සත්‍යයේ සුගන්ධය SL_Media.Hub තුළින් මේ දක්වා කියවූ ඔබ මෙතෙක් පසු කර ආ පරිච්ඡේද 1 – 6 දක්වා පෙළ ගැසෙන්නේ සත්‍යයේ සුගන්ධය – 1 අදියර ලෙසය.
එහි වූයේ මා විසින් සිදු කළ විද්‍යාත්මක ගවේෂණය යි.
පරිච්ඡේද 7 සිට, 8,9,10, 11, 12 සහ 14 ත් දැන් ඔබ කියවන මේ 15 වන පරිච්ඡේදයත් ඔස්සේ ඉදිරියට දිගහැරෙන්නේ සත්‍යයේ සුගන්ධය – 2 අදියර යි.
2 වෙනි අදියර යටතේ විස්තර වන්නේ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය යි. ඒ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය තවදුරටත්….
15 පරිච්ඡේදය – නැගෙනහිර ආසියානු ආගමික දර්ශනයේ විකාශනය
ලෝකයේ ප්‍රධාන ආගමික ධාරා තුනෙන් අප සාකච්ඡා කරන මේ ඈත පෙරදිග ආගමික දර්ශනයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් දැන් අපි සලක බලමු.
මේ පිළිබඳව විස්තර කිරීම සදහා මම මා විසින් රචිත ෆේස්බුක් දහම් පිටුවෙහි
දහම් පිටු 779 – 2 අදියරේ 10 වන උප අදියරේ හි 1 සහ 2 වන පිටුව දක්වා ඉදිරිපත් කරමි.
දහම් පිටුව 779 – 2.10.1
ඉන්දියානු දාර්ශනික පසුතලය පිළිබඳව ඉතා දිගු පුළුල් සංවාදයක යෙදුනු අපි ඒ පිළිබඳව සියලු පැති ආවරණය කළෙමු.
දැන් අප ලෝකයේ ආගමික දර්ශන විහිද ගිය ප්‍රධාන දිශා දෙකක් සාකච්ඡා කර අවසන් වෙමු. ඉතිරි වී ඇත්තේ නැගෙනහිර ආසියානු ධාරාවේ දර්ශන පිළිබඳව සාකච්ඡා කිරීමට ය.
මෙහිදී චීනය හා ජපානය සහ ඒ අවට රටවල් කෙරෙහි අපගේ සැලකිල්ල යොමු වේ.
වජ්‍රයානය, මහායාන හා සෙන් බුදු සමයන් පිළිබඳව අපි කලින් සාකච්ඡා කළ බැවින් මෙහිදී ඒ පිළිබඳව යළි විස්තර නොකර මේ කලාපයේ ඉතිරි අනෙක් පැරණි දාර්ශනික පසුබිම සාකච්ඡා කරනු ලැබේ.
වර්තමානයේ මේ කලාපයේ පවතින එකි බෞද්ධ දර්ශනය ට පෙර චීනයේ පහළ වූ ආධ්‍යාත්මික ගුරුවරු විසින් ඉදිරිපත් කළ දර්ශනයන් ඇත.
ඒ ගුරුවරු අතරින් සත් දෙනෙක් චීනයේ පහළ වූ සාධු චරිත ලෙස සැලකේ.
ලාඔත්සු තුමා සහ කොන්ෆියුසියස් තුමා ඒ සද් ගුරුවරු ( තවුසන් ආකාර සත්‍ය ගවේෂකයන් / Sages ) අතරින් ප්‍රධාන වේ.
මේ සද් ගුරුවරු විසින් ඉදිරිපත් කළ දහම් තුන්කොටසකට බෙදේ. 1. තාඕ දහම, 2. කොන්ෆියුසියස් දහම, 3.ෂින්ටෝ දහම ලෙසය. ( අද 4. බෞද්ධ දර්ශනය ද වේ )
අධ්‍යාත්මික ගුරුවරු පස් දෙනෙකු විසින් ඉදිරිපත් කළ ආප්තෝපදේශ, උපමා තුළින් කළ ඉගැන්වීම් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ෂින්ටෝ දහම චීනයේ සමාජය හා සංස්කෘතිය හැඩ ගැස්වීමෙහි මුල් කාර්ය භාරය සිදු කළේය.
