SL Media Hub

SL Media Hub - Header

සත්‍යයේ සුගන්ධය ( 2 අදියර 10 පරිච්ඡේදය )සුරත් චාමර විදානපතිරණ

සත්‍යයේ සුගන්ධය SL_Media.Hub තුළින් මේ දක්වා කියවූ ඔබ මෙතෙක් පසු කර ආ පරිච්ඡේද 1 – 6 දක්වා පෙළ ගැසෙන්නේ සත්‍යයේ සුගන්ධය – 1 අදියර ලෙසය.

එහි වූයේ මා විසින් සිදු කළ විද්‍යාත්මක ගවේෂණය යි.

පරිච්ඡේද 7 සිට, 8 සහ 9 ත් දැන් ඔබ කියවන මේ 10 වන පරිච්ඡේදයත් ඔස්සේ ඉදිරියට දිගහැරෙන්නේ සත්‍යයේ සුගන්ධය – 2 අදියර යි.

2 වෙනි අදියර යටතේ විස්තර වන්නේ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය යි.

ඒ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය තවදුරටත්….

10 පරිච්ඡේදය – ක්‍රිස්තියානි බයිබලයේ ග්‍රන්ථ මගින් ඉදිරිපත් කරන ඉතිහාසය

ලෝකවාසී කිතුනු ප්‍රජාව මූලික වශයෙන් සම්ප්‍රදායිකව ඉතාලියේ රෝමය මූලික කරගත් කතෝලික සභාව සහ යුරෝපයේ පුනරුදය යුගයේ සම්ප්‍රදායික සභාවෙන් වෙන් වී ප්‍රතිසංස්කරණය වූ ප්‍රොතෙස්තන්ත සභාවන් ලෙසත් ප්‍රධාන කොටස් දෙකකි.

කිතුනු බයිබල් අතර මේ අනුව ග්‍රන්ථ අනුපිළිවෙල, ග්‍රන්ථ සංඛ්‍යාව හා අන්තර්ගතයෙහි වෙනස් කම් ඇතත් මූලික වශයෙන් පොදුවේ ලෝකයේ සියලු බයිබල් තේමාව අනුව එකක් වේ.

මේ සදහා මම මා විසින් රචිත ෆේස්බුක් දහම් පිටුවෙහි

දහම් පිටු 779 – 2 අදියරේ 6 වන උප අදියරේ හි කොටස් 1 සිට 5 දක්වා පිටු ඉදිරිපත් කරමි.

දහම් පිටුව 779 – 2.6.1

කීර්තිමත් යුගය අහිමි වූ ජුදා රට සියවස් ගණනක් බලා සිටියේ තමන් යළි කලාපයේ බලවත් තැනක තැබිය හැකි පාලකයකු/ගැලවුම්කරුවකු එන තුරුයි. මෙසියා / ක්‍රිස්‍තුස් යන ආමන්ත්‍රණයෙන් ගැලවුම්කරු ගැන අනාවැකි ලියූ දිවැසිවරු ඔහු ගේ ආගමනය දේශයේ සාමය හා විමුක්තිය උදා කරන බව කීහ. ඒ පුරෝකතනය හා ගැලපුනු එක් පුද්ගලයකු ගේ ආගමනයෙන් ජුදෙයාවේ මහා ආධ්‍යාත්මික විප්ලවයක් සිදු විය. එහෙත් ජුදෙව්වන් බලාපොරොත්තු වූ පරිදි එතුමා රෝම බලය හා සටන් කොට ඔවුන්ගේ දේශය ගලවා ගත්තේවත්, ඔවුන්ගේ පෙර තිබූ දේශපාලනික, ආර්ථික සෞභාග්‍යය යළි ඇති කළේවත් නැත. එහෙත් ජුදෙව්වන් හා සියලු ලෝකවාසී මනුෂ්‍යයන් සුමගට ගෙනියන එකිනෙක්කෙනාට කාරුණික වන සහෝදරත්වයේ දහමක් එතුමා ඉගැන්වීය. එදා ජුදයාවේ සියලුම අංශවල අවධානය එයට යොමු විය. බොහෝ දෙනෙකු ගේ ජීවිත වෙනස් වී සතුට හා සැනසීම ඇති විය. එහෙත් එය ප්‍රතික්ෂේප කළ බහුතර ජුදෙව්වන් එතුමා ට එරෙහිව ගොස් අවසානයේ එතුමා ඝාතනය කරනු පිණිස කුරුසියේ ඇණ ගැසූහ. තමන් ගේ මෙසියස් / ක්‍රිස්තුස් ඔහු නොවේ යැයි අදත් කියන යුදෙව්වන් එතුමා ගේ සම්ප්‍රාප්තිය දක්වා ඇති සිය ඉතිහාසය පිළිගන්නා අතර එතුමා ගෙන් පසු යුගය ප්‍රතික්ෂේප කරයි. මෙසේ ඔවුන්ගේ ටෝරා ග්‍රන්ථ වල එතුමා ප්‍රතික්ෂේප කරන අතර ඒ නිසා එතුමා ගේ අනුගාමිකයන් විසින් නව ගිවිසුම ලෙස එතුමා පිළිබඳව කොටස පැරණි ගිවිසුමට පසු එකතු කරගෙන ක්‍රිස්තියානි බයිබලය ගොඩ නගා ගත් හ. ක්‍රිස්තියානි ජනතාවට එතුමා පොරොන්දු වූ ගැලවුම්කරු හා ආලේපලත් තැනැත්තා / මෙසියස් හෝ ක්‍රිස්තුස් වේ. මේ කතා කළේ ජුදයාවේ ගලීලයේ නාසරෙත් නුවර විසූ තරුණ අවිවාහක වඩු කාර්මිකයකු වූ ජෝෂුවා හෙවත් ජේසුස් වහන්සේ පිළිබඳව යි.

