SL Media Hub

SL Media Hub - Header

සත්‍යයේ සුගන්ධය ( 2 අදියර 12 පරිච්ඡේදය )සුරත් චාමර විදානපතිරණ

සත්‍යයේ සුගන්ධය SL_Media.Hub තුළින් මේ දක්වා කියවූ ඔබ මෙතෙක් පසු කර ආ පරිච්ඡේද 1 – 6 දක්වා පෙළ ගැසෙන්නේ සත්‍යයේ සුගන්ධය – 1 අදියර ලෙසය.

එහි වූයේ මා විසින් සිදු කළ විද්‍යාත්මක ගවේෂණය යි.

පරිච්ඡේද 7 සිට, 8,9,10 සහ 11 ත් දැන් ඔබ කියවන මේ 12 වන පරිච්ඡේදයත් ඔස්සේ ඉදිරියට දිගහැරෙන්නේ සත්‍යයේ සුගන්ධය – 2 අදියර යි.

2 වෙනි අදියර යටතේ විස්තර වන්නේ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය යි. ඒ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය තවදුරටත්….

12 පරිච්ඡේදය – ඉස්ලාම් ආගමික සම්ප්‍රාප්තිය

ක්‍රිස්තු සභාව බිහි වී වසර 500 ට පමණ පසු මැද පෙරදිග බිහිවූ ආගමික සම්ප්‍රදාය ඉස්ලාමය යි.

මේ ඉතිහාසය විස්තර කිරීම සදහා මම මා විසින් රචිත ෆේස්බුක් දහම් පිටුවෙහි
දහම් පිටු 779 – 2 අදියරේ 8 වන උප අදියරේ හි කොටස් 1 සිට 4 දක්වා පිටු ඉදිරිපත් කරමි.