කොන්ෆියුසියස් තුමා ජීවත් වූයේ බුදුරජාණන්වහන්සේගේ සමකාලීන දාර්ශනිකයකු ලෙසය. උන්වහන්සේ ඉන්දියාවේ පහළ වී සිටි අතර කොන්ෆියුසියස් තුමා චීනයේ පහළ වී සිටියේය. කොන්ෆියුසියස් තුමා ගේ දර්ශනය මූලික වශයෙන් බෞද්ධ දර්ශනය ට ආසන්න ය. ලෝකයේ මායාව හා අත් හැරීම එහි ද පදනමයි.
ලාඔත්සු තුමා ජීවත් වූයේ කොන්ෆියුසියස් තුමාට පෙරය. එතුමා කලෙක පටන් චීනයේ රජ හා ප්‍රභූ පවුල්වල දරුවන් ට අධ්‍යාපනය ලබා දුන් ප්‍රකට ගුරුවරයකු විය.
පසු කළෙක එතුමා ඉතාමත් සැහැල්ලුවෙන් හා ප්‍රීතියෙන් ජීවත් වනු සියලුදෙනා විසින් දක්නා ලදී. එතුමා ගේ ජීවත් වන පිළිවෙලද ඉතා සරල හා අල්පේච්ඡ විය. එතුමා ගේ ජීවිතයේ අනික් අය නම් ඉතා අපහසුතාවට පත් වන ගැටළු ආ අවස්ථා වලදීත් එතුමා සුපුරුදු පරිදි සිනහමුසුව සැහැල්ලුවෙන් වාසය කළේය. ඒ නිසා සිනාසෙන ඇදුරා / මුනිවරයා ( Laughing Sage ) ලෙස එතුම ප්‍රසිද්ධ විය.
සිය ජීවිතය පුරා තමා ගේ ප්‍රීතිය හා සිනහව නිසා අන් අයගේ අවධානයට ලක් වූ මෙතුමා වියපත් වන විට නගරයේ ගත කළ ජීවිතය අත් හැර චීනයෙන් පිටවී ඔවුන්ට සාපේක්ෂව නිරිත දිගට වන්නට පිහිටි ටිබෙට් සානුව හා හිමාලය මූලික වූ කදු වළල්ලේ යම් පෙදෙසක නිස්කලංක ලෙස සිය අවසාන සමය ගෙවීමට තීරණය කර ගත්තේය. එතුමා නගර වාසීන් ගෙන් සමුගෙන තනිවම ඒ ගමන යාමට පිටත් විය.
ලාඔත්සු තුමා පිළිබඳව තිබූ සුවිශේෂී ගුණය පිළිබඳව කලෙක පටන් චීනයේ අධිරාජ්‍යයා සැලකිල්ලට ලක් වී තිබුණි. තමා මෙන්ම බොහෝ උගතුන්, උසස් බලවතුන්, ධනවතුන් ආදී සියල්ල තිබූ පුද්ගලයන් පවා ජීවිතයේ සතුටින් තොරව සිටිනු බැව් අධිරාජ්‍යයා තේරුම් ගෙන සිටියේය. එහෙත් කිසිවක් නොතිබූ ලාඔත්සු තුමා අප්‍රමාණ සතුටින් සිටීම ඔහුට මහත් ගැටලුවක් විය. ලාඔත්සු තුමා හමුවී මෙය විමසීමට අධිරාජ්‍යයා සිතා සිටියද අධික රාජකාරි නිසා එහ මග හැරී තිබුණි.