දහම් පිටුව 779 – 2.6.2

ජුදයාවේ මළ මුහුද අසල ගලීලයේ නාසරෙත් නම් නුවර ජෝසප් හා මරියා නම් ධාර්මික යුවළක් විසූහ. ඔවුන් ජීවත් වූයේ වඩු කර්මාන්තයෙනි. ඔවුන් ගේ පුතා ලෙස සියලුදෙනා විසින් දැන සිටි ජේසුස් කුඩා කළ සිට ආදරණීය දක්ෂ දරුවෙකි. මහත් ප්‍රඥාවන්ත භාවයක් කුඩා කළ සිට පිළිබිඹු කළ ජේසු දක්ෂ ලෙස වඩු වැඩ ඉක්මනින් උගත්තේය. එසේම ඔහු ගේ කතා වලින් සියලුදෙනා විශ්මයට පත් වූහ. වරක් ජෙරුසෙලමේ වාර්ශික මංගල්‍යය ට සිය පවුලේ අය කැටුව ගිය ජේසුස් ( එවකට දාහතර වන වියේ පමණ ) සිය පවුලේ අයගෙන් මගහැරී දෙව් මැදුරට පැමිණී එහි සිටි උගත් පූජකයන් සිය ප්‍රශ්න ඇසීමෙන් නිරුත්තර කොට විශ්මයට පත් කළහ. දෙමාපියන් ඔහු සැමතැනම සොයා අවසානයේදී දේව මාළිගාවෙහි දැක ‘ ඔහු නොදැක ඔවුන් බොහෝ කරදර වූ බව ‘ කී විට ” මා මෙහි සිටිය යුතු බව ඔබ නොදන්නේද ! ” යි දෙමාපියන් ගෙන් පෙරළා අසා අධ්‍යාත්මික ගවෙෂනයට තමන් තුළ වූ කැපවීම විදහාලීය. ඉන්පසු බයිබල් වාර්තා වල ජේසුතුමා ගේ ජීවිතය අව්රුදු 16 – 30 දක්වා විශේෂ විස්තරයක් නොමැති නිහඩ කොටසකි. එතුමන් සිය දෙමව්පියන් ට සහාය වෙමින් නාසරෙත් හි විසූ බවයි කෙටියෙන් දැක්වෙන්නේ. ක්‍රිස්තියානි ලෝකය විශ්වාස කරන්නේත් එසේය. නමුත් කිතු දහමේ විෂයට පරිබාහිරව ජේසුතුමා ගේ චරිතය හා බොහෝ ගැලපෙන පුද්ගලයකු ගේ සාක්ෂි ටිබෙට්, උතුරු ඉන්දියානු හා කාශ්මීර ප්‍රදේශයන් අනාවරණය වේ. මැද පෙරදිග සිට සේද මාවත ඔස්සේ පැමිණ එවකට පෙරදිග ලෝකයේ දීප්තිමත් ව බැබලුනු බෞද්ධ දර්ශනයේ ආලෝකය ගවේෂණය කරමින් බෞද්ධ ආශ්‍රමයන්හි වෙසෙමින් සිය අධ්‍යාත්මික ගවේෂණය සපුරා ගත් ජෝෂුවා / යුස් අසාෆ් නමින් වාර්තා වන ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ගේ චාරිකා පිය සටහන් සාක්ෂි එකී ආශ්‍රමවල වාර්තා වූ තොරතුරු ලේඛණ අදත් පුරාවිද්‍යාත්මක ගවේෂණය උදෙසා විවෘතව පවතී. මේ පිළිබඳව බොහෝ පර්යේෂණ සිදු කර ඇති බැවින් උනන්දුවක් දක්වන පාඨකයාට අන්තර්ජාලයෙන් හා පුස්තකාල මගින් ප්‍රමාණවත් තරම් තොරතුරු සොයා ගත හැක.

