සේ තමන්වහන්සේ දිවැසින් දුටු ප්‍රේතයන් දොළොස් දෙනෙකු ගැන සදහන් කර ඇත.
අනෙක් අද්භූත ලෝකය අසුර ලෝකයයි. අසුර ලොව මහා සාගරය පාදකව ව්‍යාප්තය. සාමාන්‍යයෙන් මොවුන් ද මනුෂ්‍ය විඥානයන්ට අරමුණු නොවේ. අසුරයන් බෙදෙන කොට්ඨාශ සතරකි. 1 කාලකංජක ( මොවුන් යටතට ගැනෙන්නේ කාලකණ්ජක ප්‍රේත කොට්ඨාශයේම කොටසකි ) 2. සාගරය ආශ්‍රිතව වෙසෙන අසුරයන් ( මොවුන් සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ ඇති පුද්ගල නාම වේපචිත්ත, පහාරාද, සම්බල, බලි යනාදී වේ. වරක් සුරයන් හෙවත් දෙවියන් හා යුද කළේ මේ කාණ්ඩයේ අසුරයන් වේ. මොවුන් ගේ වාසය මහා මේරුව පත්ලේ වූ අසුර භවන නම් ප්‍රදේශය වේ. ) 3. විනිපාතික ( මොවුන් චතුර්මහාරාජික දෙව් ලොවේ කොටසකි. එහෙත් පින් අඩු අපහසුවෙන් දිවි ගෙවන ස්වභාවය අනුව වර්ග කර ඇත්තේ අසුර කාණ්ඩයටය. මේ ගණයට අයත් අසුරයන් ලෙස පියංකර මාතා, උත්තර මාතා යන පුද්ගල නාම ත්‍රිපිටකයේ වෙයි. ) 4. වේමානික ( ප්‍රේත කාණ්ඩයකට මෙන්ම ලෝකාන්තරික නිරයේ වෙසෙන්නන්ටද භාවිතා වේ ) තවද අසුරයන් පිළිබඳව නොයෙක් ආකාර වේ. යක්ෂ, රාක්ෂ, පරරාක්ෂස, නාග, ගුරුළු, සිද්ධ, විද්‍යාධර, කිදුරු, කින්නර, කුම්භාණ්ඩ ආදී නම් ද මොවුන් සම්බන්ධයෙන් භාවිතා වනු හමුවේ.
ප්‍රේත ලොව කොටසක් හා අසුර ලොව කොටසක්, සිව් මහ රජයේ ද කොටසක් වේ. එබැවින් සුර පක්ෂයට එරෙහිව නැගී සිටින සුර නොවන පක්ෂය දැක්වීමට ප්‍රේත – යක්ෂ – කුම්භාණ්ඩ යන යෙදුම යෙදේ. යහපත් යැයි සම්මත සුර පක්ෂයේ බලවත් වීම හමුවේ මොවුහු පලා යති.
සුර – අසුර සංග්‍රාමයක් පිළිබඳව වූ පුරාවෘත්තයේ සක් දෙවිදු තව්තිසාව ආරක්ෂා කිරීම සදහා සතර වරම් දෙවිවරු යටතේ මොවුන් ගෙන් සුර ලොවට අයත් කොටස් රැකවලට තබා තිබේ.
මේ අමනුෂ්‍ය නැත්නම් මනුෂ්‍ය නොවන සත්වයන් පිළිබඳව විස්තර තුළ මේ පාර්ශ්ව හමුවේ :
- ඒ නමින් නම් වූ ඕපපාතික සත්වයන් ( බෞද්ධ සූත්‍ර මෙන්ම ඒ යුගයේ බිහිව තිබූ හින්දු මූලාශ්‍ර වලත් ඇති ආසන්න විස්තර )
- අනුරූප නාම යොදාගෙන බිහිවූ මනුෂ්‍ය ගෝත්‍ර හා ඊට සමගාමී අවස්ථා ( භාරතීය හා ලක්දිව ඉතිහාසය, පෘතුවියේ වෙසෙන අප්‍රකට බහිර් පෘථිවීය ප්‍රජා පිළිබඳව පරීක්ෂණ )
- බෞද්ධ දර්ශනයෙන් පරිබාහිර ශාස්ත්‍රීය විෂයන් තුළ පැනවූ ප්‍රස්තූත ( නක්ෂත්‍රයේ දැක්වෙන යෙදුම්, විවිධ සෙත් ශාන්ති යාග ආදියේ )
තිරිසන් ලෝකය අපට විෂය වන බොහෝ සතුන් ගෙන් සැදී ඇත. බුදු දහම මූලික වශයෙන් තිරිසන් සතුන් හෙවත් තිරශ්චීනයන් ලෙස නම් කරන්නේ ඇලව යන නිසාය. ( අනෙක් සත්ව ලෝකද ඒ ඒ අයුරින් නම් වන්නේ මෙසේ වූ යම් සම්මුති ගුණාංග අනුව ය. ) තිරිසන් සතුන් මූලික වශයෙන් පාද ගණන අනුව අපා, දෙපා, සිව්පා, බහුපා ලෙස වර්ග කෙරේ. විද්‍යාත්මක වර්ගීකරණය සමග සැසදු විට මෙසේ වර්ග කිරීමේදී සතුන් ව්‍යුහ විද්‍යාත්මක ලෙස අසමානයන් එක් ගණයකට වැටුනද ඔවුන් ගේ ජීවත් වන පරිසරය, ජීවිත ප්‍රවෘත්තිය අනුව එක් කුලකයක් වේ. තිරිසන් සතුන් බියෙන් ජීවත් වන කොට්ඨාශයකි. කවර මොහොතේ කාගේ ගොදුරක් වේද යන බියද, අන් සතුන් ගොදුරු කර ගන්නා සතුන්ට ප්‍රමාණවත් ලෙස ආහාර නොලැබීමේ දුකද ඇත. ඒ හැර අති මහත් දුක් රැසක් තිරිසන් ලොවේ ඇති බවත් අපට පේන ඒ ලොව ගැන කල්පනා කොට අනික් අපායන් හි ස්වභාවය ගැන සිතා නොපමාව ධර්මයේ හැසිරෙන ලෙසත් සිහිපත් කරමි.
මේ ලිපියේ සදහන් කළ අපගේ ෆේස්බුක් දහම් පිටුව පේජයේ සිංහල සහ ඉංග්‍රීසි පේජ් සදහා සබැදීන් පහත වේ

