ඉතින් ඔන්න කලින්ම දහම් පිටුවෙන් ( ෆේස් බුක් දහම් පිටුව Page ) කී අයුරින්ම මම මගේ මූණු පොතේ ( Surath Chamara ) අලුත් ඇල්බම් එක ස්වර්ණ විමානෙන් එහා හැදුවෙමි. මගේ අදහස් ඔබ සමග බෙදා ගන්නට මේ හරහා මම අපේක්ෂා කරමි. මීට දශක දෙකකට ආසන්න කාලයකට පෙර ව්‍යවහාර වර්ෂයෙන් 21 වන සියවස ( බුද්ධ වර්ෂයෙන් 26 වන සියවස ) ආරම්භ වෙන අවස්ථාවේ අපට අපේ අදහස් ප්‍රකාශ කර බොහෝ දෙනෙකු අතර වේගයෙන් බෙදා හැරීම සදහා මාධ්‍යයක් තිබුණේ නැත. පුවත් පත්, සගරා මෙන්ම ගුවන්විදුලිය, රූපවාහිනී ආදී බහු මාධ්‍ය යම්කිසි පිරිසක් අත තිබූ සෙසු අයට පහසුවෙන් ස්පර්ශ කොට තම නිර්මාණ පල කිරීමට ඉඩක් නොවූ යුගයක් විය. තොරතුරු තාක්ෂණික විප්ලවයේ සුපිරිම ඵල ලෝකයට ලැබෙන මේ කාලය වන විට බිහි වී තිබූ මුහුණු පොත ඇතුලු නව වැඩසටහන් ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලැබගත් පිරිස අතරට රැදී සිතන්නට යමක් පළ කිරීමට වාසනාවන්ත වීමි. තොරතුරු තාක්ෂණික ලෝකය කෙතරම් විචිත්‍රවත් වුවද එහිදී ඇතැම් විට අපහසුවක් දැනුනේ ලෝකයේ බොහෝ දෙනෙකු තම තමා ගේ ජංගම ස්මාට් ෆෝන් එක, ටැබ් එක සමග තමා වටා වූ ලොවින් හුදෙකලාව සයිබර් අවකාශය හරහා සම්බන්ධ වූ ලෝකයේ වෙනත් තැන්වල පසුවන අය ( මින් සමහරෙක් ගේ Profiles පිටුපස සැබෑවටම එබදු පුද්ගලයකු නැත ) සමග ගනුදෙනු කරනු දක්නා විටය. මේ අයුරින් මානව සම්බන්ධතා බිද වැටෙමින් යන යුගයක මනුදහම් යළි පුබුදුවන්නට එදා පෑන අතට ගත් පරිදි මෙදා යතුරු පුවරුව මත ඇගිලි තුඩු එහා මෙහා කරමි. මේ සම්බන්ධයෙන් මට ලොකු හැගීමක් ඇති කළේ මගේ අම්මායි. 1970 දශකයේ තරුණ විය ගෙවූ ඇය ගේ හා ඇගේ සමකාලීන සෙසු බොහෝ දෙනෙකු ගේ ජීවිත තවමත් ගෙවෙන්නේ මේ ඩිජිටල් ලෝකයට පිටිනි. එහෙත් මගේ නිර්මාණ මෙසේ බෙදා හැරීමට ඇය මා බෙහෙවින් උනන්දු කළාය. එසේම පසුපසින් හිදිමින් සෑම සහායක්ම දෙන දයාබර බිරිද හා දරුවාද මෙහි කොටස්කරුවන් වෙති. මා විසින් අත් කරගත් යම් ප්‍රබුද්ධත්වයක් වේද ඒ සදහා තුති පිදිය යුතු තවත් කිහිප දෙනෙකු වෙති. ඔවුන් අද මෙලොව ජීවතුන් අතර නැත. ( මගේ ආච්චි, බිරිඳ ගේ මව සහ පියා ) එසේ නම් අවසරයි අරඹන්නට ස්වර්ණ විමානෙන් එහා…


