” සත්‍යයේ සුගන්ධය “
‘ සුරත් චාමර විදානපතිරණ ‘
6 පරිච්ඡේදය – පෘතුවියෙන් බැහැර ජීවය
අප මෙතෙක් සාකච්ඡා කළ මාතෘකා සියල්ල සලකා බැලූ විට විද්‍යාත්මක ගවේෂණයේ මේ අවසාන පරිච්ඡේදය ට අවශ්‍ය කරුණු රැසක්ම පෙළ ගැසුනු බැවින් මේ පරිච්ඡේදය දීර්ඝ ලෙස විස්තර කිරීමට මම බලාපොරොත්තු නොවෙමි.
මේ පරිච්ඡේදයේ අන්තර්ගත කරුණු සදහා අප කලින් පසුකර පැමිණි මගේ විද්‍යාත්මක ගවේෂණය පිළිබඳ පරිච්ඡේද සියල්ලේම දැනුම ප්‍රයෝජනවත් වේ.
විශ්වය පිළිබඳව දැන ගැනීම සදහා පවතින මිනිසා ගේ නොනිමි ආශාව හා උත්සාහය නිසාම අද වන විට අපේ මිනිස් ශිෂ්ඨාචාරය තුළ ගොඩනැගුනු දැනුම බිහි විය.
අප පෘතුවියේ ප්රමුඛ ජීවීන් ලෙස, මෙලොව ජීවත් වන මිනිසුන් ලෙස තවමත් අපේ ලොවින් බැහැර වෙසෙන අසල්වැසියන් සෙවීම නිතැතින්ම සිදු කරන්නෙමු.
පෞද්ගලිකව මා හට ද ළමා වියේ සිට වැඩිහිටියකු වන තුරුම රාත්‍රී තරු වලින් පිරුණු අහස දෙස බලන සෑම විටම සිහිපත් වූයේ මේ විශ්වය පුරා විසිරී සිටින අපේ නෑදෑයන් කොතරම් ද අපි ඔවුන් හමුවන්නේ කවදාද යන්නයි.
( ඡායාරූපය 1 )
මා නැගූ පැනය මටත් පළමු කාල වකවානු ගණනක් තිස්සේ ලෝකයේ විද්‍යාත්මක ගවේෂකයන් විසින් නගා ඇත.
ඒ නිසා විද්‍යාඥයන් විසින් අප හැර විශ්වයේ වෙනත් ග්‍රහලොවක විසිය හැකි බුද්ධිමත් ජීවීන් පිළිබඳව තොරතුරු සෙවීම සදහා ඔවුන් විසින් නිකුත් කරනු ලබන යම් කිසි රේඩියෝ සංඣා වේ නම් ඒවා අනාවරණය කර ගැනීම සදහා ඉතාම ප්‍රබල හා සූක්ෂම සංඣා විශ්ලේෂක උපකරණ සහිත ඇන්ටනා විශ්වයේ ඈත ඉසව් කරා යොමු කොට පවතී. ( ඡායාරූපය 2 )
මේ හැර අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකා, දුරේක්ෂ සහ ගගන ගාමී මධ්‍යස්ථාන වල සවිකළ ඇන්ටනා ද භාවිතා කරනු ලැබේ.
මේ ව්‍යාපෘති 1950 / 60 දශක වල සිට ඇරඹී අද දක්වා නවීන තාක්ෂණයෙන් වැඩි දියුණු වෙමින් පවත්වාගෙන එනු ලැබේ.
1970 දශකයේ දී බහිර් පෘථිවීය බුද්ධිමත් ජීවීන් කොට්ඨාසයකින් විය යුතු යැයි සැක කළ සංඣා ප්‍රතිග්‍රහණය වූ අතර පසුව ඒවා තියුණු ලෙස විශ්ලේෂණය කළ විට පෘතුවියෙන් ම නිකුත් වී තිබූ සංඣා වල පරාවර්තනය වීමක් බව හෙළි විය.
එහෙත් විද්‍යාඥයන් විසින් නොපසුබටව මේ දක්වා අඛණ්ඩව එම පරීක්ෂණ ක්‍රියාවලිය සිදු කරති.
