SL Media Hub

SL Media Hub - Header

ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 12 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ

ස්කන්ධ දෙවිදුන්

ස්කන්ධ දෙවියන් පිළිබදව පුරා වෘත්තය අනුව එතුමාද මෙරටට සම්ප්‍රාප්ත වූ දෙවියෙකි.

හින්දු සමයෙහි දැක්වෙන්නේ ඊශ්වර / ශිව දෙවියන් සහ පාර්වතී දෙවගන ගේ දරුවන් තිදෙනා වූ මහේෂ, ගනේෂ, අයේෂ තිදෙනා ගෙන් මහේෂ යනු මේ දෙවියන් බවයි.
පසුව ශ්‍රී ලංකාවට සැපත්ව කතරගම වාස භූමිය කොටගත් බැවින් කතරගම දෙවියන් ලෙසත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන් රැසක් මේ දෙවියන් වන්දනා මාන කර ඇති බැවින් ලංකා රාජ්‍යයේ පාලනයට ආශීර්වාද කරන එහි ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින දෙවි කෙනෙකු වශයෙන් මහසෙන් දෙවි ලෙසත් නම් කිහිපයකින් හැදින්වේ.

යුද්ධයට අධිපති දෙවියකු ලෙස උතුරු ඉන්දීය හින්දු විශ්වාසයේ එයි. ස්කන්ධ නොහොත් ඛන්ධ දෙවි ලෙස නම් වන්නේ ඒ අනුවය. දකුණු ඉන්දීය දමිළ ආමන්ත්‍රණය අනුව මුරුගන් සාමි ලෙස නම් වේ.

දේවයානිය නොහොත් තේවානිඅම්මා ලෙස හැදින්වෙන්නේ ස්කන්ධ දෙවියන් ගේ පළමු පතිනිය වූ දෙවගනය.
ඇය ඉන්ද්‍ර දෙවියන් ගේ නැගනිය ලෙස සදහන් වේ.
පසුව ලක් පොළොවේ කතරගම මැණික් නදිය අසබඩ වැඩිහිටි කන්දේ දී එතුමන් ට හමුවන වල්ලී නම් ග්‍රාමීය වැදි තරුණිය ද සරණ පාවා ගත් මේ දෙවියන් ශ්‍රී ලංකාවට ආශීර්වාද කරන දෙවි කෙනෙකු ලෙස ස්ථාපනය වේ.

( මේ දෙවියන් ගේ සහෝදරයන් වන අනිත් දෙවිවරු දෙදෙනාගෙන් එක් සොහොයුරකු ගණ දෙවි ( ඇත් හිස හා මී යානය සහිතව නිරූපණය කෙරේ ) ලෙස උතුරු ඉන්දියාවේ ද සහ අනික් සොහොයුරා අය්යර් දෙවි ( ව්‍යාඝයන් විසින් පිරිවරන ලද කුමාරයකු ලෙස නිරූපණය කෙරේ ) ලෙස දකුණු ඉන්දියාවේ ද නැමදේ )

හින්දු හා හෙළ ජන ස්‍රැති අනුව කියැවෙන ඒ කතන්දර අනුව ගලපා ගන්නා ආරම්භක තොරතුරු අතරට ඊළගට එකතු වන්නේ රෝහණ රාජ්‍යයේ කිරුළු පැළද රජරට එවකට බලය අල්ලා සිටි විදේශික එළාර රජු හා යුධ වැදීමේ බලාපොරොත්තුවෙන් සිටි ගාමිණි අභය රජු ( යුවරජ ගැමුණු ) කතරගම දෙවිදුන් ගෙන් ආශීර්වාද ලැබීමේ පුවතයි.

රජරට ජය ගන්නා ලද පසු මහරජ ගැමුණු විසින් කතරගම දෙවිදුන් උදෙසා දෙව් මැදුර කතරගම තැනවූ බවත් එය එතැන්සිට හෙළයේ පහළ වූ රජවරු විසින් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පැවතෙන බවත් දැක්වේ.

මුහුණු සයක්, අත් දොළොසක්, මොණර යානය සහිතව නිරූපණය කෙරෙන කතරගම දෙවිදුන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව, දමිළ හින්දු ජනයාත්, ආදි වාසික වැදි ජනයාත් විසින් භේදයකින් තොරව නැමදෙන දේව චරිතයකි.

තවත් දැක්විය යුතු විශේෂ කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා අතරද කතරගම දෙවියන් යනු ඔවුන් ගේ ආගමික සන්ධර්භයෙහි ඇතුලත් අල් කහ්දීර් තුමා බවට සැලකීමක් ඇත. ( ඉස්ලාම් දහමේ අල් කුරාන් හි අල් කහ්දීර් පිළිබදව ඇතුලත් වේ )

මේ නිසා කතරගම පූජා භූමිය ආශ්‍රිතව සියලු ආගමික සිද්ධස්ථාන ඇති අතර බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ආදි වාසී ජනයා, මේ සියලු පාර්ශවයන් කතරගම පූජා උත්සව සදහා සම්බන්ධ වෙති.

ඒ අරුතින් ජාතික හා ආගමික සමගිය ඓතිහාසිකවම නිරූපණය කරන පුද බිමක් ලෙස කතරගම ගෞරවයට පත් වේ.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top