සත්‍යයේ සුගන්ධය SL_Media.Hub තුළින් මේ දක්වා කියවූ ඔබ මෙතෙක් පසු කර ආ පරිච්ඡේද 1 – 6 දක්වා පෙළ ගැසෙන්නේ සත්‍යයේ සුගන්ධය – 1 අදියර ලෙසය.
එහි වූයේ මා විසින් සිදු කළ විද්‍යාත්මක ගවේෂණය යි.
පරිච්ඡේද 7, 8 සහ දැන් ඔබ කියවන මේ 9 වන පරිච්ඡේදයේ සිට ඉදිරියට දිගහැරෙන්නේ සත්‍යයේ සුගන්ධය – 2 අදියර යි.
2 වෙනි අදියර යටතේ විස්තර වන්නේ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය යි.
ඒ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය තවදුරටත්….
9 පරිච්ඡේදය – යුදෙව් ටෝරා ග්‍රන්ථ මගින් ඉදිරිපත් කරන ඉතිහාසය
මේ සදහා මම මා විසින් රචිත ෆේස්බුක් දහම් පිටුවෙහි
දහම් පිටු 779 – 2 අදියර.1 සිට 5 දක්වා පිටු ඉදිරිපත් කරමි.
දහම් පිටුව 779 – 2 අදියර.1
ලෝකයේ බිහි වූ විවිධ ආගමික දර්ශනයන් හා විශ්වාසයන්
අපි දහම් පිටුවට අදාළව විනය පිටකය හා සසුන් ඉතිහාසයේ අවසාන කොටස් වල සිටින්නෙමු. අභිධර්මය පිටකය ආරම්භ කිරීමට මත්තෙන් ලෝකයේ බිහි වූ විවිධ ආගමික දර්ශනයන් හා විශ්වාසයන් පිළිබඳව කෙටි හැදින්වීමක් නොකොට යාම අපේ ව්‍යාපෘතිය අසම්පූර්ණ වීමක් සේ මට පෙනෙන බැවින් කාලය ගත වුවත් මෙයද ඇතුලත් කරමි. සාමාන්‍යයෙන් ලෝකයේ මිනිස් ශිෂ්ටාචාරයන් පිටුපස ඇති ඇංජිම වනාහි එම ශිෂ්ටාචාරයන් පදනම් වූ දර්ශනය වේ. මේ නිසා ආගමික ශාස්තෘන්වහන්සේලා මිනිස් ශිෂ්ටාචාරයන් හි උත්තරීතරම කොටස වේ. එහි කිසිදු විවාදයක් නැත. ආගම් ලෙස සාමාන්‍යයෙන් කතා කරන විට කෙනෙකුට මතකයට නැගෙන්නේ බුදු සසුන, හින්දු ආගම, කිතුනු ආගම, ඉස්ලාම් ආගම හා සික් ආගම වැනි ලෝකයේ ප්‍රධානව ඉදිරියෙන් ඇති කිහිපයක් පමණි. එහෙත් විමර්ශනය කර බැලුවොත් මේ මිහි මත විවිධ මහාද්වීපයන්හි විවිධ ප්‍රදේශයන්හි විවිධාකාර ප්‍රජාවන් අතර විසිර ඇති ආගමික ඇදහිලි හා විශ්වාස ගණන තක්සේරු කළ හොත් විශාල ගණනකි. විද්‍යාත්මක වර්ගීකරණයක් අනුව එය 80 – 100 අතර වූ ආගම් සංඛ්‍යාවක් පෘතුවියේ වර්තමානයේ ඇත. අප මේ අදියරේදී සලකා බලන්නේ බෞද්ධ නිර්ණායක අනුව ලෝකයේ ආගම් බිහි වී ආ ප්‍රධාන ධාරාවන් හා ඒවායේ ඓතිහාසික හැසිරීම පිළිබඳව යි. පෘථිවිය, මානව සම්භවය හා දර්ශනය සහ මිනිස් ශිෂ්ටාචාරයන් පිළිබඳව අපි දහම් පිටුවේ කලින් අවශ්‍ය ප්‍රමාණය ට විස්තර කළෙමු. මිනිසා වානර පරිණාමයක් යැයි අතීත විද්‍යාඥයන් ගත් වැරදි