රේඩියෝ සංඣා හදුනා ගැනීමට උත්සාහ කිරීමට අමතරව දුරේක්ෂ යොදා අපේ තාරකාව වූ සූර්යයා ගෙන් ඔබ්බේ ඇති තාරකා කවරේද, ඒවා සතුව සෞරග්‍රහ මණ්ඩල තිබේද, ඒවායේ යෝග්‍ය කලාපය ( තරුවට ආසන්න වෙමින් උෂ්ණත්වය අධික ග්රහලොවක් නොවී එසේම තරුවෙන් ඈත් වී ශීතල අධික ග්රහලොවකුත් නොවී ඒ අතර මැද ප්‍රදේශය / Habitable Zone ඔස්සේ ස්වකීය කක්ෂය වැටී ඇති කලාපය ) තුළ පිහිටි ග්‍රහලෝක තිබේද ආදී වශයෙන් ද පරීක්ෂණ කෙරේ.
මෙහිදීත් පෘතුවියේ නොයෙක් ස්ථානවල ස්ථානගත කළ දුරේක්ෂ, පෘථිවීය වටා කක්ෂ ගත කළ චන්ද්‍රිකා වල සවිකළ දුරේක්ෂ, අභ්‍යාවකාශයේ රැදවූ දුරේක්ෂ ද භාවිතා කෙරේ. බොහෝ දෙනෙකු විසින් මාධ්‍ය මගින් අසන දකින හා කියවන ලද හබ්ල් අභ්‍යාවකාශ දුරේක්ෂය පෘතුවියේ මානව වර්ගයා සතු ඉතාමත් අධි තාක්ෂණික දුරේක්ෂය කි. මෙය මුල් වරට අභ්‍යාවකාශ ගත කෙරුනේ 1980 දශකයේ අග භාගයේ දීය.
නව සියවස උදාවීමෙන් පසු මෙකී ගවේෂණ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉතාමත් සතුටුදායක තොරතුරු ලැබෙන්නට විය. මෙයට ප්‍රධානම හේතුව නම් නව සියවසේ අධි තාක්ෂණික දියුණුව සමග උපකරණ වල සිදුකළ වැඩිදියුණු කිරීම් වේ.
හබ්ල් දුරේක්ෂය ඇතුලු දුරේක්ෂ පද්ධතිය නවීන දුරස්ථ ප්‍රතිබිම්බ විශාලන කිරීමේ ඉලෙක්ට්‍රොනික පද්ධති වලින් කිහිප වරක් අලුත්වැඩියා කරන ලදී.
වර්ෂ 2015 ජූලි මස 23 දින පෘතුවියේ මානව ඉතිහාසයේ ඉතාමත් වැදගත් මං සළකුණක් සටහන් වන්නේ ඒ අනුවය. එදින පළමු වරට වාර්තාගත ඉතිහාසයේ පෘතුවියට සමාන පළමු ග්‍රහලොව හදුනා ගැනුනි.
Cygnus තාරකා රාශියේ Kepler නම් තාරකාව වටා පරිභ්‍රමණය වන මේ පෘථිවිය හා සමාන ග්‍රහලොව පෘථිවීය මෙන් දෙගුණයක් විශාල වේ. Kepler – 452b ලෙස හා Earth 2.0 ලෙස නම් කරනු ලැබිනි. මේ ග්‍රහලොව අප ගේ සෞරග්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 1402 පමණ ඈතින් පිහිටා ඇත.
එම සුවිශේෂී සොයාගැන්මට පසු නැවත ආලෝක වර්ෂ 31 ඈතින් වූ පෘතුවිය මෙන් 6 ගුණයකින් විශාල ග්රහලොවක් අනාවරණය විය. මෙය Gj 357 නම් සෞරග්‍රහ මණ්ඩලය තුළ යෝග්‍ය කලාපය තුළ පිහිටා ඇති අතර Gj 357b ලෙස නම් කර ඇත. මෙහි විශේෂත්වයක් නම් මුලු ග්‍රහලොවම වාගේ ගොඩබිම ඉතුරු නොවී සාගර වලින් සමන්විත වීමයි.
නැවතත් ආලෝක වර්ෂ 12.5 ඈතින් පිහිටි Teegarden තාරකාව වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක දෙකක් අනාවරණය විය. ඒවා Teegarden B සහ C ලෙස නම් කර ඇත.
මෙයට සමගාමීව රේඩියෝ දුරේක්ෂ වල ද තාක්ෂණය වැඩි දියුණු වූ බැවින් FRB Tech ( Fast Radio Burst Technology ) නම් නවීන පද්ධති ඇසුරෙන් අභ්‍යාවකාශයේ සිට නිකුත් වන රේඩියෝ තරංග සංඣා හදුනා ගැනීම ආරම්භ කිරීමෙන් පසු ඉතිහාසයේ මුල් වරට මේ වසරේ, එනම් 2019 ජනවාරි මස අප ගේ ක්ෂීරපථයේ ක්‍රමානුකූලව සංඣා නිකුත් කළ ස්ථාන හදුනා ගැනීමට ලක් වන්නට විය. මේ වන විට ස්ථාන 10ක් පමණ හදුනා ගෙන ඇත.
