SL Media Hub

SL Media Hub - Header

සත්‍යයේ සුගන්ධය ( 2 අදියර 14 පරිච්ඡේදය )සුරත් චාමර විදානපතිරණ

සත්‍යයේ සුගන්ධය SL_Media.Hub තුළින් මේ දක්වා කියවූ ඔබ මෙතෙක් පසු කර ආ පරිච්ඡේද 1 – 6 දක්වා පෙළ ගැසෙන්නේ සත්‍යයේ සුගන්ධය – 1 අදියර ලෙසය.

එහි වූයේ මා විසින් සිදු කළ විද්‍යාත්මක ගවේෂණය යි.

පරිච්ඡේද 7 සිට, 8,9,10, 11, 12 සහ 13 ත් දැන් ඔබ කියවන මේ 14 වන පරිච්ඡේදයත් ඔස්සේ ඉදිරියට දිගහැරෙන්නේ සත්‍යයේ සුගන්ධය – 2 අදියර යි.

2 වෙනි අදියර යටතේ විස්තර වන්නේ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය යි. ඒ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය තවදුරටත්….

14 පරිච්ඡේදය –

” සත්‍යයේ සුගන්ධය ” – 2 අදියර
‘ සුරත් චාමර විදානපතිරණ ‘

මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය

14 පරිච්ඡේදය – හින්දු ආගමික දර්ශනයේ විකාශනය ( 1 කොටස )

ලෝකයේ ප්‍රධාන ආගමික ධාරා තුනෙන් මීළඟට
පෙරදිග ආගමික දර්ශනයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් දැන් අපි සාකච්ඡා කරන්නෙමු.

මේ පිළිබඳව විස්තර කිරීම සදහා මම මා විසින් රචිත ෆේස්බුක් දහම් පිටුවෙහි
දහම් පිටු 779 – 2 අදියරේ 9 වන උප අදියරේ හි 1 සිට 4 වන පිටුව දක්වා ඉදිරිපත් කරමි.

දහම් පිටුව 779 – 2.9.1

දැන් අපි හැරෙන්නේ පෙරදිග වෙතයි. පෙරදිග දර්ශනය බටහිර දර්ශනයෙන් වෙනස් වන ආකාරය අපි දහම් පිටුව ආරම්භක යුගයේ 2017 පෙබරවාරි මස සාකච්ඡා කර ඇත. ඔබ දහම් පිටුව මුලටම ගොස් පරීක්ෂා කර බැලුවොත් එහි දී ඔබට…

  • දර්ශනය යනු කුමක්ද ?
  • ලෝකයේ ශ්‍රේෂ්ඨතම දෙය දර්ශනය බව හා සත්‍යාවබෝධය ලැබෙන්නේ එයින් බව
  • බටහිර දර්ශනය හා පෙරදිග දර්ශනය ලෙස දර්ශනය වෙන් කර හැදෑරීම
  • බටහිර දර්ශනය පිළිබඳව වෙනම
  • පෙරදිග දර්ශනය පිළිබඳව වෙනම… ආදී වශයෙන්…

සියල්ල විස්තර කර තිබෙනු දැකගත හැක. එබැවින් ඒ කොටසම මිස පෙරදිග ආගමික ධාරාව යටතේ විස්තර කළ යුතු අනෙකක් නොමැති බැවින් මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාඨක භවතුන්ට විවේකීව දහම් පිටුව පේජ් එකේ වර්තමාන 779 පිටු කාණ්ඩයේ සිට ආපස්සට ගොස් දහම් පිටුව 5 – 10 පිටු ( Posts ) සොයා කියවන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

එසේම ඉතා කෙටියෙන් මෙහි පෙරදිග ආගමික ධාරාව විස්තර කරමි.
ඉන්දියානු අර්ධද්වීපයේ පහළ වූ දර්ශනය මූලික වශයෙන් පෙරදිග දර්ශනය වේ. ලෝකයේ සාක්ෂි හමුවන ඉපැරණිතම ශිෂ්ටාචාරයන් සතරින් දෙකක් වූ ඊජිප්තුව හා මෙසපොටේමියාව පිළිබඳව අපි මේ 779 – 2 අදියරේ දී සාකච්ඡා කළෙමු. ( මින් පෙරත් ශිෂ්ටාචාරයන් වූ බව සිහි තබා ගන්න. ඒවා කාලයේ වැලි තලාවෙන් යටවී පුරාවිද්‍යාත්මක සාක්ෂි අතුරුදහන් වී ඇත. ) මේ ඉන්දියානු භූමියේ උතුරේ ඉන්දු නිම්නයේ දුරාතීතයට අයත් ශිෂ්ටාචාරයක නටඹුන් මතු වන්නේ මොහෙන්දොජාරෝ සහ හරප්පා නගර ද්වයෙනි. මේ ශිෂ්ටාචාරය උතුරේ සිට හා වයඹ දෙසින් සංක්‍රමණය වූ ජන වර්ග විසින් විස්ථාපනය කරන ලදී. මධ්‍යධරණී ප්‍රදේශයේ සිට ලොව ජනාවාස කරමින් සංක්‍රමණය වූවා යැයි සැලකෙන මානව සංක්‍රමණ ඇරඹේ. මේ මුල්ම මානව වර්ග පිළිබඳව ඩාවින් ගේ පරිණාම වාදය පිළිගත් විද්‍යාඥයන් අදහස් දැක්වූයේ අප්‍රිකා මහාද්වීපයේදී වානරයාගෙන් සම්භවය වූ ආදී මිනිසාගෙන් පැවත එන, වර්තමාන මිනිසා ගේ පූර්වජයා ( Homo sapiens sapiens විශේෂයේ මුල් මිනිසුන් ) මෙසේ මධ්‍යධරණී ප්‍රදේශයේ දී හිතකර දේශගුණික තත්ව යටතේ වර්ධනය වී පසුව එතැන් සිට