දහම් පිටුව 779 – 2.8.1

බුදුරජාණන්වහන්සේගේ පහළ වීම සිදු වූයේ සියවස් 26 ට පෙර භාරතයේය. එකල මධ්‍යධරණි පෙදෙස බබිලෝනියන් අධිරාජ්‍යය බලවත්ව තිබූ යුගයයි. ඉන් සියවස් 5 ට පසු ක්‍රිස්තුස් වහන්සේ පහළ විය. ඉනුත් සියවස් 5 ට පසු මැද පෙරදිග අරාබි අර්ධද්වීපයේ වර්තමාන සවුදි අරාබියට අයත් ප්‍රදේශයේ ඉස්ලාම් දහම ලොවට බිහි විය. මේ කතාව ඇරඹෙන්නේ අරාබි ජනතාව අතරෙනි. අපි කලින් දැක්වූ පරිදි අරාබිවරු ඔවුන් ගේ ආදි පියවරු වූ ආබ්‍රහාම් ට හා ඉෂ්මායෙල් ට ඇති සම්බන්ධය අනුව එකම දෙවි කෙනෙකු ඇදහීම කළහ. ඒ දීර්ඝ කලකට පෙර ආබ්‍රහාම් තැනූ පූජාසනය පිහිටි මක්කාව යුග ගණනක් තුළ අරාබිකරයේ පූජනීය නගරය විය. පසු කළෙක මෙහි විවිධ ශාස්තෘන්වහන්සේලා ගේ දහම් අනුව පිහිටුවන ලද නොයෙක් ආගමික මෙවලම් වලින් මක්කාව පිරී තිබුණි. මෙයට හේතුව සේද මාවත ඔස්සේ බොහෝ වාණිජ කණ්ඩායම් වල මධ්‍යස්ථානයක් ද වූ බැවිනි. මේ පසුබිමේ අරාබිවරුන් ගේ ප්‍රධාන ගෝත්‍රය වූ කොරේෂ් ගෝත්‍රයේ යුවළක් වූ අබ්දුල්ලා සහ අමීනා යුවළට දාව උපත ලැබූ පිරිමි දරුවාට මොහොමඩ් නාමය යොදන ලදී. කුඩා කළ දී පියා ගේ හදිසි අභාවයෙන් කුඩා මොහොමඩ් ගේ ජීවිතය අදුරු විය. කෙටි කලකින් මව ද මෙලොවින් සමු ගත්තාය. එබැවින් ළමා මොහොමඩ් ගේ වගකීම ඔහු ගේ මව ගේ සොහොයුරා වූ අබු තාලිබ් විසින් ගනු ලැබීය. සිය මාමා ගේ සෙවණේ හැදී වැඩුනු මොහොමඩ් සිය දුෂ්කර ජීවිතයේ මුල් අවදියේ ලිවීමට හා කියවීමට නූගත් නමුත් තරුණ වියට එළඹෙද්දී ඉතා සිත් ගන්නා සුලු අවංක තරුණයකු විය. ඔහු තුළ සහජ ප්‍රඥාවන්ත භාවයක් විය. සිය යහපත් ජීවිත රටාව හා සියලු දෙනා ගේ විශ්වාසය දිනා ගත් නිසා අල් අමීන් ( විශ්වාසවන්තයා ) යන අනුවර්ත නාමය ලැබීය. මේ නිසා තම ව්‍යාපාර සදහා කළමනාකරුවකු වශයෙන් එතුමා පත් කළ කදීජා නම් ධනවත් ව්‍යාපාරික කත පසුව එතුමා ගේ අවංක සේවය පිලිබඳව පැහැදී එතුමා තම ස්වාමිපුරුෂයා වශයෙන් තෝරා