SL Media Hub

SL Media Hub - Header

ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 8 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ

මේ දක්වා අප පසු කර ආ පරිච්ඡේද ඔස්සේ
දහම් පිටුවෙන් ද කරුණු සම්පිණ්ඩනය කර ගනිමින් අපි බෞද්ධ දර්ශනය තුළ, ත්‍රිපිටක මූලාශ්‍ර අනුව විස්තර වන විශ්වීය සත්ව වාස භූමි ( භව තල ) තිස් එක් තලයම පිළිබදව පැහැදිලි කර ගැනීමක් කරගතිමු.

ඒ ඔස්සේ අපි ඇත්ත වශයෙන්ම සිදු කළේ ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව මේ පසුබිම් ගවේෂණය සදහා අවශ්‍ය පදනම සකස් කර ගැනීමයි.

බෞද්ධ සන්ධර්භය තුළින් අපි විශ්වීය සත්ව ප්‍රජාව පිළිබදව පූර්ණ වශයෙන් යථාර්ථවාදී මූලික අදහස ලබා ගතිමු.

ඒ පසුබිමෙහි අපි මානුෂීය සීමාව ඉක්මවූ දිව්‍ය, බ්‍රහ්ම ආදී සත්වයන් / බලවේග වෙතින් ආශීර්වාද ලබා ගැනීම හා ඒ සදහා සිදු කරන ක්‍රියාවලි ඔස්සේ සිදු වන සෙත් ශාන්ති කර්ම අරභයා අප විසින් ගොනු කරන ලද ගවේෂණාත්මක කරුණු දැන් ඔබ හමුවේ තබමු.

ඇත්ත වශයෙන්ම 1 – 8 දක්වා සාකච්ඡා කළ සියලු පරිච්ඡේද වනාහි අපට ඒ ගවේෂණාත්මක චාරිකාවේ නිරත වීමට මග විවර කර දුන් දොරටු යි.

ඒ දොරටු තුළින් ඇතුල්ව මේ මාතෘකාව පිළිබදව සාකච්ඡාව ආරම්භ කරද්දී අප ඊළගට සැලකිලිමත් වන කරුණු කිහිපයක් වේ.

අප ශ්‍රී ලංකාවේ වශයෙන් විශේෂ කොට මෙහිදි සාකච්ඡා කළද ශාන්ති කර්ම විෂය ලෝකයේ සෑම භූමි ප්‍රදේශයකම ව්‍යාප්ත වූවකි.
එබැවින් අපි පුළුල් අරුතක් වෙනුවෙන් අප රටෙන් පරිබාහිර රටවලත් මේ සම්බන්ධ කරුණු ගෙනහැර දක්වමු. එය සෑහෙන දුරට ලෝකයේ සියලු ප්‍රධාන භූගෝලීය කලාප ආවරණය වන පරිදි ඉදිරිපත් කිරීමට අපි උත්සාහ කරමු.

ඒ ඒ කලාපීය වශයෙන් මිනිසා ගේ නැමදීමට හා ගරු බුහුමනට පාත්‍රවන අදෘශ්‍යමාන බලයන්ගෙන් නියෝජනය වන දේව ගණයා පිළිබදව අපි හදුනාගනිමු.

ඒ ඇසුරින් / ඒ විශ්වාසයන් පාදක කොට බිහි වූ ශාන්ති කර්ම පිළිබදව දැන ගමු.

එසේම අප මතක තබාගතයුතු කරුණක් වන්නේ කවර මට්ටමේ වුවත් යහපත් උසස් අධ්‍යාත්මික බලයක පිහිටාධාර ලැබෙන්නේ එය ලැබීමට සුදුසු මට්ටමේ හොද අධ්‍යාත්මික ස්වභාවයක් ඇති ජීවිත ගත කරන්නන්ටය.

එසේම මේ අදෘශ්‍යමාන බලයන් සම්බන්ධයෙන් කතා කරන විට ඒවායේ ද කලු ( හීන ) සහ සුදු ( උසස් ) අතර පරාසයක් පවතී.

