සාමයේ පණිවිඩය රැගෙන එන ‘ආලෝකා’ට ශ්‍රී ලංකාවේ ඉහළම සෞඛ්‍ය ආරක්ෂාවක්..
සාමය හා සමාජ එකමුතුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන විශේෂ “සාම පාගමන”ට සහභාගී වීම සඳහා මෙරටට පැමිණෙන ‘ආලෝකා’ නම් සුනඛයාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් සියලුම අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
එම සංගමය සඳහන් කරන්නේ, ‘ආලෝකා’ගේ සෞඛ්‍ය තත්ත්වය 24 පැය පුරා නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායම්, සජීවී සන්නිවේදන පද්ධති සහ ගිලන්රථ සේවාවක් සූදානම් කර ඇති බවයි. ඊට අමතරව, හදිසි වෛද්‍ය අවස්ථා සඳහා අවශ්‍ය ඖෂධ, උපකරණ සහ ප්‍රතිකාර පහසුකම් සම්පූර්ණයෙන්ම සූදානම් කර තිබේ.
සංගමය වැඩිදුරටත් පැවසුවේ, මෙරටට පැමිණෙන සියලු සතුන්ට අදාළ වන ජාත්‍යන්තර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ‘ආලෝකා’ සඳහාද සියලුම අවශ්‍ය පරීක්ෂණ සිදුකර ඇති බවයි. විශේෂයෙන්ම, රෝග පැතිරීම වැළැක්වීම සඳහා එන්නත් කිරීම, සෞඛ්‍ය සහතික ලබාගැනීම සහ ප්‍රවාහනයේදී ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම සිදු කර ඇත.
තවද, පාගමන අතරතුර උෂ්ණත්වය, ජල සැපයුම සහ විවේක කාලය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවත්, සත්ව සුභසාධන නීතිවලට අනුකූලව සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බවත් ඔවුන් අවධාරණය කළේය.
ලෝකයේම සාමයේ සංකේතයක් ලෙස සැලකෙන ‘ආලෝකා’ගේ ආරක්ෂාව සහ සුවපහසුව ඉතාමත් ඉහළ මට්ටමින් සපයන බවත්, එය ශ්‍රී ලංකාවේ සත්ව සුභසාධන ප්‍රතිපත්ති සහ වෛද්‍ය සේවාවන්ගේ ගුණාත්මකභාවය පෙන්වීමට ද හේතු වන බවත් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සාම පාගමන තුළ ‘ආලෝකා’ගේ සහභාගීත්වය සමාජයට ධනාත්මක පණිවිඩයක් ලබාදීමට අපේක්ෂා කර ඇති අතර, සත්ව ආරක්ෂාව පිළිබඳ ජනතාව අතර දැනුවත්භාවය වැඩි කිරීමේද වැදගත් අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.
www.slmediahub.com