ගනු ලැබීය. ඉන්පසු මොහොමඩ් තුමාට සැපවත් ජීවිතයක් හිමි විය. එයින් පෙරටත් වඩා නිහතමානී වූ හෙතෙම ඉතා දක්ෂ ලෙස ව්‍යාපාර කොට ලාභ ඉපයීම මෙන්ම බොහෝ ධනය දුප්පතුන් හා අවශ්‍යතා ඇති අය සදහා පරිත්‍යාග කළේය. සිය ජීවිතයේ සතළිස් වන වියේ දී දිනපතා මක්කාවට නුදුරා හිජ්රා නම් ගුහාවට ගොස් භාවනානුයෝගීව විවේක කාලය ගත කිරීමට පුරුදු වූ එතුමා එහිදී එතුමාට දර්ශනය වූ දෙව් ලොව දේව දූතයකු මගින් ඔහු විශේෂ අරමුණක් සදහා දෙවියන් විසින් තෝරා ඇතැයි දන්වනු ලැබීය. ඒ අනුව සිය පවුලේ අය දැනුවත් කළ මොහොමඩ් තුමා නිතිපතා එම ස්ථානය ට ගොස් දේව දූතයා පැවසූ පණිවුඩ සිහි තබා ගෙන ඒවා ලේඛණ ගත කරවීය. මෙසේ එකතු වූ ලේඛණ / පණිවිඩ ( ආයාවන් ලෙස හැදින්වේ ) 6666 ක් පරිච්ඡේද ( සූරා ) 144 ලෙස සකසා එතුමා ගේ ජීවිත කාලය තුළ අල් කුරාන් ( එයින් කියවිය යුත්ත නම් අදහස දේ ) සම්පාදනය කෙරිනි. පසුව එතුමා ගේ ජීවන තොරතුරු අළලා බුහාරි, මුස්ලිම් ආදී පුද්ගලයන් ලියූ අල් බුහාරි, අල් මුස්ලිම් ආදී ලේඛණ එකතුව සුන්නා ග්‍රන්ථ ( හදීස් ) ලෙස දැක්විනි. අල් කුරාන් සහ සුන්නා ග්‍රන්ථ ඇසුරින් දැක්වෙනුයේ මනුෂ්‍යයා විසින් මෙලොව යහපත් ලෙස ජීවත් වීමට අනුගමනය කළ හැකි මාර්ගයකි, එය සම්පූර්ණ කළ විට දෙව් ලොව අත් කර දෙන වැඩ පිළිවෙළක් ලෙස සැකසිනි. මේ සමස්ථ වැඩ සටහන ඉස්ලාමය ( සාම මාවත ) ලෙස නම් වූ අතර එහිදී එයට අනුගත වන්නා විසින් විශ්වාස කළ යුතු කරුණු ඊමාන් ලෙස නම් වේ. අවසාන විමුක්තිය දෙව්ලොවයි. ( ජන්නා ) මේ දහම ප්‍රකාශ කිරීමෙන් මොහොමඩ් තුමා දේව පණිවුඩකරු හෙවත් නබිවරයා ලෙස හැදින්වේ. එතුමා ගේ අනුව යන්නන් / ඉස්ලාම් බැතිමතුන් හට පොදු නාමය මුස්ලිම්වරුන් වේ. සම්පූර්ණ ලෙස අරාබි බසින් මොහොමඩ් නබිසල්ලාහු අලෛවසල්ලම් යනුවෙන් ගරුසරු ලෙස ඔවුහු එතුමා ගේ නාමය පවසති. රසූල් ඇතුලු තවත් ගරු නම් රැසක් එතුමා සදහා අරාබි ලෝකයේ භාවිතා වේ.

දහම් පිටුව 779 – 2.8.2

මක්කාවේ සිය දහම දේශනා කිරීම අරඹා කෙටි කලකින් නබිතුමා ට ඔහුගේ ගෝත්‍රයේ අයම එරෙහි වූහ. මක්කාවේ ප්‍රධානීන් වූ ඔවුන් නබි තුමා ඇතුළු පිරිස හෙළා දුටූහ. එහෙත් නබිතුමා නොසැලී සිය සේවය දිගටම කරගෙන ගිය අතර පීඩා දරුණු වෙත්ම එතුමා මක්කාව කලකට අත් හැර සිය පවුලේ අයත් අනුගාමිකයන් හා ඔවුන් ගේ පවුල්ද රැගෙන මදීනාව බලා පිටත් විය. මෙය ඉස්ලාම් දින දර්ශනයේ ආරම්භය වේ. මදිනාවේ දී නබිතුමා එහි වැසියන් විසින් පිළිගත් අතර එතුමා ගේ දහම එහිදී සාර්ථක ලෙස බොහෝ දෙනෙකු වැළද ගත් හ. ක්‍රම ක්‍රමයෙන් අරාබිකරයේ ඉස්ලාමය නිල ආගම වෙමින් පැවති අතර ප්‍රදේශ රැසක් සිය නායකයා ලෙස නබිතුමා පිළිගනු ලැබිනි. අවසානයේ මක්කාවෙන් නබිතුමා ට එරෙහිව යුද්ධයක් දියත් කළ අතර මුස්ලිම්වරුන් ගේ ආරක්ෂාව උදෙසා යුද වැදීමට නබිතුමා සෙන්පතියන් හා එකග විය. නබිතුමා ප්‍රධානියා ලෙස පිළිගත් සෙන්පතිවරු යුද්ධයෙන් ජය ගත් අතර දිනූ මක්කාවත් සමග මුලු සව්දි අරාබියේම පාලකයා බවට නබි තුමා පත් විය. මක්කාව ඉස්ලාමයේ ලෝක මූලස්ථානය බවට පත් වන්නේ ඉන් පසුවය. කෙතරම් උසස් තත්වයක් ලැබූවද නබිතුමා සිය සුපුරුදු නිහතමානී ජීවිතයම ගත කළේය. එතුමා සිය පවුලේ අයට ආදර්ශමත් පුද්ගලයකු විය. සිය බිරිද වූ කදීජාද නබිතුමාට ඉතා ආදරණීය බිරිදක් වූ අතර ඇය එතුමා ගේ පණිවිඩය මුලින්ම විශ්වාස කළ තැනැත්තිය වූවාය. මේ අනුව ලෝකයේ පළමු මුස්ලිම් බැතිමතා කාන්තාවකි. කදීජා මදීනාවේදී මිය යාමත්, නබිතුමා හා ඇය අතර විවාහයෙන් උපන් පුතුන් දෙදෙනෙකු හා දියණියන් සිව් දෙනෙකු සිටි බැවින් ඔවුන් ගේ රැකවරණය වෙනුවෙන් හා තවත් නොයෙක් කරුණුද, ඇතැම්විට රාජ්‍ය තාන්ත්‍රික හේතුද මත නබිතුමා අරාබිකරයේ සම්ප්‍රදායයන් අනුව අතිරේක විවාහයන් කිහිපයකට ඇතුලත් විය. ඒ විවාහ සියල්ලෙන්ම එතුමාට සිටියේ එක් පුතකු පමණි. නබිතුමා ගේ දරුවන් අතුරින් ෆාතිමා නම් දියණිය හැර අන් සියලු දූ පුතුන් එතුමාට පෙර අභාවප්‍රාප්ත වූහ. හතළිස් වියේදී ඉස්ලාමය දේශනා කිරීම ඇරඹූ නබිතුමා එම කාර්යය වසර විසි තුනක් වැනි කලකින් නිමා කොට හැට තුන් වන වියේදී මදීනාවේදී අභාවප්‍රාප්ත වූහ.