එහෙත් ලාඔත්සු තුමා චීනය අත් හැර යන්නේය යන්න දැනගත් වහාම කලබල වූ අධිරාජ්‍යයා ‘ මේ ලාඔත්සු තුමා ලෝකයා නොදන්නා කුමක්දෝ දෙයක් දන්නා බවත් එය අප විසින් දැන ගෙන මිස එතුමාට චීනයෙන් පිටව යාමට ඉඩ නොදිය යුතු බවත් වහාම එතුමා ලුහුබැඳ යන ලෙසත්, එතුමා නතර කොට එතුමා ගෙන් ප්‍රීතියෙන් හා සිනහවෙන් පිරී සිටීමේ රහස අසා දැනගන්නා ලෙසත්, එය ලේඛණගත කරන තුරු එතුමාට දේශ සීමාවෙන් පිට වීමට ඉඩ නොදෙන ලෙස ‘ ත් දේශ සීමාව රැකවල් කළ යුද හමුදාවේ සෙනවියන් ට දන්වා පණිවිඩ යැවීය.
ලාඔත්සු තුමා දුර බැහැර ගෙවා නිරිත දිග දේශ සීමාවට ළං විය. එහෙත් මාර්ගය හරස් කොට යුද හමුදා සේනාංකයක් රැකවල් ලා සිටියේය. යුද හමුදා ප්‍රධානීන් ලාඔත්සු තුමා ට ආචාර කොට අධිරාජ්‍යයා ගේ අණ එතුමාට දන්වා මෙසේ එතුමාට බාධා කිරීමට සිදු වීම ගැන කණගාටුව පළ කොට සමාවද අයැද සිටියහ.
යුද හමුදා රැකවරණය යටතේ එහි නතර වූ ලාඔත්සු තුමා එක් කඩදාසි පතක කුඩා සටහනක් ලියා එය අධිරාජ්‍යයාට දෙන්න යැයි දැනුම් දුන්හ. අද දක්වා ඒ සටහන චීනයේ පූජනීය වූ ජාතික වස්තුවක් ලෙස පවතී.
ඒ කඩදාසියේ ලියා තිබුණු කුඩා පණිවිඩය නම් :
” චීනයේ අධිරාජ්‍යයානෙනි,
මේ ලෝකයත් හා මේ ජීවිතයත් යන සියල්ල ඇත්තටම නැති, එහෙත් තිබෙනවා සේ පෙනෙන මායාවක් පමණි.
එයට රැවටී මුළා නොවී එය තේරුම් ගෙන සිහි කල්පනාවෙන් ජීවත් වන්න.
ඔබ ලැබීමට සිහින දකින ප්‍රීතිය හා සදාකාලික සැනසීම, සතුට එවිට ඔබට හමුවේවි.
මම
ලාඔත්සු. “
මෙය කියවූ අධිරාජ්‍යයා කම්පනයට පත් වී වහාම ලාඔත්සු තුමා මුදා හරින ලෙසත් කරදර කිරීම ගැන සමා වන ලෙසත් දන්වා යැවීය.
ඉන්පසුව මේ අපූරු මුනිවරයා චීනයෙන් පිට වී ඔහු අපේක්ෂා කළ ඉසව්වට ගොස් සිය අවසානය ගෙවීය.
ඒ කුඩා සටහන අනිත්‍යතා දර්ශනය අවබෝධ කළ අයකු අතින් ලියැවෙන්නකි.
අද ලාඔත්සු තුමා ගේ ආගමික දර්ශනය වූ තාඕ දහම ඇසුරින් ගොඩ නැගූ සම්ප්‍රදායක් වූ ෆෙන්ග් ෂුයි ලෝකයේ වාසනාව කැන්දන යම් ක්‍රම වේදයක් ලෙස භාවිතා කරනු ලැබූවද පසු කලෙක ඇතිවූ ඒ ෆෙන්ග් ෂුයි හා ලාඔත්සු තුමා අතර මා නම් අති විශාල පරස්පරයක් දකිමි.
මෙය වාණිජ පරමාර්ථ වශයෙන් ශ්‍රී ලංකාවේ ද භාවිතා කරයි.