  1. යුරෝපයට හා ආසියාවට කොටසක් ද
  2. ආපසු අප්‍රිකාව ට කොටසක් ද

ලෙස ව්‍යාප්ත වූ බවයි. ඔවුන් ඒ කොටස් ප්‍රාථමික නම් දෙකකින් හදුන්වනු ලැබීය. ඒ කොටස් දෙකින් 1 කොටස සෙමිටික් ( ආර්ය ) සහ 2 කොටස හෙමිටික් ( අනාර්ය ) ලෙසයි. පසුව යුරෝපයේ යටත් විජිත වාදය යටතේ ඒ ඒ රටවල් අධිරාජ්‍යවාදයට නැඹුරු වීමෙන් තමන් ගේ එකී සදොස් ක්‍රියා කලාපය විද්‍යාත්මක පදනමකින් නිදොස් කොට දැක්වීම සදහා ඔවුන් ගේ මුග්ධ උගතුන් පෙන්වූයේ සෙමිටික් ජන වර්ග පෙනුමෙන්, මොළයේ වර්ධනය හා ක්‍රියාකාරීත්වයෙන්, දක්ෂතා අතින් හෙමිටික් ජන වර්ග වලට වඩා උසස් බවත් ඒ නිසා සෙමිටික් යුරෝපීයයන් විසින් හෙමිටික් අප්‍රිකානුවන් පාලනය කිරීමේ දොසක් නොමැති බවත් ය.
මෙහි හාස්‍යජනක දෙය වන්නේ ඔවුන් ගේ එකී වර්ගීකරණය අනුව ආසියානු මිනිසුන්ද සෙමිටික් වුවත් ඔවුන් එම ජන වර්ග ද සැලකූයේ පහත් කොටය. මෙයින් බටහිර දැනුමේ කුහක බව පෙනේ. මෙයට ආගමික වශයෙන් අර්ථ කථන දුන් යුරෝපීය අධිරාජ්‍යවාදයට ( වික්ටෝරියානු කොම්ප්‍රදෝරු පෙළැන්තියට ) ගැතිකම් කළ පූජකයන් විසින් බයිබලයේ සදහන් සිද්ධියක් හුවා දක්වමින් සෙමිටික්වරුන් උසස් බවත් හෙමිටික්වරුන් පහත් බවත් පෙන්වූහ. අප මැද පෙරදිග ඉතිහාසය ගැන දහම් පිටුව 779 – 2 අදියර ආරම්භයේ කියද්දී ආබ්‍රහාම් ට පෙර අතීත යුගයේ පොළොවේ මහා ජල ගැල්මක් ඇති වූ බවක් පිළිබඳව බයිබලයේ වාර්තා වන බව කීවෙමු. පොළොවේ යෝධ මිනිසුන් ( නෙප්ලීම්වරු ) විසූ සමයේ එකී ජල ගැල්ම සිදු වූ බවත් ඉන් පැරණි ලෝකය විනාශ වූ අතර ඉන් නෝවා නම් ධර්මිෂ්ඨ මිනිසා හා ඔහු ගේ පවුලේ අය ඔවුන්ගේ යහපත් බව නිසා දෙවියන් විසින් ඔවුන්ට අනතුරු අගවා මතු සිදුවන්නට යන විපත දැන්වූ බැවින් නැවක් තනා පවුලේ සියලු දෙනා ඊට ඇතුල්ව වාසය කොට ජල ගැල්මෙන් බේරී ඉන් පසු බිහි වූ නව ලෝකයට ඇතුල් වූ බවත් ඉන් කියැවේ. මෙකී නෝවා ගේ පුතුන් වන ෂෙම් සහ හාම් දෙදෙනා ගෙන් පැවත එන්නන් පිළිවෙලින් සෙමිටික් සහ හෙමිටික් බවත්, බයිබලයේ වාර්තාව අනුව ෂෙම් උසස් වූ හා හාම් පහත් වූ නිසා සෙමිටික්වරු උසස් බවත් හෙමිටික්වරු පහත් බවත් ඔවුන් උගැන්වූහ. ඒ ආගමික වශයෙන් ද මිනිසුන් වර්ග කර දැක්වූ අයුරුයි. ( මෙවැන්නක් බයිබලයේ අදහස් කර නොමැති අතර අප කී පරිදි එය එකල අධිරාජ්‍යවාදී පූජකයන් විසින් සිය ආගම ඔවුන් ගේ පටු අරමුණු උදෙසා නැති අදහසක් ඇති ලෙස වැරදියට මවා පෙන්වා භාවිතා කළ අයුරුය. අනෙක් අතට ඩාවින් පරිණාමවාදය හා බයිබලය අහසට පොළොව මෙන් පරස්පර ප්‍රස්තුතයන් දෙකකි. එහෙත් අධිරාජ්‍යවාදී අරමුණු උදෙසා ඔවුහු එක් වූහ. ) මේ සියල්ලේ ප්‍රථිඵලයක් වූයේ ජාත්‍යාන්තර වහල් වෙළදාම නීත්‍යානුකූල ලෙස තව දුරටත් ලෝකයේ පැවතීම, සුදු ජාතිකයන් විසින් කලු ජාතිකයන් පහත් කොට දැක්වීම හෙවත් වර්ණ භේද වාදය ( ඇපාතයිඩ් ප්‍රතිපත්තිය ) හා බටහිර රටවල් විසින් ලෝකය සූරා කෑම විය. විද්‍යාත්මක බොරුවක් වූ ඩාවින් වාදය ලොවට ගෙනා එක් ප්‍රතිවිපාකයකි ඒ. පසුව හිට්ලර් විසින් නට්සි වාදය ලෙස ඉදිරිපත් කළේද ලොව පිරිසිදුම සෙමිටික්වරු ජර්මානුවන් බව පෙන්වීමට විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමෙනි ( ඒවා අසත්‍ය කරුණු වේ : මන්ද ඇත්තටම ලොවේ සෙමිටික් හා හෙමිටික් ලෙස මිනිස් වර්ග දෙකක් නැත ) ඩාවින් වාදීහු බාහිර පෙනුම අනුවද මිනිසුන් බෙදීමට උත්සාහ කර ඇත.

උත්තරාර්ධගෝලීය ජනයා ( සමකයට උතුරේ ඇති රටවල් )

  1. කෝකසොයිඩ් ( යුරෝපය, යුරේසියාව/ රුසියාව, මැද පෙරදිග, දකුණු ආසියාවේ ස්වදේශීයයන )
  2. නීග්‍රොයිඩ් ( අප්‍රිකාවේ ස්වදේශීයයන් )
  3. මොංගොලොයිඩ් ( මධ්‍යම, අග්නිදිග හා නැගෙනහිර ආසියාවේ ස්වදේශීයයන් ) ලෙසත්

දක්ෂිණාර්ධගෝලීය ජනයා ( සමකයට දකුණෙන් ඇති රටවල් )

  1. ඔස්ට්‍රොලොයිඩ් ( ඕස්ට්‍රේලියානු හා ශාන්තිකර දූපත් ස්වදේශීයයන් )
  2. බුෂ්මනොයිඩ් ( ඇමෙරිකානු ස්වදේශීයයන් )
  3. පොලිනිසොයිඩ් ( ආක්ටික් හා ඇන්ටාක්ටික් ධ්‍රැව ප්‍රදේශ හා අයිස්ලන්ත, ග්‍රීන්ලන්ත දූපත් වාසී ස්වදේශීයයන් ) ආදී ලෙසය.