දහම් පිටුව 779 – 2.6.3

පෙරළා ගලීලය බලා පැමිණි ජේසුස් වහන්සේ ජෝර්දාන් ගංගා තීරයේ වෙසෙමින් මිනිසුන්ට කළ වැරදි ගැන පසු තැවී දෙවියන් ගේ රාජ්‍යයට ඇතුල්වන්න යැයි දේශනා කළ දේශකයකු ගේ දෙසුම් ඇසීමට ගියේය. ස්නාවක ජොහාන් ( John The Baptist ) නමින් දැක්වෙන මේ දේශනාකරු ගේ විස්තර අනුව ඔහු තවුසෙකු හා සමාන වේ. වනයේ වෙසෙමින් ඉතා අල්පේච්ඡ දිවියක් ගත කළ ඔහු ගේ ඍජු දෙසුම් ජුදා සමාජයේ වැරදි හෙළි කොට නිවැරදි කිරීමට එල්ල වූ අසිපත් ප්‍රහාර බදු විය. ඔහු විසින් මනුෂ්‍යයන් ට සිය ජීවිතය වෙනස් කර ගැනීමට ඇරයුම් කොට එය සංකේතවත් කිරීමට සිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ජෝර්දාන් ගංගාවේ ගිල්වා උඩට ගත්තේය. මෙය බෞතීස්මය නමින් හැදින්විනි. ජේසුස් වහන්සේ ද මේ ජොහාන් වෙතින් බෞතීස්මය ලැබීය. ඉතා පැහැදිලි ලෙස අදහස හා ක්‍රියාව සමාන වුවත් හින්දූන් ගංගා ජලයේ ගිලී පව් සෝදා හැරීමත්, මේ කිතුනු බෞතීස්ම චාරිත්‍රයත් අතර සමානකම දැකීමට හින්දු හා ක්‍රිස්තියානි දෙපිරිසම අපොහොසත් විය. මැද පෙරදිගින් සාමාන්‍යයෙන් හමු නොවන තවුසකු ගේ වාර්තාව, බෞතීස්මය හා ජේසුස් වහන්සේ ඔහු ගේ ඇසුරින් සිය ප්‍රසිද්ධ දේශනා ජීවිතය ඇරඹීම මේ කතාවේ පෙරදිගට ඇති සම්බන්ධය පෙන්වන අගනා සාධක වේ. ඉන්පසු ජේසුස් වහන්සේ සිය ප්‍රසිද්ධ දේශනා ජීවිතය ඇරඹූ සේක. බයිබලයේ අලුත් ගිවිසුමේ ශුභාරංචි පොත් වලින් උන්වහන්සේ ගතකළ අල්පේච්ඡ සැහැල්ලු ජීවිතය, ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපූරු දේශනා, සිදු කළ අසිරිමත් ක්‍රියා දැන ගත හැක. පර්යේෂකයන් විසින් ජේසුස් වහන්සේ ගේ දේශනා හා ඊට සියවස් පහකට කලින් ලියැවුනු ත්‍රිපිටකයේ සූත්‍ර අතර ඇති සමාන අදහස් හා කරුණු වල ගැලපීම් රැසක් විශිෂ්ඨ ලෙස පෙන්වා දී තිබේ. සංස්කෘතික වැස්ම ඉවත් කළ විට දීප්තිමත් ලෙස සත්‍යයේ එකම ස්වරය බුදුරජාණන්වහන්සේගේ දේශනා හා ජේසුස් වහන්සේ ගේ දේශනා තුළින් විද්‍යාමානවනු මා පෞද්ගලිකවම දැකගත් දෙයකි. දුගියා පෙළා වැජඹුනු ජුදා පාලක පක්ෂය හා ඔවුන්ට සහාය වූ පූජක පක්ෂය විවේචනයට ලක් කළ ජේසුස් වහන්සේ ඔවුන් ගේ ආගමික ක්‍රියාවල ගැබ්ව ඇති යථා අරුත පෙන්වමින් බාහිර අරුතින් ඔවුන් කරමින් සිටි ක්‍රියාවල වැරදි පෙන්වනු ලැබීය. මෙසේ ඔවුන් විසින් ජේසුස් වහන්සේව කෙටි කලකින් තම සතුරෙකු ලෙස සැලකීමට ගත් අතර උන්වහන්සේ නැසීමට කුමන්ත්‍රණය කළහ. ජේසුස් වහන්සේ ට ප්‍රධාන අනුගාමිකයන් 12 කු විය ( සයිමන් පේදුරු, ඇන්ඩෲ, ජාකොබ්, ජොහාන්, ෆිලිප්, බර්තොලමෙව්, මතෙව්, තෝමස්, ජාකොබ් අල්ෆේවුස්, කානානියන් සිමොන්, ජුදාස් ජාකොබ්, ජුදාස් ඉස්කාරියොත් ) ඔවුන් අතුරෙන් ජුදාස් ඉස්කාරියොත් උන්වහන්සේ විරුද්ධවාදීන් අතට පාවා දීමට තීරණය කර ගත්තේය.