ලාඔත්සු තුමා යැයි පසුව නිර්මාණය කර ගත් තරබාරු සිනාසෙන පුද්ගලයකු ගේ පිළිමයක් සිනාසෙන බුදුන් ( Laughing Buddha ) යැයි නම් කර මෙරට නිවෙස් හා වෙළද සැල් තුළ තබා ගෙන වාසනාව සොයති.
නමුත් ඒ අය ඒ සිනාසෙන මුනි ; ලාඔත්සු තුමා ගේ වාසනාවේ රහස ඒ අයුරින් නම් කිසිදා දැන නොගනිති.
දහම් පිටුව 779 – 2.10.2
නැගෙනහිර ආසියානු දාර්ශනික පසුතලය තේරුම් ගැනීමට කලින් පිටුවෙන් දුන් කරුණු ප්‍රමාණවත් යැයි මා සිතමි.
අද අපි එහි බුදු දහම විසින් සිදු කළ බලපෑම් වලින් ඉහළට ඉස්මතු වී සංවර්ධනය වූ අංශ ගැන බලමු.
චීනය, ජපානය ආදී රටවල පැවති මොංගෝලියානු මූලික සංස්කෘතික ධාරාව බෞද්ධ දර්ශනයේ ආභාශය ඔස්සේ ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් වශයෙන් සංවර්ධනය ක් ඇති විය.
ඔවුන් ගේ ප්‍රධාන ගැටලුවක් වූයේ ආරක්ෂාවයි. විශාල භූමි පෙදෙසක පැතිරුනු සම්පත් ප්‍රමාණයක් සහිත අධික ජනගහනයක් සහිත රටක් වීම තුළ සෑම අයකුටම ආරක්ෂාව අනිවාර්යය විය.
ආරක්ෂාව උදෙසා යොදන මානව යෝග ශස්ත්‍ර හෙවත් සටන් වේ.
සටන් වදින පිළිවෙළ හා ක්‍රම, යුද හමුදා හා රාජ්‍යය පරිපාලනය පිළිබඳව ලෝකයේ ඇති පැරණිම ග්‍රන්ථයක් වන්නේ පාඨලීපුත්‍රය අගනුවර වූ මෞර්යය රාජ්‍යයේ කෞටිල්‍යය නම් පඩිතුමා විසින් රචිත අර්ථ ශාස්ත්‍රය නම් ග්‍රන්ථය යි.
ශ්‍රී ලංකාවේ පෞරාණික සටන් ක්‍රම ආයූර්වේදීය දැනුම හා මුසු වූ නිල වලට ප්‍රහාර එල්ල කොට ක්ෂණිකව සතුරා යටත් කරන ක්‍රමයන් වේ.
තවද ජපානයේ නින්ජා නම් සටන් කරුවන්, මධ්‍යම ආසියාවේ සමූරායි නම් සටන් කරුවන්, මැද පෙරදිග සැරසන් නම් සටන් කරුවන් පිළිබඳව ඉතිහාසයේ වාර්තා වේ.
යුරෝපයේ හා බටහිර රටවල සටන් මුහුණට මුහුණ ලා කළ සටන් වලට වඩා තාක්ෂණික වශයෙන් ආයුධ වලින් කළ දුරස්ථ ප්‍රහාර වේ.
පසුව ව්‍යායාම හෝ විනෝදාංශයක් ලෙස සරල ප්‍රහාර සහිත බොක්ෂින් ( ලංකාවේ අතින් ගසන ක්ෂණික පහරවල් පොල් අඩි ලෙස ද පාදය භාවිතා කර එක් වර කිහිප දෙනෙකුට පහර දීම තුම්මුල්ල පැනීම ලෙස ද හැදින්වේ ) සහ පෙරදිග ආත්මාරක්ෂක සටන් බටහිර රටවල ජනප්‍රිය විය.
( අප්‍රිකාවට වෙනම ගෝත්‍රික සටන් ක්‍රම තිබේ )
චීන ආත්මාරක්ෂක සටන් කලාව කුන්ග් ෆූ යනුවෙන් හැදින්වේ.