නිගමනය බිද වැටීමත් මිනිසා ආභස්සර බඹුන් ගෙන් සම්භවය වූ පෘථිවියට බැහැරින් ආ ආගන්තුක ජීවියකු ( හයිබ්‍රිඩ් ) බවට බුදු දහමේ ඇති හෙළිකිරීම නවීන විද්‍යානුකූලව සනාථ වෙමින් ඇති බවත් කීවෙමු. ඒ නිසා මෙහිදී අපි පුරාවිද්‍යාත්මක ලෙස ලෝකයේ සාක්ෂි ඉතිරිව ඇති පැරණිම ශිෂ්ටාචාරයන් ගෙන් අපේ කතාව ආරම්භ කළ හොත් ( ඉන් පෙර සිට අති විශාල ශිෂ්ටාචාරයන් ප්‍රමාණයක් පෘථිවියේ තිබූ බව දැන ගත යුතුය ) යුප්‍රටීස් ටයිග්‍රීස් නිම්නයේ ( වර්තමාන ඉරාකයට අයත් ) සුමේරියානු ශිෂ්ටාචාරයෙන් අපේ කතාව ඇරඹිය යුතු වේ. මෙය මෙසපොටේමියන් ශිෂ්ටාචාරයන් සමූහයෙන් හා ලෝකයේ මුල්ම සාක්ෂි හමුවන ශිෂ්ටාචාරය වේ.
දහම් පිටුව 779 – 2.2
මෙසපොටේමියානු සභ්‍යත්වය තුළ මිනිස් ඉතිහාසයේ මානව සම්භවය පිළිබඳව පරම්පරාගතව පැවති සැබෑ ඉතිහාස කතාව ශිලා ලේඛණ ඇසුරින් හමු වී තිබේ. ඒ වසර 5,00,000 ට පෙර අතීතයේ ආකාශචාරි බඹුන් ( Celestial Beings ) ගෙන් මිනිසා බිහි වූ බවය. මේ විස්තර බුද්ධ දේශනාවේ දීඝ නිකායේ අග්ගඥ සූත්‍රය යළි කියවීමක් බදුය. මෙයට අමතරව ලෝකයේ අනෙක් ආගමික විශ්වාසයන් රැසකට පාදක වූ ලේඛණ ද සුමේරියානු ශිෂ්ටාචාරය තුළින් හමු වේ. මිනිසා බිහි වී ඔහු තණ්හාවට දාසයකු වී තම අධ්‍යාත්මික සැනසීම අහිමි කරගත් බව උපමානුකූල විස්තරයක් ලෙස ලියැවුණු ලේඛණයක් යුදෙව් ටෝරා හා ක්‍රිස්තියානි බයිබලය ඇරඹීමේ මුල් පියවර වේ. මේ උපමා කතාව ලියැවෙන්නේ මිනිස් ශිෂ්ටාචාරය ඇරඹීම ආදම් සහ ඔහුගේ බිරිද වූ ඊවා විසින් විශ්වයේ මැවුම්කරු ට අකීකරුව දැනුම ලබා ගැනීම නම් ගසින් ගෙඩි කෑම නිසා ඔවුන් සදාකාලික විමුක්තිය නම් ගසට එළැඹීමට ඇති මාවත අහිමි කොට ඔවුන් පාරාදීසයෙන් නෙරපීම නම් සිද්ධියක් ලෙසය. මෙය දාර්ශනික උපමා කතාවකි. ගැඹුරින් විමර්ශනය කළොත් මෙහි සැගවුනු අරුත් රැසකි. ආදම් හා ඒව නම් කල්පිතය හරහා පෘථිවියේ මිනිස් ප්‍රජාව පෙන්වන අතර විශ්වයේ මැවුම්කරු ලෙස ලෝකයේ ජීවමාන ධර්මය නිරූපණය කෙරේ. දැනුම හා ප්‍රඥාව අතර වෙනස එනම් දැනුමේ පරස්පරය ප්‍රඥාව බව දක්වමින් මිනිසා දැනුම සොයා යද්දී ඔහු ගේ අධ්‍යාත්මික විමුක්තිය ඈත් වන බව දක්වා ඇත. මේ උපමා කතා මතුපිට අර්ථයෙන් ගැනීම නිසා අතීතයේ සිට මිනිසා දාර්ශනික ලෙස දුබල විශ්වාසයන් නඩත්තු කරනු ලැබීය. මෙසේම සුමේරියානු සාක්ෂි අතර දියුණු