මෙයින් ගම්‍ය වන්නේ විද්‍යාත්මක උපකල්පනය හා නිගමනය කිරීම නිවැරැදි දෙසට ගමන් කරන බවත් ඉතා ඉක්මනින් අපට බහිර් පෘථිවීය මානව සමාජය හා සම්බන්ධ වීමට අවස්ථාව ලැබිය හැකි බවය.
විශ්වයේ ව්‍යාප්ත වූ බුද්ධිමත් සමාජමය සංවර්ධනයක් අත්කරගත් ශිෂ්ඨාචාර පිළිබඳව ගණනය කර ගැනීම සදහා පසුගිය සියවසේ ජීවත් වූ ඩ්‍රේක් නම් විද්වතානන් විසින් ගණිතමය සමීකරණයක් ගොඩ නගන ලදී. ඩ්‍රේක් සමීකරණය ( Drake Equation ) යනුවෙන් මෙය විද්‍යා ලෝකයේ ප්‍රසිද්ධ විය ( රූපය 3 )
මෙම සමීකරණය අනුව උත්සාහ කරන්නේ අප මේ ලිපිය ආරම්භයේ සිට පිළිවෙලින් සාකච්ඡා කළ කරුණු ගණිතමය රාමුවකට ගෙන විශ්ලේෂණය කිරීමට ය.
මේ සමීකරණය :
N = R • Fp • Ne • Fl • Fi • Fc • L
ලෙස දැක්වේ.
මෙහි,
N = බුද්ධිමත් සමාජමය සංවර්ධනයක් අත්කරගත් ශිෂ්ඨාචාර ගණන
R = තරුවක ආයු කාලය
fp = තමන් වටා ග්‍රහලෝක තිබෙන තරු
ne = එසේ වූ කළ හෙවත් සෞරග්‍රහ මණ්ඩල තිබෙන කල්හි එහි Habitable Zone එකෙහි පිහිටි ග්‍රහලෝක ගණන
fl = ජීවයක් ඇති වූ ග්‍රහලෝක
fi =බුද්ධිමත් ජීවීන් විකසනය වූ ග්‍රහලෝක
fc = විශ්වයට සංඣා නිකුත් කිරීමට තරම් තාක්ෂණික වර්ධනයක් අත් කරගත් බුද්ධිමත් ප්‍රජාවක් සිටින ග්‍රහලෝක
L = තාක්ෂණික ශිෂ්ඨාචාරයක ආයු කාලය
අප මේ මහා විශ්වයේ තනි වී නොමැති බව ලෝකයේ මෙතෙක් පහළ වූ සියලුම ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් විසින් පිළිගන්නා ලදී.
( රූපය 4 )
- අප සතු ගවේෂණ උපකරණ වල ඇති තාක්ෂණික ඌනතාවයන් නිසා අපට ක්‍රමානුකූලව නිසි අධ්‍යයනයන් සිදු කිරීමට නොහැකි වීම. මේ නිසා ඈතින් ඇති අභ්‍යාවකාශය නිරීක්ෂණය කිරීම හා සංඣා ග්‍රහණය කර ගැනීමේ දුර්වලතා ඇති වීම.
- අප සතුව තවමත් අපේ සෞරග්‍රහ මණ්ඩලය ඉක්මවා අභ්‍යාවකාශයේ චාරිකා කිරීමට හෝ අප සතුව ආලෝකයේ ප්‍රවේගය හා සමගාමී වේගයෙන් ගමන් කිරීමට හැකි මට්ටමේ තරම් තාක්ෂණික දියුණුවක් නොමැති වීම නිසා අපේ සීමාවෙන් එහා විශ්වයේ ගවේෂකයන් යෙදවීමට නොහැකි වීම.
- අවකාශයේ තැනින් තැනට කාලයේ ඇති වෙනස නිසා අපට යම් බුද්ධිමත් ජීවීන් සහිත ශිෂ්ඨාචාර නිරීක්ෂණය වුවත් හෝ ඔවුන්ට අප නිරීක්ෂණය වුවත් අප ඔවුන් හා හමුවීමට තැත් කිරීමේදී එක්කෝ ඔවුන්ගේ ශිෂ්ඨාචාරය අවසන් වී තිබීම හෝ අපේ ශිෂ්ඨාචාරය අවසන් වී තිබීම නිසා හමුවිය නොහැකි වීමට ඇති විද්‍යානුකූල සම්භාවිතාවයන්
- අපට නොදැනී අපේ ග්‍රහලොවේ පිටසක්වල ජීවීන් සිටිය හැකි වීමට හා ඔවුන් අපට නොපෙනී අපව නිරීක්ෂණය කිරීමට හැකි වීමට ඉඩක් තිබීම.
