ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 6 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ
මනුෂ්‍ය භවය ලෙස පෘථිවි වාසී සමස්ථ මානව ප්‍රජාව පෙනී සිටී.
පෘථිවි වාසී සත්වයන් අතර බුද්ධිමත්ම සත්ව කොට්ඨාසය ලෙස මනුෂ්‍යයන් සැලකේ.
නේරයික, ප්‍රේත, අසුර සත්ව කොට්ඨාසයන් මෙන් ඕපපාතිකව නොව තිරිසන් සතුන් හටත් සාධාරණ වූ සංසේදජ, අණ්ඩජ, ජලාබුජ යන උත්පත්ති ක්‍රම අතුරින් ක්ෂීරපායි සත්වයන් උපදින ජලැබුජ ආකාරයෙන් මනුෂ්‍යයාගේ උත්පත්තය මූලික වශයෙන් සිදු වේ.
මනුෂ්‍යයාගේ වාසස්ථාන සිව් මහා දිවයින් හා කොදිව් අතර විසිර ගොස් ඇත.
මනුෂ්‍යයාගේ ශිෂ්ඨාචාර ශ්‍රේණියක් ඉතිහාසය ලෙස වේ.
මේ සිව් මහා දිවයින් ලෙස බෞද්ධ සන්දර්භයෙහි දැක්වෙන්නේ
- ජම්බුද්වීපය
- පූර්ව වේදේහය
- අපර ගෝයානය
- උතුරු කුරු දිවයින
නූතන භූ විද්‍යාව අනුව මේ පෘථිවියෙහි මහාද්වීප වශයෙන් සතක් දක්වා ඇතත් සැබවින්ම ගත් කල එම වර්ග කිරීමට වඩා මේ වර්ග කිරීමේ සාධාරණ බවක් ඇත.
භූගෝලීය විද්‍යාව අනුව විශාලම මහාද්වීපය වන ආසියාවට තවත් මහාද්වීපයක් ලෙස දක්වා ඇති යුරෝපයද අයත් වේ.
යුරෝපය හා ආසියාවේ සමස්ථය ඒකාබද්ධව ගත්විට භූමියේ හැඩය වැඩුනු දඹ ( ජම්බු ) ගසක හැඩය නිරූපණය වෙන බැවින් ජම්බුද්වීපය යනු මේ ඒකාබද්ධ යුරෝපා-ආසියා සමස්ථ මහාද්වීපය බව බෞද්ධ විද්වතුන් එකහෙළා පිළිගනිති.
පූර්ව විදේහය අප්‍රිකා මහාද්වීපය බවත් අපර ගෝයානය යනු පෘථිවියේ මේ මහාද්වීප පිහිටි පැත්තෙන් අනෙක් පස වූ උතුරු හා දකුණු ඇමෙරිකා මහාද්වීපයන් දෙකම එකට සැලකූ විට බවත් පෙර සිටම එම පිළිගැනීම තුළ වේ.
භූගෝලීය විද්‍යාවේ මහාද්වීප ලෙස ගත් ඕස්ට්‍රේලියාව හා ඇන්ටාර්ටිකාව මෙන්ම ඒ තරම්ම ප්‍රමාණයක් වූ ග්‍රීන්ලන්තය එහිදී ලොව විශාලතම දූපත ලෙස ගනිද්දී පෙනෙන කරුණ නම් බෞද්ධ පද්ධතිය තුළ ඒ සියල්ල අනෙකුත් දිවයින් ලෙස සලකා ඇති බවයි.
උතුරු කුරු දිවයින යනු සුවිශේෂී ප්‍රදේශයක් බව පැහැදිලි නමුත් එය නිශ්චිතව මෙය යැයි එක් නිගමනයකට පැමිණ නැත.
නමුත් හිමාලය, සත් මහා විල්, සප්‍ත මහා සාගර ආදී බෞද්ධ පද්ධතිය තුළ විස්තර වන සියලු දේ නූතන භූ විද්‍යාව තුළින් පැහැදිලිව හදුනා ගත හැක.
මනුෂ්‍ය ලෝකය අපගේ ලෝකයයි. මනුෂ්‍යයන් අතර විශාල විවිධත්වය ඇති වන්නේ සම හා කෙස් වල සහ ඇස් වල වර්ණය අනුවයි. ඉතිරි ලෝක පිළිබඳව හා පෘථිවිය සම්බන්ධයෙන් බෞද්ධ ඉගැන්වීම් අනුව භූමි විස්තරයද එහිදී මදක් සලකා බලන්නෙමු.
පෘථිවියේ ප්‍රධාන සත්ව කොට්ඨාශය වූ මිනිසා මූලික වශයෙන් සම, කෙස් හා ඇස් වල වර්ණය අනුව විවිධාකාරවේ. නමුත් අපි දහම් පිටුවේ කලින් සදහන් කළ හැම අවස්ථාවකම මිනිස් වර්ගයා එකම පිරිසක් බව දක්වා ඇත්තෙමු. මනුෂ්‍යයන් ගේ විවිධාකාර ස්වභාවය ඇතිවන්නේ කර්ම වල විවිධත්වය නිසා බැව් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව වදාළ සේක. සතර අපායේ හා මනුෂ්‍යයන් ගේ ලෝකයේ ආයුෂ නියමයක් නැත. ඒවා කාලය අනුව වෙනස් වෙමින් යයි. අපි දහම් පිටුවෙන් අතීතයේ දී පැහැදිලි කළ පරිදි මනුෂ්‍ය ලෝකයේ ආයුෂ වසර 10 සිට 1,00,000 ක පරාසයක් වේ. ( ඇතැම් මූලාශ්‍ර අනුව ඊටත් වැඩි අගයක් දැක්විය හැක ) අප භාග්‍යවතුන්වහන්සේ ජීවමාන සමයේ එය 120 ක් ද දැන් 100 හෝ 90/80 ලෙස ද සැලකිය හැක. මිනිස් මොළයේ ධාරිතාව අනුව මෙම පරාසය විය හැකි බව පෙනී ගොස් ඇත. ආයුෂ පමණක් නොව සිරුරේ ප්‍රමාණයද, එනම් උස, මහත ආදී කරුණු ද වෙනස් වන අයුරු අපි කීවෙමු. එසේම පෘථිවිය මත ගෙවෙන කල්ප පිළිබඳව හා යුගයෙන් යුගය මහා පෘථිවි අලුත් වෙමින් යන අයුරු අපි කියා ඇත්තෙමු. මේ ගත වූ අති දීර්ඝ සංසාර ගමනේ දී අපි මේ සෑම තැනකම ඉපිද ඇත්තෙමු.