පිටසක්වල ජීවීන් පෘථිවියේ කටයුතු කිරීම පිළිබඳව සාධක රැසක් හමු වී තිබේ. අනුනාකි ( Anunaki ) නමින් අද ගවේෂණය කෙරෙන එක් පර්යේෂණ ක්‍රියාදාමයක් හරහා සුමේරියානු ඉතිහාසයේ විසූ නිබෘ ( Nibru ) නම් ග්‍රහ ලොවකින් පෘථිවියට අවුත් මෙසපොටේමියානු නිම්නයේ හමුවන වැදගත් ඛණිජයක් වූ මෙනැටොනික් ගෝල්ඩ් ( Menatonic Gold ) කැණීම් කළ බහිර් පෘථිවීය අධිපති ගණයේ පිටසකවල ජීවීන් කොටසක් පිළිබඳව හෙළි වී තිබේ. මොවුන් සුමේරියාවේ පාලකයන් ද වූ අතර මිනිසා ඔවුන් යටතේ එම ව්‍යාපෘති වල සේවය කොට ඇත. ඔවුන් විසින් මනුෂ්‍යයන් ගේ ජාන ඉංජිනේරු වෙනස්කම් කළ බවටත් අද සැක කරනු ලැබේ. මෙබදු කරුණුත් මිනිසා සුපිරි නිර්මාණ කරුවකු ගේ නිර්මාණයක් ලෙස දැක්වෙන ආගමික විශ්වාස වලට මූලාරම්භය වී ඇත. මෙය විද්‍යාත්මක ක්‍රමය විකාශනය වී නූතන දියුණුව ඇති වූ පසු තෝරා බේරා ගන්නා තෙක් ස්වභාව ධර්මය පුද්ගලත්වයක් ආරෝපනයෙන් මැවුකාර සර්වබලධාරි දෙවියන් ලෙස ඒ ධර්මය විවිධ පුද්ගල නාම යොදා ඒ ඒ ශිෂ්ටාචාරයන් හි ප්‍රජාවන් විසින් ආමන්ත්‍රණය කර ඇති බැව් පෙනේ.
දහම් පිටුව 779 – 2.3
මෙසේ ස්වභාවික වස්තූන් මත ආරෝපිත දේවත්වය අනතුරුව සියල්ල මවා පාලනය කරන සර්වබලධාරි දෙවියන් ලෙස මුල්තැනට ගැනීම සිදු වී තිබේ. යුදෙව් ටෝරා හි දැක්වෙන්නේ පොළොවේ යුග ගණනකට පසු ( මේ යුග මනුෂ්‍යයන් පිරිහුනු අදුරු යුග ලෙස දක්වන අතර නෙප්ලීම් නම් යෝධ මනුෂ්‍යයන් පොළොවේ අධිපතිකම් කළ යුගයකි ) මහා ජල ගැලීමක් ඇති වී බොහෝ ශිෂ්ටාචාරයන් විනාශ වී ඉන්පසු යුගයක මෙසපොටේමියාවේ විසූ ආබ්‍රම් ( Abram ) නම් පැනවත් අධිපතියකු විසින් සොබා දහමේ ක්‍රියාකාරීත්වයන් නිරීක්ෂණය කොට ඒවා අතර ව්‍යාකූලත්වයක් නොමැති බැවින් මේ සංසිද්ධි වලට වෙන වෙනම අධිපති වූ දෙවිවරු නැත සිටිය හැක්කේ එකම එක සව් බලැති දෙවියෙකි යන සංකල්පය ඉදිරිපත් කළේය. ඒක දේව වාදය කරළියට ගෙනා ඔහුට අනුව ඒ මැවුම්කරු යාහ්වේ ( Yehoa ) යනුවෙන් හදුන්වනු ලැබීය. ආබ්‍රම් ගේ නාමය ආබ්‍රහම් ( Abraham ) ලෙස පරිවර්තනය වෙමින් ඔහු එකම දෙවියන් ගේ සාක්ෂිකරු ලෙස තමා විසූ දේශයෙන් පිටත්ව සිය පවුල කැටුව බටහිරට ගොස් ක්‍රම ක්‍රමයෙන් වර්තමාන ඊශ්‍රායලය තිබෙන එදා කානාන් නමින් හැදින්වූ රටෙහි විසීය. යුදෙව් ජනයා ගේ මූලාරම්භය හෙවත් ආදි පියා මේ ආබ්‍රහාම් වේ. යුදෙව් ටෝරා ( බයිබලයේ පැරණි ගිවිසුම ) හි දැක්වෙන්නේ ආබ්‍රහම් ඇදහූ දෙවියන් වහන්සේ ඔහුට සිහිනෙන් පෙනී ඔබ අද ආගන්තුව සිටින මේ දේශය මම ඔබේ දරු පරම්පරාවන්ට දෙන්නෙමි. ඔවුන් ගණනින් ඉතා විශාල සෙනගක් වනු ඇතැයි පැවසූ බවයි. මේ තාක් ආබ්‍රහම් විවාහකව සිටි බිරිද වූ සාරාට දරුවන් නොසිටි බැවින් ඇගේ අනුමැතිය ඇතිව ආබ්‍රහම් දෙවන විවාහය ලෙස හාගර් නම් තැනැත්තියක විවාහ කර ගත්තේය. ඇයට ලැබුනු පුතා ඉෂ්මායෙල් නම් විය. පසුව සාරාටද පුතෙක් ලැබුණි. ඔහු ඊසාක් / අයිසැක් නම් විය. පසුව භාර්යාවන් අතර ආරවුල් ඇතිවී පළමු බිරිද වූ සාරා විසින් දෙවන බිරිද වූ හාගර් ඉවත් කරන ලෙස ආබ්‍රහම් ට බල කරන ලදී. ඒ අනුව ආබ්‍රහම් හාගර් සහ ඉෂ්මායෙල් ගෙන් වෙන් වේ. ඉෂ්මායෙල් ගෙන් අරාබි ජනයා පැවත එන අතර ඔවුන් ප්‍රධාන ගෝත්‍ර 12 කි. මින් ප්‍රධානම ගෝත්‍රය කොරේෂ් නම් වේ. ඊසාක් වැඩුනු පසු ඔහුට රෙබෙකා නම් තරුණිය විවාහ කර දීමට දෙමාපියන් කටයුතු කරති. ඒසව් හා යාකොබ් යනුවෙන් ඔවුන්ටත් පුතුන් දෙදෙනෙකු ලැබේ. පසුව මොවුන් අතුරෙන් ඉදිරියට එන්නේ යාකොබ් / ජේකබ් වේ. ( ඒසව් ගෙන් ; පසුව ඉදුමෙයා නමින් හැදින්වූ රටේ ජනයා මොහුගේ පරපුරින් පැවත ආහ ) යාකොබ් ; ඔහු සිය ජීවිතයේ මුල් අවධියේ සත්ව පාලකයකු ලෙස බොහෝ වෙහෙස වේ. යාකොබ් ගේ විවාහ වලින් ඔහුට පුතුන් 12 කු ලැබේ. මින් ප්‍රධානියා වන්නේ සිව් වැන්නා වූ ජුදා නම් වේ. අනෙක් සහෝදරයන් පිළිවෙලින් වැඩිමලා වූ රූබන්, සිමියොන්, ලෙවි, ජුදා, දාන්, නප්තලී, ගාද්, අෂෙර්, ඉස්සාකර්, සිබියුලන්, ජෝසෙප්, බෙන්ජමීන් වේ. මේ පුතුන් 12 ගෙන් ඊශ්‍රායලයේ ගෝත්‍ර 12 ඇරඹේ. ප්‍රධාන ගෝත්‍රය ජුදා / යුදෙව් ( Jewish ) වේ. යාකොබ්ට සිය අවසාන කාලය මිසරයේ ගෙවීමට සිදුවේ. ඔහුගේ 11 වන පුතා වු ජෝසෙප් ඊජිප්තුවේ දේශාධිපති ලෙස ෆාරාවෝ රජුන් විසින් පත් කෙරේ. පසු කළෙක මේ අයගෙන් පැවත ආ ඊශ්‍රායල් ගෝත්‍ර 12 ජනයා ගණනින් වැඩී යත්ම ඔවුන් ඊජිප්තුව ට තර්ජනයක් ලෙස දකින පසු කාලීන ෆාරාවෝ රජවරු ඔවුන් ඊජිප්තුවේ වහලුන් ලෙස ප්‍රකාශය ට පත් කොට පිරමිඩ නිර්මාණය සදහා යොදවනු ලැබේ. මේ ෆාරාවෝ රජවරු විසූ ඊජිප්තුවේ හිරු දේවත්වයේ ලා වන්දනා කරන ලදී. රා ( Raah ) යනුවෙන් ඔවුහු සර්වබලධාරි දෙවියන් හදුන්වා ඒ ආගමික විශ්වාසය මත පදනම්ව ඊජිප්තු ශිෂ්ටාචාරයන් බිහි කරන ලදී.