චීනයේ සංවර්ධනය වූ ආත්මාරක්ෂක සටන් කලාවේ ප්‍රාථමික අදියර කරාතේ ය. මෙහි තේරුම ” නිදහස් අත ” යන්නයි.අවි සහිත හෝ රහිත ප්‍රතිවාදියා ආයුධ රහිතව මෙල්ල කිරීම කරාතේ වල මූලික කාර්යය වේ.
තවද ජූඩෝ, මාර්ෂල් ආට්ස්, ටයි ක්ව්‍යොන් ඩෝ ආදී සටන් ක්‍රම මූලික අදියරෙන් ව්‍යුත්පන්නවන අනෙක් අදියරයන් වේ.
මේවා චීනයේ අධ්‍යාත්මික ගවේෂකයන්, මහායාන හිමිවරුන් විසින් සංවර්ධනය කරන ලදී. ප්‍රධාන කුංග් ෆූ පුහුණු මධ්‍යස්ථාන වූයේ සම්ප්‍රදායික ෂැඔලීන් ආරාම වේ.
කුංග් ෆූ යනු සටන සමග ගත මෙන්ම සිත ද දැහැන් ගත කිරීමකි. එක් අයුරක භාවනාවකි. ගතේ ක්‍රියාව හා චිත්ත බලයද කුංග් ෆූ වලදී එකට කැටි වන බැවින් ලෝකයේ බිහි වූ උසස්ම සටන් ශිල්පය කුංග් ෆූ ලෙස හැදින්විය හැක.
කුංග් ෆූ සටන් කරුවා බෞද්ධ ආචාර ධර්ම ආදර්ශයට ගෙන ඒ අනුව සැකසුනු සටන් ආචාර විධි අනුව ක්‍රියා කරන්නෙකි.
ඔහු අවිහින්සාවාදී ය. කිසිදාක ප්‍රතිවාදියා පහර දෙනතුරු සැබෑ කුංග් ෆූ සටන් කරුවකු සටන් නොකරයි. ඔහු හැම විටම සතුරා කෙරෙහි අනුකම්පාවෙන් ප්‍රහාර වළක්වයි. ඔහු ප්‍රහාර එල්ල කරන්නේ අවසාන විකල්පය ලෙසය. එයද සතුරා යටත් කළ යුතු ප්‍රමාණයටය. නැත්නම් ඒ එකම ප්‍රහාරය සතුරා ගේද අවසානය වේ.
මෙබදු උසස් දර්ශනයක් පසුබිම් කොට බිහි වූ කුංග් ෆූ සටන් කලාව සටනින්ම සිත සමාධි ගත කිරීමේ, අධ්‍යාත්මික ශක්තීන් ලබා ගැනීමේ, අවබෝධය කරා සමීප වීමේ එක්තරා මාවතක් විය.
චීනයේ පැන්ඩා යනු එරට ආදරය හා ගෞරවය හිමි වූ සත්වයකු මෙන්ම රාජ්‍ය ලාංඡනයකි. කුංග් ෆූ ප්‍රවීණත්වයට කුංග් ෆූ පැන්ඩන් හෙවත් දේශයේ ආරක්ෂකයන් යන ගෞරවය එරට ලබා දේ.
මෙබදු කුංග් ෆූ කලාවේ ප්‍රවීණයන් ඉතිහාසය තුළ විදින ලද හී සැර ගුවනේ දීම අල්ලා නතර කිරීම හෝ අන් දිශාවකට හැරවීම පමණක් නොව වෙඩි උණ්ඩ වල ගමන් මාර්ගය පවා වෙනස් කරන ලද බව වාර්තා වේ. එයට අනිවාර්යයෙන් ආධ්‍යාත්මික ශක්තියක් ද අවශ්‍ය වේ.
වර්තමාන කුංග් ෆූ ශ්‍රේෂ්ඨයන් අතර ලොව පුරා අවධානය දිනාගත් සටන් කරුවෙකු ලෙස බෲස් ලී දැක්විය හැක.
