SL Media Hub

SL Media Hub - Header

ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 10 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ

විෂ්ණු දෙවියන්හින්දු දේව විශ්වාසයේ ( Hindu Mythology ) එන දිව්‍ය ත්‍රිත්වයේ එක් දේවත්වයකි විෂ්ණු දෙවියන්. මේ හින්දු දිව්‍ය ත්‍රිත්වයට පදනම් වූ දර්ශනය නම්;විශ්වයේ සිදුවන ගොඩනැගීමේ ක්‍රියාවලිය බ්‍රහ්ම නමින් හදුන්වා, මහා බ්‍රහ්ම ලෙස එය දේවත්වයට නගා ඇත. විශ්වයේ සිදුවන ගොඩ නැගුන පැවැත්මේ ක්‍රියාවලිය විෂ්ණු නමින් හදුන්වා, මහා විෂ්ණු ලෙස එය දේවත්වයට නගා ඇත. විශ්වයේ සිදුවන ගොඩ නැගී පැවතීම බිද වැටිමේ ක්‍රියාවලිය ශිව නමින් හදුන්වා, මහා ශිව ලෙස එය දේවත්වයට නගා ඇත. මේ දර්ශනයට අනුව ඒ ඒ දේව සංකල්පයට අනුකූලව හැසිරෙන අරුතින් දේව නිකායේ දෙවිවරු කිහිප දෙනෙකු මේ ත්‍රිත්වයෙහි ස්ථාන ගැන්වීම හින්දු සමයෙහි සිදු වී ඇතැයි පෙනේ.ඒ අනුව මෙහිදී මේ හින්දු බ්‍රහ්ම අයත් වන්නේ බෞද්ධ සන්ධර්භයෙහි එන බ්‍රහ්ම කාණඩයට නොව දේව කාණඩයට බව තේරුම් ගත යුතුය.හින්දු සමය අනුව මහා බ්‍රහ්ම දෙවියන් ගේ පතිනියන් ලෙස සරස්වතී දෙවගන ( සාහිත්‍යය හා කලාවට අධිපතිනි ) සහ ශ්‍රී කාන්තා දෙවගන ( සෞභාග්‍යයට අධිපතිනි ) විවිධ ලෙස සදහන් වේ.දෙවියන් නියෝජනය කරන වර්ණය පීත ( කහ ) වර්ණය වේ.පියුමක් ආසනය කොට සිටින සමෘධිමත් පඩිවරයකු ගේ වේශයෙන් නිරූපණය කෙරේ. මේ අයුරින්ම මහ විෂ්ණු දෙවියන් සම්බන්ධයෙන් එතුමන් ගේ පතිනිය ලෙස ලක්ෂ්මි දෙවගන ( ධනයට අධිපතිනි ) දැක්වේ.දෙවියන් නියෝජනය කරන වර්ණය නීල ( නිල් ) වර්ණය වේ.රූපනයෙන් නිරූපණය කරන විට නිල් පැහැ සිරුරින් හා යානය ලෙස ගුරුළු යානයෙන් දක්වා ඇත. එසේම විෂ්ණු දෙවියන් ගේ කාර්‍ය භාරය සම්බන්ධයෙන් හින්දු සමයෙහි එන ප්‍රධාන කරුණක් වන්නේ දස අවතාර සංසිද්ධිය යි.මනුලොව ධර්මය යටපත් වී අධර්මය ඉස්මතු වන විට මහා විෂ්ණු දෙවියන් ඒ ඒ යුගයෙහි දිව්‍ය අවතාර ඔස්සේ ඉදිරිපත් වූ ( මෙතැනදී ඇත්තටම ගත යුත්තේ ඒ ඒ යුගයේ දිව්‍යමය අභිප්‍රාය ඉටුවීම ලෙසයි ) බව හින්දු විශ්වාසයයි. මෙයින් අදහස් වන්නේ ඒ ඒ යුගයේ ධර්මය ස්ථාපනය කිරීමෙහි ලා හේතු වන අවස්ථා වලට විෂ්ණු දෙවියන් ගේ මැදහත් වීමකි. පසුබිම සැකසීමකි.