- පෘථිවීය මිනිසුන් ගේ ආකල්පවල ස්වභාවය නිසා පිටසක්වල ජීවීන් හමු වුවත් ඔවුන්ව මග හැරී යාමට ඉඩ තිබීම.
මේ සියල්ල සත්‍ය වුවත් අප සමස්ථ මානව වර්ගයා වශයෙන් බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින්නේ ඈත විශ්වයේ තරු අතර ව්‍යාප්ත වී සිටින අප ගේ නෑ සියන් යම් දිනෙක හමුවීමේ උණුසුම් ප්‍රාර්ථනය සමගය ( රූපය 5 )
විශ්වයේ ව්‍යාප්ත බුද්ධිමත් ජීවී ප්‍රජාවන් විසින් ගොඩ නැගිය හැකි ශිෂ්ඨාචාර සැලකීමේදී ඒවා වර්ගීකරණය කළ හැකි යම් පදනමක් සෙවීමට ගත් උත්සාහයන් සම්බන්ධයෙන් විමසා බැලීමේ දී ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් විද්වතානන් ගේ ඉදිරිපත් කිරීම ඉතා තර්කානුකූල වන අතර එය විද්වතුන් බොහෝ දුරට එකග වූ වර්ගීකරණය කි.
ඔහු ප්‍රකාශ කර සිටියේ බුද්ධිමත් ජීවීන් විසින් ශිෂ්ඨාචාර ගොඩනගා ගැනීමේ දී ඒවායේ මට්ටම් ගණනක් ඇතිවන පරිදි එය සිදුවන බවයි. ඒ අනුව ඔහු ඒ මට්ටම් මේ අයුරින් උපකල්පනය කළේය.
1 වන මට්ටම – ගල් ආයුධ පරිහරණය
ඉතාමත් ප්‍රාථමික මට්ටමේ මෙවලම් හා උපකරණ තනාගෙන ආහාර සපයා ගැනීම කාර්යක්ෂම කර ගැනීමට කටයුතු කරනු ලැබේ. ක්‍රමයෙන් වස්ත්‍ර පරිහරණය පිළිබඳව අදහස් ඇතිවේ. වාසය කිරීම පිණිස නිශ්චිත ස්ථාන සකසා ගනී.
2 වන මට්ටම – ගින්දර සහ ලෝහ භාවිතය
ගින්න පිළිබඳව සොයා ගැනීම හා එය භාවිතයට ගැනීම, ආහාර පිසීමට හුරු වීම, පොළොව සැකසීම හා කැණීම, ලෝහ වර්ග නිස්සාරණය කිරීම පිළිබඳව දැනුම ඇති වීම. වඩා හොද මෙවලම් හා උපකරණ තැනීම. රෝදය සොයාගැන්ම සමග මෙතෙක් ආහාර සදහා ඇති කළ සතුන් යොදා අදිනු ලබන ගැල් නිමකර ගැනීම. ඉන් භාණ්ඩ හා සේවා නිපදවා බෙදා හැරීම ඔස්සේ ආර්ථික වශයෙන් සමාජය සකස් වීම
3 වන මට්ටම – භාෂාවන් හා එමගින් සාහිත්‍යය සහ කලාවන් ගොඩ නැගීම
මේ මට්ටම තුළ දී බුද්ධිමත් ජීවීන් සිය ශිෂ්ඨාචාරය පිහිටවනු ලැබූ ග්‍රහලොව කෘෂිකාර්මික වශයෙන් කටයුතු කරමින් ආහාර වගා කිරීමට යොමු වේ. එය වඩා ස්ථිර ක්‍රමවත් පදනම් සහිත ශිෂ්ඨාචාර බිහි කිරීමට හේතු වේ. මෙය කෘෂිකාර්මික විප්ලවයක් වේ.
අතීතයේ සිට පහළ කර ගන්නා ආගමික හැගීම් මේ මට්ටමේ දී වඩා තීව්ර වන අතර ග්‍රහලොව ආගම් බිහිවීමේ යුගය එළැඹෙන්නේ ය.