දහම් පිටුව 779 – 2.4
සියවස් ගණනක් ඊජිප්තුවේ වහලුන් ලෙස ජීවත් වූ ඊශ්‍රායල් වරුන් ගේ එකම අදෝනාව හා බලාපොරොත්තුව වූයේ ඔවුන් ගේ යාහ්වේ/යෙහෝවා දෙවියන් විසින් ඔවුන් ගලවා ගැනීමයි. මේ යුග මෙහෙවර කිරීම සදහා ලෙවී ගෝත්‍රයේ උපන් මෝසෙස් ( අරාබි උච්ඡාරණය අනුව මූසා ) කරළියට පැමිණේ. මෝසෙස් උපන් අවස්ථාවේ ඊශ්‍රායල් ජන ගහනය පාලනය කිරීම සදහා ෆාරාවෝ රජුන් විසින් දරුණු නීති පනවා තිබිණි. ඒ උපදින සියලු පිරිමි දරුවන් නයිල් නදියට දැමිය යුතු බවයි. ( ගැහැණු දරුවන් ජීවත් කර වීමට අවසරය තිබිණි ) මෝසෙස් ගේ දෙමව්පියන් ද වැළපෙමින් සිය දරුවා පන් පෙට්ටියක දමා නයිල් නදියේ පා කර යැවූහ. එහෙත් ඔහුට වැඩිමහල් සොහොයුරිය වූ මීරියම් පන් පෙට්ටියට කුමක් වේ දැයි බලමින් ගියාය. ඒ අවස්ථාවේ නයිල් නදියේ ස්නානය කිරීමට පැමිණි ෆාරාවෝ රජු ගේ දියණිය මේ පන් පෙට්ටිය දැක එය ගෙනෙන ලෙස සිය සේවිකාවන් ට අණ කළාය. ඔවුන් එය ගෙනවිත් විවෘත කර බැලූ විට එහි වූ සුරූපී බිළිදා දුටු රජ කුමරිය ඔහුට ආදරේ වී ඇගේ දරුවකු ලෙස ඇති දැඩි කිරීමට රජ මාළිගයට රැගෙන ගියාය. බිළිදු කුමරාට මෝසෙස් ( ජලයෙන් ගන්නා ලදී යන්න තේරුම වේ ) නම තබන්නේ ෆාරාවෝ කුමරියයි. මෙය දුටු මරියම් සිය සොහොයුරා ෆාරාවෝ රජ කුමරු බව දැන සිටියාය. මෝසෙස් කුමරු සියලු ශිල්ප ශාස්ත්‍ර උගෙන ඊජිප්තුවේ රජ කුමරෙක් විය. එහෙත් තරුණ වියට එළෙඹි විට තමා ද ඊජිප්තුවේ වහලුන් වූ ඊශ්‍රායල් වරුන්ට අයත් බව දැනගත් හේ රජ සැප අත් හැර වහලුන් ගේ විමුක්තිය උදෙසා කැප විය. ෆාරාවෝ රජවරු හා මතවාදී හා ආධ්‍යාත්මික ලෙස ගැටෙන මෝසෙස් සිය සොහොයුරා වූ ආරෝන් ද සමග පැමිණ ෆාරාවෝ රජුන් ගෙන් ඊශ්‍රායල් සෙනග ගලවා ගෙන ඔවුන් රතු මුහුදින් එතෙර කරවා