මේ දස අවතාර මෙසේයි1. මත්ස්‍ය අවතාරය (Matsya) – මාලු හැඩයෙන්2. කූර්ම අවතාරය (Kurma) – කැස්බෑ හැඩයෙන්3. වරාහ අවතාරය (Varaha) – දොඹරා (ඌර) හැඩයෙන්4. නරසිංහ අවතාරය (Narasimha) – අර්ධ මනුෂ්‍ය / අර්ධ සිංහ5. වාමන අවතාරය (Vamana) – කුඩා බාල බ්‍රාහ්මණයෙක් 6. පරශුරාම අවතාරය (Parashurama) – කඩුවක් (පරශු) සහිත යෝධයෙක් 7. රාම අවතාරය (King Rama) – රාම රජු 8. කෘෂ්ණ අවතාරය (God Krishna) – කෘෂ්ණ දෙවි 9. බුද්ධ අවතාරය (Lord Buddha) – බුදුන් වහන්සේ10. කල්කි අවතාරය (Kalki) – ඉදිරියේ පැමිණෙන බව කියන අවසාන අවතාරය මහ ශිව දෙවියන් සම්බන්ධයෙන් එතුමන් ගේ පතිනිය ලෙස පාර්වතී හෙවත් දුර්ගා දෙවගන ( ගෘහස්ත ජීවිතය හා ආදරයට අධිපතිනිය වේ ) දැක්වේ.දෙවියන් නියෝජනය කරන වර්ණය රක්ත ( රතු ) වර්ණය වේ.දිවි සමක් හැද, මිහිගු බෙරයක් සැරයටියේ මුදුනෙහි රදවා, ගවයකු යානය කොට සිටින ග්‍රාමීය තවුසකු ගේ වේශයෙන් නිරූපණය කෙරේ.මේ දේවත්වයන් පිළිබදව අපි හින්දු සමය යටතේ තව දුරටත් සලකා බලමු. මේ අවස්ථාවේ දී අප බලන්නේ බෞද්ධ සන්ධර්භය තුළ මේ දේවත්වයන් කෙසේ ඇතුලත් වී ඇත්ද යන්නයි.එතැනදී සාපේක්ෂව ඉස්මතු වන්නේ මහා විෂ්ණු දෙවියන් වේ.එයට හේතුව බෞද්ධ සාහිත්‍යය තුළ පරිනිර්වාණ මංචකයේ දී අප මහා තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේ ලංකා ද්වීපයේ දී බුද්ධ ශාසනය රැකීම සදහා වූ දේව මැදහත්කරුවකු වන ලෙස විෂ්ණු දෙවියන්ට දැනුම් දීමක් කළ සේකැයි සදහන් වීමයි. බුද්ධ ශාසනයේ පැවැත්ම යනු භාග්‍යවතුන් වහන්සේ ගේ බුද්ධත්වය තුළින් ලැබුණු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු මහා ශ්‍රාවකයන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදිවූ වෙහෙර විහාරාම ආදී බෞද්ධ ජනතාවට වන්දනා මාන කොට කුසල් රැස් කර ගැනීම සදහා වූ ලොව පුරා වූ සිද්ධස්ථාන පද්ධතිය, පර්‍යාප්තිය ලෙස අතීතයේ භානක පරම්පරා ඔස්සේ පවත්වාගෙන අවුත් පසුව පුස්කොළ ග්‍රන්ථ ලෙස ග්‍රන්ථාරූඨ කොට, ඉනුත් පසුව මුද්‍රිත මාධ්‍යයෙන් හා විද්‍යුත් මාධ්‍යයෙන් මේ වන විට භාවිතා වන ශ්‍රී සද්ධර්මය, ඒ අනුව ප්‍රතිපත්තිය පුරා ප්‍රතිවේදය පිණිස යොමු වූ ඒ ආර්‍ය මහා සංඝරත්නය හා උන්වහන්සේලා පෝෂණය කරන ලෝකවාසී බෞද්ධ ප්‍රජාව යන මේ ප්‍රස්තූතයන් ගේ ආරක්ෂාව හා රැකවරණයයි. මේ රැකවරණය සැලසෙන ආකාර ගතහොත් පළමු කරුණ වන්නේ බුදු හිමි වදාළ පරිදිම