දහම් පිටුව 779 – 2.6.4

මෙසේ ජේසුස් වහන්සේ අවසාන වරට ජෙරුසෙලම බලා පැමිණි අවස්ථාවේ එතුමා රජෙකු සේ පිළිගැනීමට සාමාන්‍යය පොදු ජනයා ක්‍රියා කළහ. ජුදෙයාවේ රජුන් සිටියදී පූජකයන් සිටියදී සාමාන්‍යය වඩුවකු වූ ජේසුස් වහන්සේ සිය රජු හා පූජකයා ලෙස හුවා දක්වමින් පොදු ජනයා ප්‍රීති ඝෝෂා කිරීම පාලක පූජක දෙපක්ෂය හා ඔවුන්ට ගැතිකම් කළ සියලු බලවේගවල වෛරය දෙගුණ තෙගුණ කළේය. ඒ මොහොතේ ජුදාස් ගේ සහය ඔවුන්ට ලැබුණි. සිය ගෝලයන් සමග අවසන් භෝජන සංග්‍රහය ගත් ජේසුස් වහන්සේ ඔවුන්ට එකිනෙකාට සහෝදරත්වයෙන් ප්‍රේම කිරීම නම් නව ආඥාවක් පනවා ඊශ්‍රායලයේ මෝසෙස් ලබා දුන් පරණ ගිවිසුම තමා අවලංගු කළ බවත් අද පටන් ඔවුන් එතුමා සමග නව ගිවිසුමක උරුමකරුවන් බවත් ඒ සදහා බිලි පූජාව ලෙස තමාම තම ජීවිතය පූජා කරන බවත් ඔවුන්ට ප්‍රකාශ කොට ජේසුස් වහන්සේ ගේ අනුගාමිකයකු වන්නට නම් එකිනෙකාට දයාවෙන් සේවය කළ යුතු බවත් පවසා ගෝලයන් ගේ පාද තමන්ම සෝදා නිහතමානී වීම පිළිබඳව ආදර්ශයක් දී ගෙත්සෙමන නම් උයනට වැඩියහ. එහිදී ආයුධ සන්නද්ධව පැමිණි ජුදෙව්වන් විසින් අවිහින්සාව පිළිබද දෙසූ, දහස් ගණනක් ජීවිත වලට සැනසීම ගෙනා ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගෙන කයාෆස් නායක පූජකයා වෙත රැගෙන ගියේය. එහිදී ජේසුස් වහන්සේ වෙතින් බොහෝ ප්‍රශ්න අසන ලදී. උන්වහන්සේ මේ දේවල් කළේ ජුදෙයාවේ පැවති ආගමික සම්ප්‍රදායයන් බිද දමමින් වීමත්, මනුෂ්‍යයකු වූ උන්වහන්සේ තමා දේව පුත්‍රයා ලෙස දැක්වීමත් අනුව ජුදෙව්වන් ගේ දෙවියන්ට අපහාසයක් සිදු වී යැයි ප්‍රකාශ කළ කායාෆස් එතුමා රෝම ආණ්ඩුකරු පිලාත් වෙත යවා ජුදෙව් ආගම සම්බන්ධ කාරණා වලින් ජේසුස් වහන්සේට මරණීය දණ්ඩනය පනවා ගත නොහැකි බැවින් උන්වහන්සේ රෝම රජයට විරුද්ධව ජනයා පෙළ ගස්වන්නේයයි බොරු චෝදනා කළහ. නමුත් නුවණැත්තෙක් වූ පිලාත් කාරණය වටහා ගෙන මෙය මග හැරීමට ක්‍රමයක් සොයන්නේ ජේසුස් වහන්සේ ගලීලයේ වැසියෙක් බව දැනගත් විට ජුදා හි ගලලයේ පාලකයා වූ කණිටු හෙරොද් රජු ජෙරුසෙලමේ පැමිණ සිටි බැවින් ඔහු වෙත යැවීය. හෙරොද් රජු බොහෝ ප්‍රශ්න ඇසුවත් ඔහුට කිසි පිළිතුරක් නොදුන් ජේසුස් වහන්සේ ආපසු පිලාත් වෙත එවන ලදී. පිලාත් ජේසුස් වහන්සේට කස පහර දී මුදා හැරීමට අදහස් කළේය. එහෙත් ජුදෙව්වන් ඉල්ලා සිටියේ උන්වහන්සේගේ මරණයමය. අන්තිමේදී ඍජු ප්‍රතිපත්තියක් නොවූ පිලාත් ජුදෙව්වන් ගේ අදහසට ඉඩ හැර කස පහර ගසා ලේ වැගිරෙමින් සිටි ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරා දැමීමට තීන්දුව දුන්නේය. කටු ඔටුන්නක් හිසට දමා ” රජුනි සැරදේ ! ” යැයි අවඥාවට ලක් කළ ජේසුස් වහන්සේ ගේ උර මත බර කුරුසය තබා මහාජනයාට ප්‍රදර්ශනය පිණිස ජෙරුසෙලමේ වීදි ඔස්සේ ඇවිද්දවමින් රෝම හේවායන් විසින් නුවරින් පිටත වූ කල්වරි ගොල්ගොතා නම් කදුගැටය වෙත ‍රැගෙනෙ එන ලදී. එහිදී උන්වහන්සේ කුරුසියට තබා ඇණ ගසා තවත් සැබෑ හොරු දෙදෙනෙකු මැදි කොට සිටුවන ලදී. උන්වහන්සේගේ කුරුසිපත් වීමට පසු නව ගිවිසුම අනුව බිලි පූජා අහෝසි වේ. ක්‍රිස්තියානි සභාව සහෝදර ප්‍රේමය මුල් කරගත් කණ්ඩායමක් ලෙස පැවතුනු අතර ඔවුන් ජුදෙව්වන් ගෙන් වෙන්වී ස්වාධීන කණ්ඩායමක් විය.