මේ සියල්ල බොරුවකි.
සියලුම ශාස්තෘන්වහන්සේලා ලෝකයේ සියලු මනුෂ්‍යයන් එකම මිනිස් කැලක් බව කීහ. සෑම ආගමික ග්‍රන්ථයක්ම මූලික වශයෙන් එය තහවුරු කරයි. එහෙත් මිනිසා සිය පටු අරමුණු නිසා ද්වීයික වශයෙන් තම වර්ගයා තමා විසින්ම ජාති ( භාෂා පදනම්ව ) වශයෙන්, ආගම් වශයෙන්, කුල / ගොත් වශයෙන් බෙදයි.
අප මේ අතිරේක දුරක් ආවේ උතුරු ඉන්දියානු ශිෂ්ටාචාරය මධ්‍යධරණී ප්‍රදේශ වලින් ආ ජන වර්ගයන් ගේ සංක්‍රමණයන් මගින් අභාවයට ගිය බව කියමින් සිටින විටය. දැන් ආපසු එතැනට යමු…
අපේ සැබෑ විග්‍රහය අනුව ලොවේ එකම මිනිස් කැළ ඉතාමත් ඈත දුරාතීතයේ පොළොවට ආ ආභස්සර බ්‍රහ්මයන් ගෙන් විකාශනය වූවකි. ඔවුහු පොළොව පුරා නොයෙක් තැන ශිෂ්ටාචාරයන් බිහි කළහ. දැනට හමුවන පැරණිම ශිෂ්ටාචාරයන් සතරට පෙරත් තිබූ ශිෂ්ටාචාරයන් ගෙන් පැවත ආ මිනිසුන් මෙකී පැරණි ශිෂ්ටාචාරයන් ඇති කළහ. තවත් කොටසක් සංක්‍රමණයන් රටාවක වූහ. ඔවුන් ගේ ආගමනයකින් පැරණි ශිෂ්ටාචාරයන් විස්ථාපනය වී නව ශිෂ්ටාචාරයන් බිහි වූහ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට ද එසේ විය. ඉතිහාසයේ අප අර කී පැරණි මතවාද නිසා ඉන්දු ශිෂ්ටාචාරය විස්ථාපනය කළ ජන වර්ග සෙමිටික් / ආර්ය ලෙස හදුන්වනු ලැබේ. එය හුදෙක් හැදින්වීමේ නාමයක් / සංඥා නාමයක් ලෙස පමණක් අපි භාවිතා කරමු.
( ඉතිහාසය අනුව මේ සෙමිටික් ආර්යයන් ගිනි පිදීම හෙවත් සිය අස්වැන්න / ගොවියන් නම් ධාන්‍ය මුල් කොටස හා සත්ව පාලකයන් නම් රැළේ හොදම සතුන් හෝ වෙනත් පූජා ද්‍රව්‍ය දවන පූජා / යාග හෝම කොට තමන් විශ්වාස කළ දෙවියන්ට පූජා පැවැත්වූ අයයි. මේ අනුව ඊශ්‍රායල්, අරාබි හා ඉන්දු ආර්යන් පිළිවෙලින් ටෝරා හෙවත් බයිබලය පැරණි ගිවිසුම අනුව, අල් අර්ෆ් ( ඉස්ලාමය ට පෙර පැවති අරාබියේ සමාජ හා ආගමික රීති ) අනුව හා වේදය අනුව මෙසේ විවිධ පුද පූජා කළහ. නමුත් ආර්ය නොවන ජන වර්ග අතර එවැන්නක් ප්‍රකට නොවේ. අතීතයේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් රාවණ රාම පුවතේ රාවණ රජු එසේ යාග හෝම නොකළ අයෙකි. නමුත් රාම රජු යාග හෝම කළ අයෙකි. මේ කරුණ මතක තබා ගන්න, මන්ද පෙරදිග දර්ශනය මෝරා ආස්තිකවාදී යුගයෙන් නාස්තික දර්ශනය ට එන විට ( උපනිශද් යුගයේ එනම් චාර්වක දර්ශනය දැරූ ෂට් ශාස්තෘන්, ද්වාදසාපේක්ෂා දේශනා කළ ජෛන මහා වීරයන් හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කළ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේ ) මේ ගිනි පිදීමේ සංකල්ප තාර්කිකව බැහැර කළහ. උන්වහන්සේලා විසින් සැබෑ පූජාව පූජා ද්‍රව්‍ය ගින්නේ දැවීම නොව ආධ්‍යාත්මියේ කෙළෙස් ප්‍රඥාවේ ගින්නෙන් විනාශ කිරීම බව පෙන්වූහ. අපි ක්‍රිෂ්ණා මුනිදුන් ( භගවත් ගීතාව ), ජේසුස් වහන්සේ ( නව ගිවිසුම ), නබිතුමා ගේ ඉගැන්වීම් ( කුරාන්, සුන්නා, ඉජ්මා හා කියාස් ) බැලුවද උන්වහන්සේලා ද එබදු දේ ප්‍රතික්ෂේප කර තිබේ. )
අප මෙකී කරුණු මෙතරම් විස්තර කළේ අපේ දැනුම හෝ බහුශ්‍රැත බවක් පෙන්වීමට නොව මිනිසුන් වර්ග කිරීමේ පදනම් විරහිත මෝඩකමේ ඉතිහාසය මුල සිට ඔබට අවබෝධ කර දීමටය. ඔබ මේ තොරතුරු අනුව මනාව දැනුවත් වන්නට ඇතැයි සිතමි. අපි ඉන්දියාවේ මෙකී ආර්ය සංක්‍රමණයන් මගින් ගංගාධාර ජනාවාස වන්නට පටන් ගත් පසු ක්‍රමයෙන් පෙරදිග ආගමික දර්ශනය බිහි වූ අයුරු එහි වෛදික යුගයේ ඔවුන් චතුර් වර්ණ අනුව මිනිස් සමාජය බෙදූ අයුරුත් දක්වන්නෙමු.

දහම් පිටුව 779 – 2.9.2

ඉන්දියානු අර්ධද්වීපයේ සශ්‍රීක මහා ගංගා නිම්න ඔස්සේ ජනාවාස පිහිටුවා ගනිමින් ගොවි බිම් නිර්මාණය කරමින් කෘෂි කර්මාන්තය හා ගව පාලනය පදනම් කරගත් ශිෂ්ටාචාරයන් ශ්‍රේණියක් ඇතිකරගනිමින් මේ ජන වර්ග ව්‍යාප්ත වූහ. කල් යතම අංග, මගධ, කාසි, කෝසළ, වජ්ජි, මල්ල, කුරු, පංචාල, සූරසේනා, වේදි, වත්ස, මත්ස, අස්මක, අවන්ති, ගංධාර, කාම්බෝජ යනුවෙන් සොළොස් මහා ජනපද ලෙස හැදින්වෙන රාජ්‍යයන් මාළාව ජම්බුද්වීපයේ හෙවත් අතීත භාරතයේ ස්ථාපනය විය. මේ ජනපද එක් රජෙක් යටතේ රාජාණ්ඩු ක්‍රමයටත්, පාලකයන් රැසක් එක්වී සමගියෙන් පාලනය කිරීම හෙවත් සමූහාණ්ඩුව ක්‍රමයටත් යන දෙයාකාරයෙන්ම ස්වකීය පාලන තන්ත්‍ර සකසා ගත් හ. මහා කෙත් බිම් හා ගවපට්ටි, අති විශාල ගණනක ගැල් සාත්තු වෙළදාම හරහා පසුව ගොඩ නැගෙන සේද මාවත හරහා ලොව අන් රටවල් හා අන්තර්ජාතිකව සම්බන්ධ වීම, පීතෲ මූලික සමාජය හා සංවාදශීලී සංස්කෘතියක් මේ ශිෂ්ටාචාරය තුළ කැපී පෙනෙන අංගයෝය. ව්‍යාප්ත වූ වර්ග සැතපුම් ප්‍රමාණය අනුව විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ ශිෂ්ටාචාරයක් ලෙස මෙන්ම ලෝකයේ ඉදිරිපෙළ සභ්‍යත්වයන් අතර පළමු මට්ටමේ ශිෂ්ටාචාරයක් වන්නේ එහි ඇතිවූ අසමසම දාර්ශනික යුගය නිසාය. ඒ ඒ රාජ්‍යයන් විචාල රජවරු අතරින් මහා රජවරු ( බිම්බිසාර මහරජ හා අජාසත්ත මහ රජ ) බිහිවී මුලු අර්ධද්වීපයම පාලනය කළහ. තවද අධිරාජ්‍යයන් දෙදෙනෙකු බිහි වූහ ( ධර්මාශෝක අධිරජ හා කණිෂ්ඛ අධිරජ ) ඔවුන් ගේ අධිරාජ්‍යයන් අර්ධද්වීපය ඉක්මවා ගියේය. එසේම මේ ග්‍රහ ලෝකයේ මහා දාර්ශනික විප්ලවය මෙහි සිදු විය. පෙරදිග දර්ශනයේ නිජ බිම ද අසමසම අධ්‍යාත්මික බල ශක්තියක් ගැබ් වූ ජය භූමියක් ද වේ. බටහිරින් හා නැගෙනහිරින් දේශදේශාන්තරවලට සම්බන්ධ වීම තුළ ඒ ඒ දෙසින් බොහෝ සංස්කෘතික වටිනාකම් හා දර්ශන අර්ධද්වීපයේ රැස් වේ. ඒ සියලු යහපත් දෙය අවසානයේදී ලැබුණේ අර්ධද්වීපයේ දකුණු අග යාබදව පිහිටි ශ්‍රී ලංකාවට ය. ලෝකයේ ගුරුත්ව බලය අවම ස්ථානය වූ ශ්‍රී ලංකාව ලෝකයේ ධර්ම භාණ්ඩාගාරය වූයේ ය.