දහම් පිටුව 779 – 2.8.3

ඉස්ලාමය තුළින් මොහොමඩ් නබිසල්ලාහු අලෛවසල්ලම් තුමා අරාබිකරයේ නොයෙක් අයුරින් අසමගිව විසිර සිටි ගෝත්‍ර සියල්ල එක්සේසත් කොට එකම අරමුණක ගොනු කළේය. අරාබිකරයේ කාන්තාර පරිසරයේ ජීවත් වූ ජන වර්ග වලට ඉතිහාසයක් නිර්මාණය කර දුන්නේය. කුල ගොත් අනුව මිනිසුන් ගේ උස් පහත් කම් නොමනින සියලු මනුෂ්‍යයන් සහෝදරත්වයෙන් පිළිගන්නා දහමක් බිහි කොට සමානාත්මතාවය ඇති කළේය. යුරෝපය, අප්‍රිකාව හා ආසියාව යන මහා ද්වීප ත්‍රිත්වයෙන්ම නබිතුමා ජීවත්ව සිටි සමයේම එතුමාට අනුගාමිකයන් ඇති විය. දෙමාපියන්ට සැලකීම, දරුවන් ගේ වගකීම්, පවුල් ජීවිතය පිළිබඳව කරුණු, කාන්තාවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ දේ, ව්‍යාපාර හා රැකියා කටයුතු වලදී අවංක වීම, ධනවතුන් විසින් දුප්පතුන්ට උපකාර කළ යුතු බව, අසරණ, ආබාධිත, ළමා, මහළු හා රොගී අයට පිහිට විය යුතු බව ආදී යහපත් සමාජයක් සදහා ඉවහල් වන බොහෝ දේ මුස්ලිම් ලෝකයට උගැන්වූහ. නබිතුමා ගේ අභාවයට පසු අරාබි කිරුළ සම්බන්ධයෙන් එතුමා අනුප්‍රාප්තිකයකු නම් නොකර තිබූ අතර මහජන කැමැත්ත අනුව එතුමා ගේ මුල් යුගයේ සිට සමීප මිතුරෙකු වූ අබු බකර් තුමා ( අබු බකර් තුමාට නබිතුමා ගේ අනුප්‍රාප්තික නායකත්වය ලැබෙන්නේ එතුමාට නබිතුමා සමග ඥාතීත්ව‍ය ඇති වූ බැවිනි. මේ සදහා නබිතුමා අබු බකර් තුමා ගේ දියණිය වූ අයීෂා සමග සරණ බන්ධනයට ඇතුලත් වූහ. මෙය ඉදිරිය වෙනුවෙන් ගනු ලැබූ රාජ්‍යය තාන්ත්‍රික පියවරක් විය. ) නායකත්වය ට පත් කෙරිනි. එහෙත් අබු බකර් ගේ නායකත්වය පිළි නොගත් පාර්ශවයන් විසින් ප්‍රශ්න ඇති කළ නමුත් අබු බකර් සිය ස්ථානයේ ස්ථාවර වෙමින් අරාබියට නායකත්වය දුනි. මේ අයුරින් ඇති වූ තත්වයන් ගේ අවසාන ප්‍රථිඵලයක් ලෙස එකම ආගමක්ව පැවති ඉස්ලාමය සුන්නි ( අබු බකර් තුමා ට සහාය පළ කළ පාර්ශවය ) හා ෂියා ( විරුද්ධවාදී පාර්ශවය ) ලෙස පසුව දෙපසක් විය. මෙය අද දක්වා සියවස් 15 ක් ඔස්සේ ඇති වී තිබෙන අර්බුදයක් වේ. මැද පෙරදිග හා ඉස්ලාමයට නතු වූ රටවල් පරීක්ෂා කළවිට මූලාරම්භක රටවල් වූ සව්දි අරාබිය හා එහි අවට ඇති අනෙක් ගල්ෆ් රටවල්, ඉරාකය, ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, බංග්ලාදේශය හා මැලේසියාව, ඉන්දුනීසියාව සුන්නි මුස්ලිම් රටවල් වේ. ( දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ මුස්ලිම් රටවල් නොවන ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව ආදී රටවල සිටින මුස්ලිම් ප්‍රජාවද සුන්නි වේ ) ගල්ෆ් රටවල් අතුරින් යේමනය, ඕමාන් කොටසක්, ඉරානය හා සිරියාවේ ඇතැම්විට ෂියා මුස්ලිම්වරුන් වෙසේ.