යම් තාක් කල් සිව් වනක් පිරිස ( භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා ) ශ්‍රද්ධාවෙන් සමගි සම්පන්නව සසුන් කාර්‍යය ඉටු කරයි නම් ඒ තාක් සසුන නිර්මලව ආරක්ෂිතව පවතින බවයි. එසේම මෙහිදී ඉස්මතු වන්නේ ශාසන ධර්මයේ ඇති සත්‍ය බව නිසාම එය ස්වභාව වශයෙන්ම ඒ ආරක්ෂාවෙහි පිහිටීම සැලසෙන බවයි.යම් කලෙක සසුනෙන් ප්‍රයෝජනය ලබන්නන් තුනී වෙත් ද සසුන අන්තර්ධානය වීම සිදුවේ.මේ අතර කාලය සැලකූ විට රජයන් විසින් බුදු දහම සම්බන්ධයෙන් ඇති ඓතිහාසික පදනම සලකා හා බෞද්ධයන් සදහා අනුග්‍රහය පිණිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මගින් එහි ආරක්ෂාව හා පැවැත්ම වෙනුවෙන් තහවුරු කිරීම් සිදු කරයි.ශාසන මාමක බෞද්ධ ක්‍රියාකාරිකයන් ගේ උත්සාහයන් නිසා සසුනේ ආරක්ෂාව පිණිස කටයුතු සැලසේ.අධ්‍යාත්මික ක්ෂේත්‍රීය වශයෙන් සම්‍යක් දෘෂ්ඨික දේව මැදිහත් වීම් ද සසුනේ ආරක්ෂාව සලසයි. ලංකා ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති දේව පෞරුෂයන් අතර විෂ්ණු දෙවියන් ගේ ඉස්මතු වීම සැලකිය යුත්තේ ද ඒ අර්ථයෙනි. මේ ආකාරයට ලැබෙන සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් ගේ ආරක්ෂාව පිළිබදව යම් අදහසක් ලක් සසුනේ ඉතාම වැදගත් සිද්ධස්ථාන ගණනක් කිසිදු මිනිස් මැදිහත් වීමකින් තොරව ඈත අතීතයේ මෙන්ම පසුගිය සියවසේ සහ මෑත ඉතිහාසයේ ආරක්ෂා වූ ආකාරය සලකා බලන විට අපට ලබා ගත හැක. අප රටේ ඈත අතීත ඓතිහාසික පර සතුරු ආක්‍රමණ වලදී අද්විතීය පූජනීය සිද්ධස්ථාන ආරක්ෂා වූ ආකාරය, මෑත ඉතිහාසයේ යටත් විජිත යුගයේ මෙන්ම ආසන්න වකවානුවල ත්‍රස්තවාදී බලපෑම් තිබූ කාල පරිච්ඡේදයේ පවා අප රටේ ඉතාම වැදගත් සිද්ධස්ථාන වල පූජනීය බවට කිසිදු හානියක් නොවී ආරක්ෂා වූ ආකාරය අධ්‍යයනය කරන විට ඒ ඒ ස්ථානවල තැන්පත් කෙරුනු අති උත්තම පරම පූජනීය ධාතූන් වහන්සේලා ගේ ආනුභාව මෙන්ම සැලකිය යුතු තරම් සාක්ෂි ඊට පරිවාරව සැලසී තිබූ දිව්‍ය ආරක්ෂාව පිළිබදව ද හමුවේ.මනුෂ්‍යයාට මැදිහත් විය නොහැකි තැන දී ශාසනය ආරක්ෂාව වෙනුවෙන් දෙවියන් පෙනී සිටින බව අපට ඉතා පැහැදිලි ය.පින්තූරය : විෂ්ණු දෙවියන් පිළිබදව ගවේෂණාත්මක ලිපියක් සදහා සුදුසු පින්තූරයක් ඉල්ලූ විට Chat GPT ලබා දුන් සිතුවම

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top