දහම් පිටුව 779 – 2.9.3

ඉන්දියානු අර්ධද්වීපයේ ප්‍රධාන ප්‍රස්තුතය වනාහි යෝගීන් ගේ නිත්‍ය භූමිය වීමයි.
යෝග දර්ශනය කවදා ආරම්භ වීද යන්න විසදිය නොහැක. අප දන්නා ඉතිහාසයේ මතු නොව ඉන් එහා ඉතිහාසයේ ද යෝග පැවතිනි. අර්ධද්වීපයේ උත්තර පථය සීමාව වූ හිමාලය කදුකරය මූලික වූ උස් බිම් ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරයන් ට ත් ඈත යුගයේත් යෝගීන් ගේ වාස භූමියක් විය. ලෝකයේ ඉන්දියානු භූමියේ ඉතිහාසය සම්බන්ධයෙන් පවතින පැරණිම ලේඛණ වේදයන් වේ. ඉන් මෙහා, එනම් වේද ග්‍රන්ථ වලට පසුව ලියැවෙන මහා භාරතය, රාමායණය, භගවත් ගීතාව, භගවත් පුරාණය යන ඓතිහාසික ග්‍රන්ථ වලින් පැවසෙන්නේ වේදයට එහා අතීතයකි.
එනම් අර පැරණිම ශිෂ්ටාචාරයන් සතරෙන් එකක් වූ ඉන්දු නිම්න – මොහෙන්දොජාරෝ හරප්පා ශිෂ්ටාචාරයටත් ( 2000 BC ට එහා ) එහා අතීතයේ පුරාවිද්‍යාත්මක සාක්ෂි බොහෝ දුරට කාලයේ වැලි තලාවෙන් යට වූ යුගයක සිදුවූ සිදුවීම් වේ.
මේවා ජන ප්‍රවාද ලෙස පරපුරින් පරපුරට රැක ගෙන පසුව පඩිවරු විසින් ග්‍රන්ථ ලෙස සංරක්ෂණය කරන ලදී. මහා භාරතයේ කතාන්දර…
( මහා භාරත මහා වීර කාව්‍යමය හා ගද්‍ය සංග්‍රහයේ වනාහි භගවත් ගීතාව හා භගවත් පුරාණ ලියැවූ ව්‍යාස මුනිතුමා ප්‍රධාන කතුවරයා වේ, එතුමා ගේ ගිහි කළ පුත්‍ර සුක මුනි , ශිෂ්‍ය ව්‍යාසම්පයාන මුනි, ජනමේජය රජු සෙසු කතුවරු වේ. කෞරව යුද්ධය, භිෂ්ම, ද්‍රෝණ, කර්ණ, ශල්‍යය සෙන්පතිවරුන් ගේ සටන්, යුධීෂ්ථිර සහ සොහොයුරන්ට ‍රාජ්‍ය බලය ලැබීම ප්‍රධාන කතා වස්තු වේ. අතුරු කතා වස්තු ලෙස දුෂ්‍යන්ත රජු හා සකුන්තලා කුමරිය පිළිබද පුවත ආදිය වේ. )
…වලට අයත් ඒ ඈත අතීතයේ ( 15,000 – 10,000 BC පමණ ) ඉන්දියානු භූමිය භාරතය ලෙස හැදින්විනි.
වාල්මිකී විරචිත රාමායණය ට අදාළ යුගයට…
( දශරථ මහ රජු, රාම රජු හා ලක්ෂ්මන්, භරත කුමාරවරු, සීතා දේවිය, බලි රජ හනුමාන්, රාවණ මහ රජු, විභීෂණ, කුම්භකර්ණ කුමාරවරු, කපිල හා පුලස්ථි ඍෂිවරු පිළිබඳව පුවත )
10,000 BC – 7500 BC පමණ අතීතය අයත් වේ. භගවත් ගීතාවට ( මෙය මහා භාරතයේම අවසන් පරිච්ඡේදයක් ලෙස දැක්වේ ) අයත් වන්නේ 5000 BC පමණ…
( බ්‍රින්දාවනයේ විසූ මුලු ලොවක් ස්වකීය වස්දඩුවේ අසිරිමත් සංගීත ස්වරයෙන් අමන්දානන්දයට පත් කළ ක්‍රිෂ්ණා සහ එතුමාට පෙම් බැදි රාධා වන් ගේ පෙම් පුවත, අර්ජුන් හා ක්‍රිෂ්ණා අතර ධර්ම සංවාදය, අස් රිය පදවමින් ක්‍රිෂ්ණා විසින් කළ ප්‍රාතිහාර්ය )
…වේ.
රාමායණය, මහා භාරතය, භගවත් ගීතාව, භගවත් පුරාණය ග්‍රන්ථ වලට අයත් මේ සෑම කලෙකම යෝග දර්ශනය ද විය. යෝග පිළිබඳව විමසීමේදී එය ප්‍රධාන ධාරාවන් 6 ක් හෝ 7 ක් ඔස්සේ විහිදේ.

  1. ඥාන යෝග 2. භක්ති යෝග 3. මන්ත්‍ර යෝග 4. යන්ත්‍ර යෝග 5. තන්ත්‍ර යෝග 6. රාජ යෝග ආදී වශයෙනි.

දහම් පිටුව 779 – 2.9.4.

යෝග විවිධාකාර බැව් අපි කලින් පිටුව තුළින් කතා කළෙමු.
ලෝකයේ කුමන ආගමික දර්ශනය ගත්තත් එය මේ යෝග ක්‍රම අතරින් එකක් වේ.

මැද පෙරදිග ආගමික විශ්වාස භක්ති යෝග ක්‍රම වේ. භක්තිය / සැදැහැවත් බව තුළින් මනස උසස් කිරීම ඊට අයත් ය. පෙරදිග දර්ශනය තුළ ඇති දේව විශ්වාස හා බ්‍රාහ්මණ විශ්වාස ද එබදු භක්ති යෝග වේ.

උපනිශද් හා නාස්ථික දර්ශනය ( චාර්වක, ජෛන හා බෞද්ධ ) ඥාන යෝග ලෙස සැලකේ. එහිදී ප්‍රඥාව ප්‍රධාන ස්ථානය ට ගැනෙන බැවිනි. ඇතැම් අවස්ථාවන් හි ඈත පෙරදිග ( චීනය, ජපානය ) තාඕ, කොන්ෆියුසියස්, ෂින්ටෝ ඉගැන්වීම් හා අපරදිග / බටහිර දර්ශනය මැද පෙරදිගින් වෙන් කර ගත් විට ග්‍රීක් හා රෝම දාර්ශනිකයන් යටතේ එකී යෝග ක්‍රමයන් යටතේ ගිණිය හැක.