දහම් පිටුව 779 – 2.6.5

ජේසුස් වහන්සේ ගේ ආදර්ශය අනුව නව කණ්ඩායමක් ලෙස නැගී සිටි ප්‍රධාන ශ්‍රාවක පේදුරු ( Peter ) හා පසුව එක් වූ දේශක පාවුල් ( Paul ) යනාදී ප්‍රේරිතයන් ගේ නායකත්වයෙන් ඉදිරියට ආ කිතුනු සමාජය ජුදෙව් පීඩා හා තර්ජන හමුවේ නොසැලී පෙරටම ගියේය. ජේසුස් වහන්සේ ගේ පණිවිඩය ඔවුන් ගේ ජීවිත සතුටින් පිරවූ අතර ඔවුන් මධ්‍යධරණි ප්‍රදේශ, යුරෝපය, සුළු ආසියාව හා උතුරු අප්‍රිකාව හා මැද පෙරදිග ජේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් පතළ කළහ. ක්‍රමයෙන් රෝම අධිරාජ්‍යය තුළ කිතුනු සභා රැසක් බිහි විය. මේ තත්වය රෝම බලයට තර්ජනයක් ලෙස සැලකූ රෝම අධිරාජ්‍යයන් කිතු දහම පිළිබඳව පැවති දුර්මත සත්‍ය ලෙස පිළිගෙන ක්‍රිස්තියානින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස ප්‍රකාශ කොට අත් අඩංගුවට ගැනීමට පටන් ගත් හ. ( මේ තත්වය ඇතිවන විට ජුදයාව රෝම ආක්‍රමණිකයන් විසින් විනාශ කොට දේව මාළිගය යළිත් බිද දමා ඉතිරි වූ ජුදෙව්වන් පිටුවහල් කොට යුරෝපය පුරා නොයෙක් රටවලට යවනු ලැබ තිබුණි. ඊශ්‍රායලය ක්‍රමයෙන් යළි පලස්තීන්වරු ගේ ග්‍රහණයට නතු විය. ජෙරුසෙලමේ අද දක්වා ඒ බිද දැමූ දේව මාළිගාවේ පාදම / තාප්ප බැම්ම ඇත. ජුදෙව්වන් එහි ආ විට ඒ ඉදිරිපිට සිට ආගම සිහි කරති. ) ක්‍රිස්තියානින් ට එරෙහි රැල්ල අධික අවදියේ රෝම අධිකාරීන් ඔවුන්ට කෲර දඩුවම් ලබා දුන්හ. එකල කිතුනුවකු වීම විශාල අභියෝගයක් / ජීවිතය හැර මරණය තෝරා ගැනීමක් විය. රෝමයේ අලස ධනවතුන් ට කාලය ගෙවීම පිණිස රංග පීඨ වල මිනිසුන් හා සිංහ, ව්‍යාඝයන් ආදි භයානක තිරිසනුන් අතර සටන් ඇති කොට ඒවා බලා නින්දිත විනෝදයක් ලැබීමේ ක්‍රම බිහිව තිබිණි. රංග පීඨයේ සුව පහසු අසුනකට වී සිය කණ්ඩායම පිරිවරාගෙන මෙබදු කෲර විනෝද ක්‍රීඩා නැරඹූ ධනවතුන් ඒ සදහා විශාල මුදලක් වියදම් කළහ. අත් අඩංගුවට ගත් කිතුනුවන් ට අත් වූයේ මේ රංග පීඨවල යොදනු ලැබ කුසගින්නේ තබා සිට මුදා හරින සිංහයන්, ව්‍යාඝ්‍රයන් අතින් මැරුම් කා උන් ගේ ගොදුරු බවට පත් වීමටයි. සිය දහස් ගණන් අහිංසක කිතුනු ස්ත්‍රී පුරුෂ ළමා ළපටි ලෙයින් එක් කලෙක තෙත් වූ එදා රෝමයේ කොලීසියම් රංග පීඨයේ අදත් නිහඩව නැගී සිටින ගල් කුළුණු කොපමණ අනුවේදනීය දේ දුටුවේදැයි කිසිවකු නොදනී. එදා සේ අධ්‍යාත්මික ලෙස පොහොසත් වූ සැබෑම කිතුනුවන් ඉන් පසු ලෝක ඉතිහාසයේ සිටියේද ? යන පැනය පවා අප ඉදිරියේ වෙයි. වාර්තා වී ඇති පරිදි ඔවුන් කිසිදු චකිතයකින් තොරව ලොකු කුඩා සියලුදෙනා ගීතිකා ගයමින් දරුණු තිරිසනුන්ට මුහුණ දෙමින් අභීතව මිය ගියහ. ඔවුන් මරණයට පවා එසේ බිය නොවූයේ නිසැකවම ජීවිතයේ වැදගත් දෙයක් ඔවුන් දැන සිටි නිසා බව පැහැදිලි ය. ඒ කුමක්දැයි සෙවීම වර්තමානයේ ජේසුස් වහන්සේ දෙසූ මගින් පිට පැන සියවස් ගණනක් තිස්සේ බොහෝ දුර ගොස් සිටින බහුතරයක් කිතුනු සමාජය සෙවිය යුතුය.

සිතුවම –

ඊශ්‍රායලයේ කුඩා කන්දක් මත නැගී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පැවැත් වූ කන්ද උඩ දේශනාව

මෙහි සදහන් වූ ෆේස්බුක් දහම් පිටුව සිංහල පේජය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය වූ The Doctrine Page වලට,
ඔබට මේ SL_Media.Hub වෙබ් අඩවියේ Astrological Tips යටතේ වූ ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 5 වන පරිච්ඡේදය ) ලිපිය අග පළ කර ඇති ලින්ක් / සබැදීන් ඔස්සේ ‍යා හැක.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top