පරපුරෙන් පරපුරට ඔවුන් අසා තිබූ ඔවුන්ට හිමි වන බවට පොරොන්දු වී තිබූ කානාන් දේශයට ඔවුන් යොමු කරන ලදි. ඔවුන් ලුහුබැඳ ආ ෆාරාවෝ රජුන් සිය හමුදා සමග රතු මුහුදේ ගිලී වැනසීම සිදුවේ. මේ ගමනේදී මෝසෙස් ඔවුන්ට දස පණත ඇතුළු අණ පනත් රැසක් ඇතුලත් ව්‍යවස්ථාවක් සම්පාදනය කර දේ. යාහ්වේ නම් එකම බලවත් දෙවියන්ට වන්දනා කිරීම පිළිබඳව දස පනතේ මුල් අණ සතර වෙන් වන අතර දෙමාපියන් ට සැලකීම, මිනී නොමැරීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කිසිවකුට එරෙහිව බොරු සාක්ෂි නොදීම, සිය අසල්වැසියා සතු කිසිවකට ආශා නොකිරීම ආදී වශයෙන් ශිෂ්ටාචාරික ලෝකයක් සදහා අවශ්‍ය මූලික නීති සෙසු අණ හය ට ඇතුලත් වේ. මීට අමතරව නීති හයසියයකට අධික ඊශ්‍රායලයේ ව්‍යවස්ථාව මෝසෙස් ඔවුන්ට ලබා දේ. මේ නීති සීනායි කදුකරයේ දී දෙනු ලැබේ. මෝසෙස් ට සිය සෙනග රැගෙන පොරොන්දු දේශයට යාමට නොහැකි වේ. සිය අනුප්‍රාප්තිකයා ලෙස ජෝෂුවා පත් කරන මෝසෙස් ජෝෂුවාට සහාය වීමට කාලෙබ් ට දන්වා සිය ජනතාව ගෙන් සමුගෙන ගොස් මිදියන් නිම්නයේ උස් බිමක සිට ජෝර්දාන් ගගින් එතෙර රට ඈතින් දැක එහි නොගොස්ම අභාවප්‍රාප්ත වේ. ඉන්පසු ජෝෂුවා ගේ නායකත්වයෙන් ඒ ගංගාව තරණය කොට කානාන් වරු හා යුද වදින ඊශ්‍රායල් සෙනග දේශය අත්පත් කරගෙන ගෝත්‍ර 12 අනුව පළාත් 12 ට රට බෙදා වෙන්කර ගනී. තම රටින් පලා යන කානානිවරු යන පොදු නමින් හැදින්වෙන පලස්තිවරු, මිදියන්, මෝවබ්, අම්මොන්, ඒදොම් යන ජන වර්ග දේශය අවට විසිරී සිටිමින් වරින් වර ආක්‍රමණ එල්ල කරයි. පසුව මේ ජාතීහු පලස්තීන්වරු නමින් පොදුවේ හැදින්වේ. ඊශ්‍රායලය අවට ඉදුමෙයා, ගාසා, පලස්තීනය, ජෝර්දාන, ලෙබනන් හා සිරියා, ඇසිරියා, මේදියා, පර්සියා හා බබිලෝන් යන රටවල් පසුව ඇතිවේ.