එසේම මන්ත්‍ර හා යන්ත්‍ර යෝග ක්‍රම සම්බන්ධයෙන් ලෝකයේ පෙර අපර දෙදිගින්ම සාක්ෂි ලැබෙන අතර උසස් ආගමික විශ්වාසයන් ගෙන් බැහැර වූ ක්‍රම ද වේ.
මනුෂ්‍යයන්ට සාමාන්‍යයෙන් අදෘශ්‍යමාන ප්‍රජාව අතර දීප්තිමත් / සුදු බලවේග ලෙස ඉහළින් සිටින දෙවිවරු හා ඔවුන්ට සමීප ඕපපාතික ජීවීන් උසස් / ඉහළ මට්ටම වන අතර අමනුෂ්‍ය හා ප්‍රේත යටතට ගැනෙන කලු / අදුරු බලවේග ( භූතයන් ) පහළ / පහත මට්ටම වේ. මේ පහළ මට්ටම් සමග සම්බන්ධ වී කාර්යයන් ඉටු කරවා ගැනීමේ ශිල්පීය ක්‍රම වෙනම දැනුමක් ලෙස පැරණි ලෝකයේ වැඩුනු අතර මන්ත්‍රවේදීන් / භූතවේදීන් ලෙස මන්ත්‍ර විද්‍යා, භූත විද්‍යා ගුරු කුල ඒ ඒ ශිෂ්ටාචාරයන් හි ඇති වී තිබේ.
පැරණි ඊජිප්තුවේ මුල්ලාවරු යනු මන්ත්‍රවේදීන් වෙති. මෙසපොටේමියාව, බබිලෝනිය ආදී අවට ශිෂ්ටාචාරයන් හි ඔවුන්ට සමාන නොයෙක් ආචාර්ය පරම්පරා වෙති. මේ දැනුම් පද්ධති ඉතිහාසයේ ඇති වූ යුද්ධ වලින් විනාශ වූ අතර මධ්‍යධරණී ප්‍රදේශයේ ඇතිවූ කුරුස යුද්ධ අවසානයේ දී ඇලෙක්සැන්ඩ්‍රියා පුස්ථකාලය ගිනි ගනිද්දී ඉන් ඉතුරු වූ යම් දැනුමක් යුරෝපයේ ඇත. මේවා පුහුණු කිරීම ක්‍රිස්තියානි සංස්කෘතිය යටතේ අත් හිටුවා තිබුණි.
ඉන්දියාවේ ඈත අතීතයේ සිට ඒ ඒ ප්‍රාදේශීය පදනමින් තිබූ මේ විද්‍යාවන් ඒ ඒ ගෝත්‍ර යටතේ ඒ ඒ කණ්ඩායම් සතු උරුම ලෙස පැවතුනි.
උපනිශද් ඉන්දියාවේ ගන්ධාරී විද්‍යාව, මණි කණ්ඨ විද්‍යාව ආදී ලෙස නොයෙක් අද්භූත දේ කළ හැකි දැනුම් පද්ධති විය.
මේ නිසා බෞද්ධ ඉතිහාසයේ ද භාවනා තුළින් ප්‍රඥාව අවදි කර ධ්‍යාන වඩා ලැබෙන අභිඥා බලයෙන් ( ඥාන යෝග ) තුළින් ප්‍රාතිහාර්ය පෑම භික්ෂු සංඝයා ට තහනම් කොට විනය නීති පැනවී ඇත්තේ ඇතැම් විට කපටි පුද්ගලයන් ඒ ඒ විද්‍යාවන් ප්‍රගුණ කර එයින් නොයෙක් පෙළහර පෑ හැකි නිසා එසේ කොට ඔවුන් අධිගමනයන් ලැබූවන් සේ සමාජයේ පෙනී සිටීම වළක්වා සසුන රැක ගැනීමටත් එමෙන්ම අනෙක් අතට සමාජයේ පුද්ගලයන් විසින් භික්ෂු සංඝයා අධිගමනයන් තුළින් ලැබූ හැකියාවන් හරහා පෙළහර පෑවද ඒ අර විද්‍යාවකින් කරන ලද්දක් බවට චෝදනා කොට ශ්‍රද්ධාව විනාශ කර ගැනීම වැළැක්වීමටත් ය.
ලෝකයේ සෙසු ප්‍රදේශ අතුරින් යුරෝපය හා උතුරු ආසියාව, මැද පෙරදිග හා ඉහළ අප්‍රිකාව, පෙරදිග ආසියාව, ඇමෙරිකා මහා ද්වීප වල, අප්‍රිකාවේ හා ඕස්ට්‍රේලියාවේ ස්වදේශීයයන් අතර මෙවැනි යෝග ක්‍රම තිබිණි. යම් ප්‍රමාණයක් අදටත් අප්‍රකටව ඇත.
දකුණු ආසියානු කලාපයේ අපට සමීප පද්ධති වශයෙන් මලයාලම් මන්ත්‍ර ශාස්ත්‍රයන් ( දකුණු ඉන්දියාව ) හා රුහුණේ පාරම්පරික මන්ත්‍ර ශාස්ත්‍ර ( ශ්‍රී ලංකාවේ දකුණු පළාත ) දැක්විය හැක.

තන්ත්‍ර යනුවෙන් දැක්වෙන යෝග ක්‍රම ළං වන්නේ සෞන්දර්ය විදීම හා එයින් අවබෝධය කරා ළං වීමය. සාමාන්‍යය පුද්ගලයන් ගේ සිට රජවරු, සිටුවරු දක්වා අති විශාල පරාසයක පුද්ගලයන් මේ ක්‍රම පුහුණු කර ඇත.
කාම විද්‍යාව හා බැදුනු පෞරාණික කජුරාහෝ දෙවොළ බදු ඓතිහාසික ප්‍රස්තූතයන් වටා තන්ත්‍ර යෝගවල පසුබිම නිර්මාණය වී තිබේ.

මෙසේ දක්වන ලද යෝග දර්ශනය සම්බන්ධයෙන් සැලකූ විට එය අතිශයින් පුළුල් විෂයක් බවත් සමස්ථ ලෝක මානව ශිෂ්ටාචාරයන් ඒ මත බිහිව ඇති බවත් එහි ආරම්භය ඉන්දියානු භූමි ප්‍රදේශය බවත් පෙනේ.

මූලික වශයෙන් යෝග වල පවතින ප්‍රධාන සංසිද්ධිය නම් ඉරියව් පැවැත්වීම හා ආසන වේ. නිදීම, හිදීම, සිට ගැනීම හා ඇවිදීම යන සතර ඉරියව් තුළ අති විශාල ආසන සංඛ්‍යාවක් ඇත. යෝගාසන වැඩීමෙන් මානව ශරීර හා මානසික සෞඛ්‍ය ඉතා යහපත් වේ. එතැනින් එහා යෝග ක්‍රම ඇත. ඒවා යට කී පරිදි ආගමික දර්ශනයන් අනුව වෙනස් වේ.

මෙතෙක් අප සාකච්ඡා කළ යෝග අතරින් වඩා උසස් යෝග පිළිබඳව තරමක් එහාට ගියහොත් පුහුදුන් මානව සමාජයෙන් වෙන් වී හිමාලය බදු හුදෙකලා ආරණ්‍යය භූමි ප්‍රදේශ තෝරා ගෙන බවුන් වඩන තවුසන් ගෙන් ඉන්දියානු භූමිය කිසිදා හිස් නොවිනි.
මේ වනාහි ලෝකයෙන් මේ කලාපයටම ආවේණික වූ සුවිශේෂී කරුණක් වේ. අප්‍රකටව ජීවත් වූ ඉන්දියානු යෝගීන් ගේ අසිරිමත් හැකියා පිළිබඳව ලොවට හෙළි කළ පෝල් බ්‍රන්ටන් වැන්නවුන් ගේ පර්යේෂණ තොරතුරු පිළිබඳව අපි කලිනුත් දහම් පිටුව තුළින් පවසා ඇත්තෙමු.
බෞද්ධ දර්ශනය පහළ වූ යුගය, එනම් උපනිශද් යුගයේ අවසාන අවස්ථාව තුළ මේ උසස් අධ්‍යාත්මික බලයන් හෙවත් අභිඥා පිළිබඳව ලෝකයට සම්පූර්ණ ලෙස හෙළි කොට තිබේ. එයින් තරමක් දුරට වෙනස් ලෙස හින්දු සම්ප්‍රදායයන් හි විස්තර වේ.
අන් කිසිදු සමයක නොමැති බෞද්ධ විදර්ශනාව ලෝකයේ පහළ වූ අති ශ්‍රේෂ්ඨතම යෝග ක්‍රමය බව අවිවාදිතය. එයින් ලෝකයේ ඇති සියලු මායාවන් / වැරදි දැකීම් පහව යයි. ලෝකයේ ඉන් මෙහා බිහිවූ අන් සියල්ල සත්‍යයේ ආසන්න කියවීමක් පමණි.
ධර්මය ට පුද්ගල අර්ථ දැක්වීමක් දී එය ආත්ම කථනයකට ලක් කර මැද පෙරදිග ඒක දේව වාද, ඉන්දියානු විශ්වාස තුළ හා ලොව වෙනත් ආගමික සම්ප්‍රදායයන් තුළ විවිධ නාමයන් තුළින් එය ආමන්ත්‍රණය කළ අයුරු අපි කලින් පෙන්වීමු. නමුත් ධර්මය අනාත්ම වශයෙන් දැක කිසිදු අයුරකින් දෘෂ්ඨි ගතික නොවී අවසාන පරම සත්‍යය ලොවට හෙළි කළ බෞද්ධ දර්ශනය හමුවේ ලොව සියලු දර්ශනයන් දෘෂ්ටි වාද ලෙස වර්ග වී යයි.

14 පරිච්ඡේදය – හින්දු ආගමික දර්ශනයේ විකාශනය ( 2 කොටස )

ලෝකයේ ප්‍රධාන ආගමික ධාරා තුනෙන් අප සාකච්ඡා කරන මේ පෙරදිග ආගමික දර්ශනයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් දැන් අපි ඊළග කොටස ඉදිරිපත් කරමු.

මේ පිළිබඳව විස්තර කිරීම සදහා මම මා විසින් රචිත ෆේස්බුක් දහම් පිටුවෙහි
දහම් පිටු 779 – 2 අදියරේ 9 වන උප අදියරේ හි 5 සිට 8 වන පිටුව දක්වා ඉදිරිපත් කරමි.