( යථාර්ථය සෙවීමට මානවයා තුළින් ම පැනනගින පෙළඹීම් හා උත්සාහයන් ඔස්සේ ආගමික දර්ශන බිහිවන අතර එය විශ්වයේ බුද්ධිමත් ශිෂ්ඨාචාරයන් ගේ පොදු ලක්ෂණයක් බවත් ආතර් සී ක්ලාක් මහතා පෙන්වා දෙයි. )
4 වන මට්ටම – වාෂ්ප බලය හා කාර්මික සංවර්ධනය
විද්‍යාත්මක ක්‍රමවේද දියුණු තත්ත්වයට පත් වේ. තාක්ෂණික වශයෙන් දියුණු උපකරණ නිර්මාණය වේ. පිස්ටන් භාවිතය තුළින් සතුන් ගේ පේෂිවල බලය භාවිතයට ගැනීම අඩු වෙමින් යන්ත්‍ර සූත්‍ර ආර්ථික කටයුතු වලට යෙදවීමට පරිවර්තනය වීම සිදුවේ. නිශ්පාදන ක්‍රියාවලි වේගවත් වේ. කාර්මික විප්ලවයක් සිදු වේ.
5 වන මට්ටම – පරමාණු බලය හා අජටාකාශය ජය ගැනීම
මෙසේ මට්ටමින් මට්ටම ඉහළට සංවර්ධනය වූ බුද්ධිමත් ශිෂ්ඨාචාරය පදාර්ථය හා ශක්තිය පිළිබඳව භෞතික හා රසායනික වශයෙන් විද්‍යානුකූල දැනුම් පද්ධති ගොඩ නගා පරමාණු බලය භාවිතයට ගැනීම හා මෙතෙක් කළ ගවේෂණ ද පුළුල් කර ගනිමින් සිය ග්‍රහලොව ගුරුත්වයෙන් මිදී සමීප අභ්‍යාවකාශයේ උපකරණ ස්ථාන ගත කිරීම සිය ග්‍රහලොව චන්ද්‍රයන් හා සිය සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අධ්‍යයනයයෙන් අරඹා ක්‍රමයෙන් මිනිසුන් රහිත හා සහිත යානා සෞරග්‍රහ මණ්ඩලය තුළ සංචාරය කරවීම.
6 වන මට්ටම – පදාර්ථ ශක්ති සංස්ථිතික අවස්ථාව
මෙහි දී ඉතා ඉහළටම දියුණු වන තාක්ෂණය ඔස්සේ ආලෝකයේ ප්‍රවේගය හා ආසන්න වේගය අත් කර ගැනීම තුළින් සිය සෞරග්‍රහ මණ්ඩලය ඉක්මවා යාබද සෞරග්‍රහ මණ්ඩල වලට ගමන් කිරීමට හැකියාව ඇති කර ගැනීම. විශ්වයේ ජනාවාස ව්‍යාපෘති ඇරඹීම.
අපේ ග්‍රහලොව වූ පෘතුවිය පොදු වශයෙන් මේ වන විට පස් වැනි මට්ටම අත් කරගෙන සිටින බව මේ වර්ගීකරණය තුළ පෙනේ.
තවද 7 වන මට්ටමක් ඇද්ද යන්නට පිළිතුරු වශයෙන් ඉදිරිපත් වී ඇත්තේ තිබිය හැකි බවයි. බොහෝ දුරට එය මාන හරහා ගමන් කිරීමක් බදු අවස්ථාවක් විය හැකියි.
[ මේ දක්වන ලද නවීන විද්‍යාත්මක කරුණු සහ තථාගතයාණන් වහන්සේ විසින් දේශිත අභිධර්මය අතර පෙනීයන ආශ්චර්යජනක සම්බන්ධය ඒ පිළිබඳව පරිච්ඡේද කරා පැමිණි විට ඉදිරිපත් කරමි.
එබැවින්, දිගටම ලිපි මාලාව සමග රැදී සිටින්නට ආරාධනා ! ]
සත්‍යය සොයා ගැනීමේ මගේ ගවේෂණය තුළ එහි විද්‍යාත්මක කොටස සම්බන්ධයෙන්
මා විසින් මෑත යුගයේ දී විශාල දත්ත හා තොරතුරු රැසක් විමර්ෂණය හා විශ්ලේෂණය කොට සම්පූර්ණ කර ගත් මගේ විද්‍යාත්මක ගවේෂණය නම් මේ ග්‍රන්ථයේ පළමු අදියර මෙයින් සමාප්ත වේ.
( මේ පළමු අදියර පාඨක ඔබේ මනස අවදි කරන්නට ඇතැයි මම විශ්වාස කරමි. ඊළගට මගේ ශාස්ත්‍රීය ගවේෂණය තුළින් අපි නැවත හමු වෙමු. )