දහම් පිටුව 779 – 2.5
ඊශ්‍රායලය බිහි කළ ගෝත්‍ර 12 විසින් සෑහෙන කලක් රජෙකු නැතිව දේව වන්දනාව මුල් කරගත් ආගමික රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලය පවත්වා ගනී. මේ කාලය තුළ ගිඩියොන්, සැම්සන් ආදී වීර මනුෂ්‍යයන් පලස්තීන්වරු හා සටන් කොට රට බේරා සුරක්ෂිතව තබයි. යාහ්වේ දෙවියන් වෙනුවෙන් වාර්ෂික මංගල්‍යය හා පුද පූජා ලෙස සත්ව බිලි පූජා පැවැත්විනි. ඒ සියල්ල ව්‍යවස්ථාව අනුව සිදු විය. පසුව සෙනග රජෙක් ඉල්ලා සිටියහ. දෙවියන් වෙනුවෙන් කැප වී සිටි සැමුවෙල් නම් දිවැසිවරයා විසින් ජුදා ගෝත්‍රයෙන් ඔවුන් ගේ ප්‍රථම රජු වූ සාවුල් පත් කර දුනි. සාවුල් ට පසු ඔහු ගේ පුතා වූ ජොනතන් ගේ මිතුරා වූ දාවිත් ( David ) ඊශ්‍රායලයේ රජු වේ. ඊශ්‍රායලය කීර්තිමත් යුගය කරා ගෙන යන්නේ ඩේවිඩ් රජුය. ඔහු ගේ ලාංඡනය වූ සුදු පසුබිමේ නිල් තරුව අදත් ඊශ්‍රායලයේ ධජයේ හා රාජ්‍යයේ ලාංඡනය වේ. ඊශ්‍රායලය ෆීනීෂියන් අධිරාජ්‍යය තත්වයට රැගෙන එන්නේ ඩේවිඩ් රජු ගේ පුත්‍රයකු වන සාලමොන් ( Solomon ) අධිරජුය. ඔහු අප්‍රිකානු මහාද්වීපය දක්වා තම සම්බන්ධතා ශක්තිමත් කර ගන්නා අතර ඊශ්‍රායල් ඉතිහාසයේ සිටි ප්‍රඥාවන්තම රජු ලෙස බයිබලයේ හා සමකාලීන වර්තාවල සදහන් වේ. සිය පිය රජු ගේ සැබෑ නොවූ සිහිනයක් වූ යෙහෝවා දෙවියන් වෙනුවෙන් දේව මන්දිරයක් ගොඩනැගීම මේ රජු විසින් ඉටු කරමින් අත්‍යාලංකාර දේව මාළිගාව ජෙරුසලම් නුවර ගොඩ නගන මේ රජු දාර්ශනිකයකු වූ අතර ඔහු ගේ නඩු විසදීම් ඉන්දියානු පාලි ජාතක සාහිත්‍යයේ එන මහෞෂධ පඩිතුමා ගේ යුක්තිය පසැදීම් හා සමාන වේ. රජු ගේ ප්‍රඥාව ගැන අසා ඔහු පරීක්ෂා කිරීමට සූඩාන් දේශයේ ෂීබා නම් අප්‍රිකානු රැජිණ පැමිණෙන අතර ඇය ඔහු පිළිබඳව පැහැදී තම රාජ්‍යය ද ඔහුට පුදා තමාද ඔහු ගේ මෙහෙසිය වේ. මේ සාලමොන් රජු ගේ අනෙක් විශේෂතාවය නම් ඔහු සිය දේශයේ විශ්වාසය වූ යෙහෝවා දෙවියන් අවසන් සමයේ ප්‍රතික්ෂේප කොට තම දාර්ශනික මාවතේ ගමන් කිරීමයි. මේ නිසා ඔහුගෙන් පසු ඔහු ගේ පුතා වූ රෙයුබෝවම් රජු ට එරෙහිව ඊශ්‍රායල් වරු යෙරොබෝවම් නම් වෙනත් අයෙක් රජු ලෙස පත් කර ගෙන කැරළි ගැසීමයි. මේ අර්බුද නිමා වෙද්දී ඊශ්‍රායලය ජුදා හා අනෙක් ගෝත්‍ර 11 ලෙස කොටස් දෙකක් වේ. ගෝත්‍ර 11 ක්‍රමයෙන් නැති වී යයි. මුලින්ම බෙන්ජමින් ගෝත්‍රය නැති විය. අවසානයේදී පිරිසිදු ඊශ්‍රායල්වරු ලෙස ඉතිරි වූයේ ජුදෙව්වන් පමණි. සෙසු ගෝත්‍ර අනිත් ජන වර්ග හා මිශ්‍ර වී නෂ්ටප්‍රාප්ත විය. ජුදෙයාව