දහම් පිටුව 779 – 2.9.5

ඉන්දියානු භූමිය හා පෙරදිග දර්ශනය ගැන විස්තර කිරීම අති විශාල විෂයකි.
මේ දක්වා දහම් පිටුව 779 – 2 අදියර. 9 කාණ්ඩය . 1 සිට 4 දක්වා කොටස් මගින් මේ අති මහත් විෂය පථය හැකිතාක් සාරාංශ කර දැක්වීමු.
මේ අයුරින් ඔබට ජීවිතයේ කිසිදාක බොහෝ දුරට මෙතරම් කරුණු ප්‍රමාණයක් එක් ලිපියකින් කියවීමට නොලැබෙනු ඇත.

එසේම ලෝකයේ සමස්ථ දර්ශනය අතුරින් සාපේක්ෂව ඉන්දියානු දර්ශනය ඉතාමත් ඉදිරියෙන් සිටින දර්ශනය බවත් එම භූමියේ ඉතිහාසය ලොව සියලු ඉතිහාසයන් අතර විශිෂ්ඨ බවත් ඔබට වැටහෙනු ඇත.
දැන් අපි මෙහි සාමාන්‍යය ඉතිහාසය පිළිබඳව සලකා බලමු.
වේද ග්‍රන්ථ මගින් ආවරණය වන යුගය කොටස් සතරකට බෙදේ.

  1. ස්වභාවික වස්තු වන්දනාව හා බහු දේව වාදය 2. ඒක දේව වාදය 3. බ්‍රාහ්මණ වාදය 4. උපනිශද් යුගය.
    මුලින්ම ගංගාධාර නිම්න ජනාවාස වැසියෝ සිය කෘෂි ආර්ථිකය සශ්‍රීක කළ සාධක වූ හිරු එළිය, වර්ෂාව, භූමිය හා ගංගා දේවත්වයේ ලා පිදුහ. මෙසේ ක්‍රමයෙන් ඔවුන්ට අති විශාල දේව මණ්ඩලයක් ඇති විය. අහස, හිරු, සදු, තරු, වළාකුළු හා වැස්ස, පොළව, ගංගා, ගින්න ඇතුලු නොයෙක් මිනිස් ක්‍රියාකාරකම්, ගවයා ඇතුලු නොයෙක් සතුන් තුළින් හා අවසානයේ මරණය තුළින් ද ඔවුහු දේවත්වය දුටහ.
    ඉන්ද්‍ර, අග්නි, වරුණ, සෝම, යම ආදී දෙවිවරු රැසකි.
    මෙලොව දී කළ කී දේ අනුව මරණයට පෙර හා පසු ප්‍රති විපාක ලැබීම පිළිබඳව විශ්වාසය ඇති වී තිබිණි. ඒ අනුව දෙව් ලොව හා නිරය පිළිබඳව විශ්වාසය විය.
    පරලොව සම්බන්ධයෙන් ආත්ම විශ්වාසය අනුව යමකු මිය ගිය විට ආත්මය මළවුන් ගේ ලොවට යන බවත් එහි අධිපති යම දෙවියන් මිය යන අවස්ථාවේ පැමිණ ආත්මය රැගෙන යන බවත් ඔහු ගේ දූතයන් යම දූතයන් ලෙසත් විශ්වාස කළහ. මිය ගිය අය සුගතියට යැවීමට පුද පූජා කිරීමත් අවශ්‍ය විය.
    මේ අනුව ලොව නොයෙක් ශිෂ්ටාචාරයන් හි ඇතිවූ ප්‍රාථමික විශ්වාසයන් හි ආරම්භය මෙයින් පැහැදිලිව පෙනේ.

ක්‍රමයෙන් කලින් සුපුරුදු ලෙස අනෙක් ශිෂ්ටාචාරයන් ට පොදු වූ පරිදිම බහුදේව වාදය ඊළඟට පරිවර්තනය වන්නේ ඒක දේව වාදය වෙතටයි.
හින්දූන් ද ඒක දේව වාදය මහා බ්‍රහ්ම, පරමාත්ම, නාරායන ආදී නොයෙක් නමින් නොයෙක් අවස්ථා / යුග අනුව හදුන්වා තිබේ.

බ්‍රාහ්මණ වාදය බලවත් වන්නේ ශිෂ්ටාචාරයන් වඩාත් සශ්‍රීක වෙත්ම පුද පූජා විධි වඩා සංවිධාන ගත වීමත්, සංස්කෘතිය නිර්මාණය වීමත් නිසාය. සෙමිටික් හෙවත් ආර්යන් ට පොදු වූ යාග හෝම චාරිත්‍රානුකූලව ඉටු කිරීම හා සියලු සමාජ කටයුතු සම්බන්ධයෙන් බ්‍රාහ්මණයන් ගේ සහභාගිත්වය මේ යුගයේ දියුණු වේ.
පාලක පක්ෂය හා පූජක පක්ෂය බලවත් වූ වෙළද ප්‍රජාව සංවිධානය වූ සමාජ ස්ථර ලෙස සකස් වූ පුරුෂ මූලික සමාජයක් මෙසේ වෛදික යුගයේ නිර්මාණය විය.
වේද මගින් ආවරණය වන යුගය නිසා වෛදික යුගය නම් වේ. ඍග්, යජූර්, සාම, අථර්වන් යනුවෙන් වේදය සිව් වැදෑරුම් වේ. ( චතුර්වේදය ) එසේම වේදය තුන් කොටසක් ලෙස ද ඛණ්ඩනය කෙරේ / වේදත්‍රය. වේද යුගයේ හින්දු ධර්මය හෙවත් සනාතන ධර්මය, ජෝතිශ්‍රය, අර්ථ ශාස්ත්‍රය, ආයුර්වේදය, ව්‍යවහාර විද්‍යා ශිල්ප කලාවන් ගේ දියුණුව ඇති විය. වෛදික ඉන්දියාවේ අක්ෂර, ගණිත, මිණිත ආදී මූලික ශිල්ප 18 ක් ද නොයෙක් ශාස්ත්‍ර 64 ක් ද වූ බව පාලි හා සංස්කෘත සාහිත්‍යයෙන් හෙළි වේ. මෙය ගණන් බැලූ විට බටහිර විද්‍යාව මූලික වූ දැනුම් පද්ධතිය තරම් පුළුල් ක්ෂේත්‍රයක් වේ.
බ්‍රාහ්මණ යුගය තුළ…
මිනිසා සිය ජීවිතයේ ඒ ඒ කාල / වයස් පරිච්ඡේදයන්නුව අර්ථ ( ශිල්ප දැනුම ලැබීම ), කාම ( වෘත්තියක නියැලීම හා ජීවිතය විදීම ), ධර්ම ( ජීවිතයේ අර්ථය ), මෝක්ෂ ( ජීවිතාවබෝධය ) සෙවිය යුතු විය.
සමාජය චතුර් වර්ණ අනුව බ්‍රාහ්මණ ( පූජක ), ක්ෂත්‍රිය ( පාලක ), වෛශ්‍ය ( වෙළද ), ශුද්‍ර ( දාස ) ලෙස කුලක වලට බෙදන ලදී. ඒ ඒ කුලකයේ උපන් මිනිසාට මිය යන තෙක් සිය කුලයෙන් මිදීමට නොහැක.
ඔහු චතුර් ආශ්‍රම ධර්ම වලටද යටත් විය. බ්‍රහ්මචාරී ( ශිෂ්‍ය අවදිය ), ගෘහස්ථ ( විවාහක ජීවිතය ), වානප්‍රස්ථ ( වගකීම් ඊළඟ පරම්පරාව ට පවරන අවදිය ), සාන්‍යාසී ( විමුක්තිය සොයා නික්ම යන අවදිය ) යනු ඒ ආශ්‍රම ධර්මයි.