චීන පුරවැසියකු ලෙස උපන් ඔහු සම්ප්‍රදායික ආරාම ඇසුරේ ෂැවොලීන් හිමිවරුන් ගෙන් සටන් කලාව ප්‍රගුණ කළේය.
පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය. ඔහු කුංග් ෆු ඇසුරින් ජෙට් ක්වොන් ඩෝ නම් ස්වතන්ත්‍ර සටන් ක්‍රමය නිර්මාණය කළේය.
කුංග් ෆූ සටන් කලාවේ ශ්‍රේෂ්ඨත්වය ලොවට ඔප්පු කර පෙන්වූ බෲස් ලී ඒ නිසාම හොලිවුඩ් සිනමා නිර්මාණ වලට ඇතුලත් කරනු ලැබීය.
සිය ජීවිත කාලය තුළ කළ කිසිදු සටනක් පරාජය වී නැති බෲස් ලී දේශකයකු හා එක්තරා අයුරකින් දාර්ශනිකයකු ද විය.
ඔහු බොහෝ දේ ගවේෂණය කළ නිතර සිහිය පුහුණු කළ අයකු විය.
ඔහු ගේ අදහස් ඉතා ගැඹුරු හා ප්‍රබුද්ධ වේ. ඇමෙරිකානු කුමන්ත්‍රණයකින් බෲස් ලී වස ශරීර ගතව අකාලයේ මිය ගියේය.
” ඔබ සුළගක් සේ සැහැල්ලු වන්න…කුණාටුවක් සේ බාධක හමුවේ අභීතව මුහුණ දී වේගවත්ව ඒවා බිදගෙන යන්න…
ඔබ ජලය මෙන් වන්න…ජලය අවර්ණය, විශේෂ කිසිවක් නැත, දමන බදුනේ හැඩය ගනී, එය තුළ සියල්ල දිය වේ…ඔබ ඒ ජලය මෙන් වන්න, ජීවිතයට ඒ අයුරින් මුහුණ දෙන්න,
ඔබ ලොවින් වෙන් වූ අයෙක් නොවී පැවැත්මෙහි කොටසක් වී සිටින්න…
සුළග හමා යන විට ඔබ ඒ සුළගේ කොටසකි, ජලය ගලා යන විට ඔබ ඒ ජලයේ කොටසකි, ගස්වැල් වැඩී මල් පිපෙන විට ඔබ ද ඒ අතර කොටසකි, අකුණු ගසන විට ඔබද එහි කොටසකි….
කිසිවක් ඔබට අයිති නොවූ විට, ඔබත් ඔබට අයිති නොවූ විට, සියල්ලෙහි ඔබ ඇති විට, ඔබට සියල්ල ඇති විට යළිත් ඔබව ඇති වීමට හේතුවක් ඔබට නොවනු ඇත. ඔබ අවසන් වූ විට එතැන් පටන් සදාකාලික සතුට ඇරඹෙනු ඇත….”
ඒ බෲස් ලී ගේ දෙසුමකි. මෙබදු දෙයක් කිව හැක්කේ සසරේ පාරමිතා පුරා හිමි වූ දීප්තිමත් ප්‍රඥාවක් ඇති අයෙකුට පමණි.
බෲස් ලී ගේ වත්මන් අනුගාමිකයන් අතර ජෙට් ලී, ජැකී චෑන් ලෝකයේ ප්‍රසිද්ධ වූ අය වෙති.
ඡායාරූප / සිතියම් –
චීනයේ ආගමික මධ්‍යස්ථානයක්
මෙහි සදහන් වූ ෆේස්බුක් දහම් පිටුව සිංහල පේජය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය වූ The Doctrine Page වලට,
ඔබට මේ SL_Media.Hub වෙබ් අඩවියේ Astrological Tips යටතේ වූ ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 5 වන පරිච්ඡේදය ) ලිපිය අග පළ කර ඇති ලින්ක් / සබැදීන් ඔස්සේ යා හැක.