ජෙරුසෙලම අගනුවර කරගෙන පැවතුනු අතර අනෙක් කොටස වෙන් වී තිබිණි. ජුදයාව අධ්‍යාත්මිකව පිරිහී ගිය අතර නොයෙක් දිවැසිවරයන් විසින් ජනතාව සුමගට ගැනීම සදහා ක්‍රියා කළහ. එලිජා, එලිෂා, යෙසායා, යෙරමියා මේ අතුරින් කැපී පෙනේ. මෙකල ඇතැම් ජුදෙව්වන් අවට රටවල ඇදහූ සශ්‍රීකත්වයේ දෙවියන් වූ බාල් දෙවියන් ඇදහීමට නැඹුරු වූහ. මෙසේ ක්‍රමයෙන් දුර්වල වූ ඊශ්‍රායලය / ජුදයාව ලෝකයේ නැගී ආ බලවත් අධිරාජ්‍යයක් වූ බබිලෝනිය විසින් ආක්‍රමණය කරන ලදී. එහිදී ජෙරුසෙලමේ දෙව් මැදුර බිමට සමතලා කරන බබිලෝනියන්වරු ජුදෙව්වන් වහළුන් ලෙස බබිලෝනිය ට රැගෙන ගියහ. එහිදී ජුදෙව්වන් අතරින් බිහි වූ එසකියෙල්, ඩැනියල් ආදී දිවැසිවරු බබිලෝනියන් රජු වූ නෙබුචැඩ්නෙසzර් ගේ ප්‍රසාදය දිනා ගනී. පාලු රටක් වී වැනසුනු ජුදෙයාව යළි ගොඩ නැගෙන්නේ බබිලොන් රජු ගේ අවසර ලැබ එස්රා, නෙහෙමියා ආදී පූජකයන් විප්‍රවාස ගතව සිටි යුදෙව් සෙනග රැගෙන යළි පෙරළා යුදෙයාවට පැමිණ දෙව් මැදුර යළි ඉදි කර පුද පූජා ඇරඹීමෙන් පසුයි. එහෙත් පසුව මහා බබිලෝනියන් අධිරාජ්‍යය වැටී ගියද ක්‍රමයෙන් නැග ආ සිරියා – ඇසිරියා බලය, මේදියන් – පර්සියන් බලය හා අනතුරුව ග්‍රීක් බලය මැද පෙරදිගට පැමිණීමත් සමග ජුදයාව හෙලනික් අධිරාජ්‍යවාදයට නතු විය. ව්‍යවහාර වර්ෂ 1 වන සියවස වන විට මෙහි වැඩී තිබුණේ එවක කලාපයේ බලවත්ම රාජ්‍යය වූ රෝම අධිරාජ්‍යයේ සීසර් වරුන් ගේ පාලනයයි. ජුදෙයාව ඇතුලු තත්කාලීන රටවල් රෝම යටත් විජිත වූ අතර රෝම ආණ්ඩුකරුවන් යටතේ ඒ රටවල් පැවතිනි. රෝම ආණ්ඩුකරු ට සහය දෙමින් දේශීය රජ පැලැන්තියක් ද වූ අතර ජුදයේ මහා හෙරෝද් නම් රජු ස්වදේශීය රජු වූ අතර පිලාත් නම් රෝමන් ආණ්ඩුකරු ඔගස්ටස් සීසර් ගේ නියෝජිතයා විය. ජුදෙව් පූජක පැලැන්තිය දෙව් මැදුරෙන් නඩත්තු වූ අනෙක් බලවත් පක්ෂය විය. කයාෆස් ඔවුන් ගේ නායක පූජකයා විය. මේ ඊශ්‍රායලයේ මුල් රජුන් ගෙන් සියවස් 10 ට පසු තත්වයයි.
ඡායාරූපය :
ඊශ්‍රායලයේ ජෙරුසෙලමේ ඉපැරැණි දේව මාළිගයෙහි ඉතුරුව ඇති භිත්තිය අසල ටෝරා ග්‍රන්ථ පෙරළා ගෙන ආගමික කටයුතු වල නිරත වන යුදෙව් ප්‍රජාව
මෙහි සදහන් වූ ෆේස්බුක් දහම් පිටුව සිංහල පේජය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය වූ The Doctrine Page වලට,
ඔබට මේ SL_Media.Hub වෙබ් අඩවියේ Astrological Tips යටතේ වූ ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 5 වන පරිච්ඡේදය ) ලිපිය අග පළ කර ඇති ලින්ක් / සබැදීන් ඔස්සේ යා හැක