දහම් පිටුව 779 – 2.9.6

මුලින් ලිහිල් ප්‍රතිපත්ති තිබූ සමාජය බ්‍රාහ්මණ ධර්ම හරහා දැඩි බ්‍රාහ්මණ ආධිපත්‍යයට නතු වූ අතර එය බිද දමමින් ඉන්දියානු සමාජයේ සිදු වූ අධ්‍යාත්මික විප්ලවය උපනිශද් යුගයයි.
එය ඉන්දියානු සමාජයේ පමණක් නොව සමස්තයක් ලෙස පෘථිවි ග්‍රහ ලොවේම දන්නා කාල සීමාව තුළ සිදු වූ විශාලම අධ්‍යාත්මික විප්ලවය යි. එම කාල සීමාව නිසා පැහැදිලිව ලෝක ඉතිහාසයේ කේන්ද්‍රීය යුගයක් සළකුණු වන අතර එය අක්ෂීය යුගය ( Axis Age ) ලෙස නම් කෙරේ.
අක්ෂීය යුගයේ පෘථිවියේ සිදු වන විශේෂතාවය නම් යහපත් ආගම් රැසක ශාස්තෘන්වහන්සේලා අක්ෂීය යුගයේ සියවස් ගණනට අයත් කාල සීමාව තුළ බිහි වීමයි.
තාඕ දහම, කොන්ෆියුසියස් දහම, ජෛන දහම, බුදු දහම, කිතු දහම, ඉස්ලාම් දහම මේ යුගයේ බිහි වන අතර යුගයේ කේන්ද්‍රීය අවස්ථාව බෞද්ධ දර්ශනය පහළ වීමයි. එයින් පෙනෙන දේ නම් බුදු සසුන ලෝකයේ සියලු ආගම් සදහා බලපා ඇති බවයි.
පෘථිවියේ එබදු අක්ෂීය යුගයක් ලෙස සටහන් කළ හැකි කාල පරිච්ඡේදයක් යළි උදාවීමක් පෙනෙන තෙක් මානයක නැත.
උපනිශද් යුගයේ දී බ්‍රාහ්මණ දහම් ප්‍රශ්න කෙරිනි. තවුසන් හා විවිධාකාර ශ්‍රමණයන් වහන්සේලා ගේ බිහි වීම උපනිශද් යුගය ආරම්භ වීමයි.
දැන් ඉන්දියානු දර්ශනය බෙදෙන්නට ගන්නේ මේ අයුරිනි.
වේද පිළිගත් පාර්ශවය ආස්තික දර්ශනය ලෙසත්, වේද ආධිපත්‍යය නොපිළිගත් පාර්ශවයන් නාස්තික දර්ශනය ලෙසත් හැදින්වේ.
ආස්තික වාදීන් 1. සාම්ඛ්‍යය 2. ශෛක්ෂ 3. යෝග 4. න්‍යාය 5. පූර්ව මීමංසා 6. උත්තර මීමංසා ලෙස කොටස් / ගුරු කුල සයකි ( 6 ).
නාස්තික දර්ශනය 1. චාර්වක ( ෂට් ශාස්තෘන් අතුරින් 5 ක් ) 2. ජෛන ( නිර්ග්‍රන්ථ නාථ පුත්‍ර ) 3. බෞද්ධ (සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේ ) ලෙස දිශා තුනකි ( 3 ).
මේ වර්ගීකරණය දහම් පිටු 5 – 10 අතර විස්තර කර ඇති බැවින් මෙහි දී මෙපමණක් දක්වමි.
උපනිශද් යුගයේ පරිසමාප්තිය ගෞතම බුදුරජාණන්වහන්සේගේ පහළ වීමයි. එයින්, බුදු සසුන ලොව පහළ වී ඇති වූ අධ්‍යාත්මික විප්ලවය ජම්බුද්වීපය ( ඒ යුගයේ භාරතය එනමින් හැදින්විනි ) ආසියාව හා මුලු ලොවම ආලෝකමත් කරන ලදී.

දහම් පිටුව 779 – 2.9.7.

බෞද්ධ ඉන්දියාව සම්බුද්ධත්ව පරිනිර්වාණයට සියවස් පහකට පසු බොහෝ සේ යට ගිය අතර දස වන සියවස හෙවත් ව්‍යවහාර වර්ෂ පස් වන සියවස වන විට බෞද්ධ ඉන්දියාවක් පිළිබඳව ඉතිරි වී තිබුණේ අශෝක අධිරාජ්‍යයා ගේ බෞද්ධ පූජා භූමි ආශ්‍රිත ඉදිකිරීම් හා ඒ ඒ ප්‍රදේශයන් හි රජවරු කරවූ වෙහෙර විහාර, නාලන්දාව වැනි විශ්ව විද්‍යාල වේ.

ව්‍යවහාර වර්ෂ දස වන සියවස වන විට මෝගල් ඉන්දියාව බිහි වීම ඇරඹේ. ඉන්පසු ඒ බෞද්ධ උරුමය ද යට ගියේය.

ඉතිරි වන්නේ ථේරවාදී බෞද්ධ දර්ශනය රැකගත් දකුණු ආසියාතික ශ්‍රී ලංකාව හා අග්නිදිග ආසියානු කලාපය ට අයත් මියැන්මාරය, තායිලන්තය, ලාඕසය ආදී රාජ්‍යයන් වේ.
ටිබෙට්, චීන හා ජපානය දෙසට ථේරවාදයෙන් ඔබ්බේ බෞද්ධ දර්ශනය වෙනම ගමනක් ගොස් තිබිණි.

බෞද්ධ ඉන්දියාව යටපත් වූ පසු එහි ආගම් දෙකක් ප්‍රබල ලෙස ඉස්මතුවී එයි. ප්‍රධාන ස්ථානය හින්දු ආගම යි. ඒ බෞද්ධ දර්ශනය විසින් යටපත් වී තිබී යළි ඉස්මතු වීමයි. අනෙක ඉස්ලාම් ආගමයි.
ක්‍රිස්තියානි ආගමටත් සැලකිය යුතු ප්‍රතිශතයක් ඇත. අතීත දර්ශනය හා ජෛන සහ බෞද්ධ දර්ශනයන් කුඩා ප්‍රතිශත බවට පත් වී තිබේ. ( එහි වර්තමාන බෞද්ධ උරුමයන් ගේ ආරම්භය ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාල තුමා ඇරඹි මහා බෝධි සමාගම ඇතුලු මෑත ඉතිහාසයේ ඉන්දියානු බෞද්ධයන් වූ අම්බෙඩ්කාර් තුමා ආදීන් ගේ ක්‍රියාකාරකම් වේ.)

මෙසේ ක්‍රම ක්‍රමයෙන් ජම්බුද්වීපය හින්දුස්ථාන් බවට පත් විය. එහිම මෝගල් ඉන්දියානු යුගයක් ද විය. ඉන්දියානු ආභාශය තුළින් එහි පවතින ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් වලටද ලොව එම ආගම් ඇති සෙසු රටවල එම ආගම් වලට නොමැති ඇතැම් සංස්කෘතික අංග එකතු වී තිබේ. මේවා සියුම් විෂය කරුණු බැවින් වෙනම විස්තර කිරීමට බලාපොරොත්තු නොවේ.
වර්තමාන ඉන්දියානු හින්දු ආගම අතීත දේව චරිත වටා කේන්ද්‍ර ගත වී තිබේ. වේද ඇතුලු සංස්කෘත සාහිත්‍යය මගින් එම විශ්වාසයන් පෝෂණය වේ. ඉන්දියාව පුරා විසිරුනු හින්දු කෝවිල්, ඉස්ලාම් මස්ජිද හා ක්‍රිස්තියානි දෙව් මැදුරු ගණන අති මහත්‍ වේ.
ජේසුස් වහන්සේගේ එක් ශ්‍රාවකයකු වූ ශාන්ත තෝමස් මුනිතුමා ජේසුස් වහන්සේ ගේ සුබ පණිවිඩය රැගෙන ව්‍යවහාර වර්ෂ 35 දී පමණ ( පළමු සියවස ) ඉන්දියාවට පැමිණි බවත් එතුමා ජීවත් වූ කේරළ ප්‍රාන්තයෙහි ඉදිවූ ශාන්ත තෝමස් දෙව් මැදුරේ එතුමා ගේ ශරීරය මිහිදන් කළ බවත් ඉතිහාසයෙන් හෙළිවේ. ( ජේසුස් වහන්සේ ගේ අප්‍රකට පුවත් කාශ්මීරය හා සම්බන්ධය )

දහම් පිටුව 779 – 2.9.8.