දහම් පිටුව 779 – 2.8.4

වර්තමාන ඉස්ලාම් ලෝකය සිය අධික බැතිමතුන් සංඛ්‍යාව අනුව ලෝකයේ වැඩිම බැතිමතුන් පිරිසක් සිටින ආගමික ධාරාව වූ ක්‍රිස්තියානි ආගමික ධාරාව සමීපයටම පැමිණ තිබේ. යුදෙව් සුළු පිරිස හැරුනු කළ ක්‍රිස්තියානි හා මුස්ලිම් දෙපක්ෂය ලෝකයේ ඒකදේවවාදී ආගමික සම්ප්‍රදායය රකිති. ( Monosethic ) යුදෙව් හා ක්‍රිස්තියානි ලෝකයේ වන්දනාවට ලක් වූ ඒක දේවත්වය ඔවුන් යෙහෝවා නමින් හදුන්වන කල්හි ඉස්ලාමයේ එකම දෙවියන් අල්ලාහ් නාමයෙන් හදුන්වනු ලැබේ. නබිතුමා විසින් මුස්ලිම් ලෝකයට හදුන්වා දුන් දිවි පෙවෙත අනුව කටයුතු කිරීමට බහුතරයක් මුස්ලිම් ලෝකය සමත් වී ඇද්ද ? යන්න වැදගත් පැනයකි. මේ යටතේ සාකච්ඡා කිරීමට බොහෝ පැති ඇතත් කරුණු කිහිපයක් මෙහිදී සාරංශ කරමු. අධ්‍යාපනය ලැබීම නබිතුමා විසින් මුස්ලිම්වරුන් හට විශේෂයෙන් උනන්දු කර ඇති දෙයකි. සෑම මුස්ලිම්වරයකුම සිය ශක්ති පමණින් අධ්‍යාපනය ලැබීම එතුමා බලාපොරොත්තු විය. එසේම තවද යමකු අල් කුරානය ඇතුලු ඉස්ලාම් ලේඛණ හොදින් හදාරා සිහි තබා ගෙන සිටීනම් ඔහුට අන් විශේෂ කිසිවක් නැතත් ගරු කළ යුතු බව සුන්නා වලින් පෙන්වයි. අද බහුතරයක් මුස්ලිම්වරුන් අල් කුරාන් හා සුන්නා ක්‍රමානුකූලව සම්පූර්ණයෙන් හදාරා ඇද්ද ! යන්න. කාන්තාවන්ට ගරු කිරීම ඔවුන් ගේ ආරක්ෂාව සැලසීම සෑම මුස්ලිම්වරයෙකුගේම දැඩි වගකීමකි. නබිතුමා ඉස්ලාමය තුළින් කාන්තාවනට අධ්‍යාපනය ලැබීමේ හා සමාජයේ ඉදිරි ගමන උදෙසා පුරුෂ පක්ෂය සමග සහයෝගයෙන් ශ්‍රම විභාජන ක්‍රියාවලියේ යෙදීමේ සම අයිතිය පැහැදිලි ලෙස සලස්වා ඇත. කාන්තාවනට සිරුර වැසෙන පරිදි ඇදුම් නියම කොට ඇත්තේ ඉස්ලාමය බිහි වූ ප්‍රදේශයේ තත්වය හා ඔවුන්ගේ ආරක්ෂාවට වන අතර වර්තමාන බහුතරයක් මුස්ලිම් ලෝකය ඒ අරමුණු අනුව කාන්තා පක්ෂය සම්බන්ධයෙන් නබිතුමා බලාපොරොත්තු වූ තත්වය ඇතිකර දී ඇත්ද ! යන්න. මුස්ලිම්වරුන් යම් මුස්ලිම් නොවන රටක ජීවත් වෙද්දී ඒ රටේ පවතින සම්මත නීති රීති වලට ගරු කළ යුතු බව ඉස්ලාමයේ පැහැදිලිව දැක්වේ. මුස්ලිම්වරුන් ගේ ආගමික ව්‍යවස්ථානුකූල රාමුවට බාධාවක් නොවන පරිදි හා නොවන තාක් ඔවුන් ට තමන් සිටින රටේ නීතියට ගරු කිරීම නබිතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තු වී ඇත. ( මුස්ලිම් රටකදී වුවද ඉස්ලාමයේ සදහන් ශරියා නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය හොදින් සදහන් කර තිබේ. ඒ අනුව එය පුද්ගල අභිමතාර්ථ අනුව නොව සැබෑ ආගමික නිර්ණායක මත සිදුවිය යුතුය. ) තම ආගමට තර්ජනයක් වන්නේ නම් මිස අන් කිසි කරුණක් සදහා සටන් කිරීම ඉස්ලාමයේ අනුමත කර නැත. එබදු මග හැරිය නොහැකි බලවත් තර්ජනයක් හමුවේ දහමේ ආරක්ෂාව උදෙසා සටන් කිරීම ජිහාඩ් හා ඉන් දහම ආරක්ෂා වීම හා බොහෝ දෙනෙකු අතරට එය ව්‍යාප්ත වීම හෙවත් වහාබ් වේ. ඒ හැර විවිධ පුද්ගලයන් හෝ සංවිධාන තමන්ට බලය ලබා ගැනීම සදහා සාමාන්‍යය ලෝකයේ යුද ක්‍රියාදාමයන් ඇති කිරීම ජිහාඩ් හෝ ඉස්ලාමය බලෙන් පැතිරවීම වහාබ් හෝ නොවේ. මේ සරල මූලික කරුණින් ලොකු පැහැදිලි කිරීම් නැතත් ඉස්ලාම් දහමට මුවා වී ඇතිකොට ඇති ත්‍රස්තවාදී ප්‍රයත්න වලට හේතු වූ මූලික ගැටලුව අවබෝධ කරගත හැක. මෙසේ තමන් ඉස්ලාමය වෙනුවෙන් අසවල් අසවල් දේ කරනවා යයි කියන මේ ත්‍රස්ත සංවිධාන සැබවින්ම කරන්නේ කුමක්ද, නබිතුමා ගේ මාර්ගයේ ගමන් කිරීමද ! යන්න සැමට දැන් පැහැදිලි ය. මේ අනුව ලෝකයේ කොතෙක් දුරට මුස්ලිම් ප්‍රජාව ඉස්ලාමයේ මාවතේ ගමන් කර ඇත්ද ! යන්න විමසා බලමින් තම ආගමේ වටිනාකම් වලට උපරිම වටිනාකම දෙන ලෙස දහම් පිටුව මුස්ලිම් ප්‍රජාව වෙත සහෝදරත්වයේ දෑත් දිගුකර ඉල්ලා සිටියි.

ඡායාරූපය –

ඉස්ලාම් මස්ජිදයක් තුළ ආගමික නමස්කාරයේ යෙදෙන මුස්ලිම් ප්‍රජාව

මෙහි සදහන් වූ ෆේස්බුක් දහම් පිටුව සිංහල පේජය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය වූ The Doctrine Page වලට,

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top