මේ පරාසය ඇති වන්නේ බෞද්ධ විග්‍රහය අනුව ඕපපාතික සත්වයන් වූ මේ අදෘශ්‍යමාන ජීවීන් ගේ වාස භූමි නැත්නම් සත්ව තල ගත් විට ඒවා ප්‍රේත, අසුර මට්ටමේ සිට දිව්‍ය, බ්‍රහ්ම මට්ටමට පැතිර ඇති නිසාය.

එබැවින් ඒ ඒ ප්‍රදේශවල දේව යන ව්‍යවහාරයෙන් සලකන ඇතැම් අදෘශ්‍යමාන බලයන්ගෙන් ඇතමෙක් ඇතුලත් වන්නේ ප්‍රේත හෝ අසුර යන අමනුෂ්‍ය ගණයන්ටය.

මෙහිදී අමනුෂ්‍ය යනුවෙන් භාවිතා වන්නේ මනුෂ්‍ය නොවූ, ඕපපාතික සත්වයන් යන අර්ථයෙනි.
ඒ අරුතින් වඩා උසස් වූ දිව්‍ය හා බ්‍රහ්ම තල වාසීහුද ඊට ඇතුලත් වේ.

අවසාන වශයෙන් බෞද්ධ විග්‍රහය අනුව අප තේරුම් ගත යුත්තේ ඒ ඒ සත්ව තල වාසීන් ගේ ස්වභාවය හා හැකියා අනුව ඔවුන්ටත් යම් ඉෂ්ටකාරක අරමුණු ඇත්නම් ඒ අනුව මනුෂ්‍යයන් සමග ඔවුන් කටයුතු කිරීමට ඉදිරිපත් වන බවත්, එමගින් මිනිසාටත් ප්‍රථිඵල ලැබීමට අවස්ථාව ඇති බවත්, එසේම වඩා වැදගත් වන්නේ මනුෂ්‍යයන් ගේ පුඥ ශක්තියේ ස්වභාවය බවත්, ඒ ප්‍රථිඵල ලැබෙන්නේ ඊට අනුරූපව බවත් ය.

මනුලොව යහපතෙහි නිරතවන ( පින අනුව යමින් දාන, ශීල, හාවනා දී කුසල් සම්පූර්ණ කරන ) පින්වතුන් හට උසස් දිව්‍යතල වාසී දෙවියන් ගේ ප්‍රසාදය නිතැතින්ම හිමි වන අතර ඔවුන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිට ආරක්ෂාව සලසන ඉෂ්ට කාරක දෙවි දේවතාවුන් වහන්සේලා ඇතිවේ.

ඔවුන් ආශ්‍රිතයන් හට පවා ඇතැම් විට ඒ රැකවරණය සැලසේ.

එසේම ඒ ඒ පුද්ගලයන් තම තමන් ගේ විශ්වාසය හා අත්දැකීම් ඔස්සේ ද මේ දිව්‍ය පුද්ගලත්වයන් නමදින අතර ලැබෙන පිහිටාධාරද ඒ දිව්‍යත්වයෙන්ම ලැබෙන බවෙහි පිහිටති.

උසස් දෙවිවරු හෝ බ්‍රහ්මයන් මනුෂ්‍යයන් ගෙන් ඇත්තටම ඔවුන් වෙනුවෙන් කිසිවක් නොපතන අතර මනුෂ්‍යයන් යහපතෙහි යෙදී පින් කරනු දැක ඒවා අනුමෝදන් වීමටම සතුටු වෙති. එසේම ඒ ඔවුන්ට ඒ පින් අවශ්‍ය නිසා යයි කරුණක් නොමැති අතර ( ඔවුන්ට පින් අනුමෝදන් කිරීම ගුණවත් මනුෂ්‍යයාගේ යුතුකමකි. ) ඉන් ලොවට වන යහපත වර්ධනය කරනු පිණිසය.

තවත් අයුරකින් විග්‍රහ කළහොත් මනුෂ්‍යයන් තමන් නිවැරදිව ධර්මය දැන මනා සිහි නුවණින් කටයුතු කරන විට ඒ ඉස්මතු වන ශක්තිය ඔස්සේ සිය මාවත හා යහපත් අභිප්‍රායන් ඉෂ්ට සිද්ධ වීම වන විට එය වනාහි ඒ කුසලයෙහි බලගැන්වීමම ඊට හේතුව වේ.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top