වර්තමාන ඉන්දියානු හින්දු ආගමික විශ්වාස අතර ලෝකය දෙවියන් ගේ නිර්මාණයකි යන නිර්මාණ වාදයෙන් මහා බ්‍රහ්ම විසින් ජගත් ( පෘථිවිය ) හා නියාමා ( නියාමයන් ) අතර සරණ බන්ධනයෙන් වසන්ත, ගම්හාන, සරත්, සිසිර යන සිව් දරුවන් ( ඍතු සතර ) බිහි කරවීය යන්න මූලික විශ්වාසයකි.

ලෝකයේ පැරණිම මිනිසුන් ආදිම නමින් දැක්වේ. මනුෂ්‍ය වර්ගයාට සරස්වතිය ( විද්‍යා හා කලා ශිල්ප ) හා ශ්‍රී කාන්තාව ( වාසනාවන්ත බව ) යන දෙවගනන් ආශීර්වාද කෙරේ. මෙසේ මහා බ්‍රහ්ම මැවුම්කරු වේ.

ලෝකය පවත්වාගෙන යන්නේ හා කලින් කලට එහි ධර්මය පහළ කරන්නේ විෂ්ණු දෙවියන් ලෙස විශ්වාස කෙරේ. ලක්ෂ්මි දෙවගන විෂ්ණු දෙවියන් ගේ පතිනියයි. ඇය සෞභාග්‍යය හා ධනය සංකේතවත් කරන්නීය.
ලෝක ඉතිහාසයේ විෂ්ණු දේවාවතාර දසයකි. 1. මීන ( මත්ස්‍යයකු ලෙස ඒම ) 2. කුර්ම ( කැස්බෑවකු / උරගයකු ලෙස ) 3. වරහා ( වල් ඌරකු ලෙස ) 4. වාමන ( වානරයකු ලෙස ) 5. නර සිංහ ( හිස සිංහයෙකු ගේ වූ මිනිසෙක් ලෙස ) 6. ධනුර්ධ ( අඩක් දුනුවායකු වූ මිනිසෙක් හා අඩක් අශ්වයෙක් ) 7. රාම ( රාම රජු ) 8. ක්‍රිෂ්ණ ( ක්‍රිෂ්ණ මුනි ) 9. බුද්ධ ( බුදු හිමි ) 10. කලි ( අසකු පිට නැගී අසිපතක් රැගෙන යන්නා ) ලෙසය. මින් මේ වන විට දේවාවතාර 9 ක් පහළ වී අවසන් බව පිළිගැනේ.

ලෝකය අවසන් කරන්නා ලෙස ශිව දෙවියන් විශ්වාස කෙරේ.
ඊශ්වර හෙවත් ශිව දෙවියන් සම්බන්ධයෙන් ඇති විශ්වාසයන් හා හින්දු කෝවිල් වල ආකෘති පරීක්ෂා කොට ඇතැම් විද්‍යාඥයන් අදහස් දක්වන්නේ ( කෛශාල කූඨය ) හිමාලය වාස භූමිය කොට ගවයා සිය යානය කරගෙන, භාර්යාව වූ පාර්වතී හෙවත් දුර්ගා දෙවගන සමග දිවි සමක් ඇද යෝගීන් ගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටින මේ දෙවියන් අතීතයේ පෘථිවිය ට පැමිණි යම් බහිර් පෘථිවිය පුද්ගලයකු ( Alian ) බවය.
ඒ පැමිණි යානයේ ආකෘතිය අනුව දේව මන්දිරය හෙවත් කෝවිල් ගෝපුර නිම කොට ඇති බවය. ශිව දෙවියන් ගේ විනාශ කිරීමේ බලය පිළිබඳව අදහස පැවත එන්නේ පිටසක්වල පුද්ගලයා සතුව තිබූ යම් අවි බලයක් පිළිබඳව විය හැකි බවය. ශිව – පාර්වතී යුවළ ගේ දරුවන් පිළිවෙලින් අයේෂ් ( අයයර් දෙවි ), ගනේෂ් ( ගණ දෙවි ), මහේෂ් ( ස්කන්ධ දෙවි ) වේ. මේ තිදෙනා දකුණු ආසියාවේ විසිර ගියහ.

අයේෂ අය්යර් හෙවත් සුබ්‍රමනියම් දෙවියන් යනුවෙන් දකුණු ඉන්දියාවේ උසස්ම පුද පූජා ලබයි. එම දෙවියන් අවිවාහකය. වනයේ ව්‍යාඝයන් සමග දිවි ගෙවූ අතර කෝවිලේ ප්‍රථිමා දැක්වෙන්නේ ව්‍යාඝ්‍රයකු යානය කොට ගෙන සිටින අයුරිනි.

ගනේෂ හෙවත් ගණ දෙවියන් ප්‍රඥාවන්ත දෙවියන් ලෙස ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් පුද පූජා ලබයි. ඇත් හිසකින් යුතුව නිරූපණය කෙරේ. යානය මීයකු වේ. ගයත්‍රී දෙවගන ගණ දෙවියන් ගේ භාර්යාව වේ.

මහේෂ හෙවත් ස්කන්ධ දෙවියන් නතර වන්නේ ශ්‍රී ලංකාවේ කතරගමිනි. එබැවින් කතරගම දෙවියන් ලෙස ලක්වාසීන් අතර ප්‍රසිද්ධ වේ. කතරගම දෙවියන්ට කාවේරි අම්මා ( ඉන්දියානු භාර්යාව, කාවේරි පටුන ) සහ වල්ලි අම්මා ( ශ්‍රී ලාංකික භාර්යාව, සෙල්ලකතරගම ) ලෙස පතිනියන් දෙදෙනෙකි.

මේ සමගම මෙරට දේව ඇදහිලි හා විශ්වාස පිළිබඳව අපට සාකච්ඡා කළ හැක. ( මෙසේ ඉන්දියාවේ බ්‍රහ්ම,විෂ්ණු, ශිව ද රාම, ක්‍රිෂ්ණ, හනුමාන් ද සෙසු දෙවි දේවතාවන් ද ප්‍රධාන ඇදහිලි හා විශ්වාසයන් වන අතර ඔවුන් ගේ සුවිසල් කෝවිල් හි වාර්ෂික මංගල්‍ය පවත්වා වේල් රථ හා බලි නිර්මාණ ඉදි කොට පෙරහැරෙන් වීදි සංචාරය කොට සැනකෙළි පවත්වනු ලැබේ.)

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ අය්යනායක දෙවියන් ලෙස ඉහත කී අය්යර් දෙවියන්ද, රජරට ආරක්ෂකයා ලෙස මින්නේරි දෙවියන් නමින් මහසෙන් රජතුමා ද මහ නුවර දළදා මැදුරේ හා පූජනීය ස්ථාන රැකවරණය සලසන නාථ දෙවියන් නමින් මෛත්‍රිය බෝසතාණන් ද, ශ්‍රී පාද අඩවිය හා මහියංගනයට සුමන සමන් දෙවියන් ලෙස ප්‍රාග් ඓතිහාසික යුගයේ ප්‍රභූවරයකු ද, කැළණිය ට විභීෂණ දෙවියන් ලෙස රාවණ රජු ගේ සොහොයුරා ද, රුහුණේ සීනිගම දෙවොල් දෙවියන්, දෙවි නුවර උපුල්වන් දෙවියන් හා කතරගම ස්කන්ධ දෙවියන් ද පුද පූජා වලට ලක් වේ. ලක් සසුන රැකීම උපුල්වන් දෙවියන්ට පැවරී ඇති බවත් ලක් රජය රැකීම කතරගම දෙවියන්ට පැවරී ඇති බවත් ඉතිහාසය අනුව පෙනේ.
බෞද්ධ ඇසකින් මැදහත් සිතින් මේ දේව විශ්වාස දෙස බැලීම සුදුසුය.

ඡායාරූප / සිතියම් –

ඡායාරූපය 1 – හින්දු කෝවිලක්

ඡායාරූපය 2 – හින්දු ආගමික පුද පූජා සහ චාරිත්‍ර

.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top