SL Media Hub

SL Media Hub - Header

සත්‍යයේ සුගන්ධය ( 2 අදියර 11 පරිච්ඡේදය )සුරත් චාමර විදානපතිරණ

සත්‍යයේ සුගන්ධය SL_Media.Hub තුළින් මේ දක්වා කියවූ ඔබ මෙතෙක් පසු කර ආ පරිච්ඡේද 1 – 6 දක්වා පෙළ ගැසෙන්නේ සත්‍යයේ සුගන්ධය – 1 අදියර ලෙසය.

එහි වූයේ මා විසින් සිදු කළ විද්‍යාත්මක ගවේෂණය යි.

පරිච්ඡේද 7 සිට, 8,9 සහ 10 ත් දැන් ඔබ කියවන මේ 11 වන පරිච්ඡේදයත් ඔස්සේ ඉදිරියට දිගහැරෙන්නේ සත්‍යයේ සුගන්ධය – 2 අදියර යි.

2 වෙනි අදියර යටතේ විස්තර වන්නේ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය යි. ඒ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය තවදුරටත්….

11 පරිච්ඡේදය – කිතුනු සභාවල ඓතිහාසික ගමන් මග

ආදී ක්‍රිස්තු භක්තිකයන් මුහුණ දුන් කෲර රෝම වධ හිංසක යුගය අවසන් විය. ඒ රෝම අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් රජු ක්‍රිස්තු භක්තිකයකු වීමත් සමගය.

මේ ඉතිහාසය විස්තර කිරීම සදහා මම මා විසින් රචිත ෆේස්බුක් දහම් පිටුවෙහි
දහම් පිටු 779 – 2 අදියරේ 7 වන උප අදියරේ හි කොටස් 1 සිට 5 දක්වා පිටු ඉදිරිපත් කරමි.

දහම් පිටුව 779 – 2.7.1

ක්‍රිස්තු වර්ෂ හෙවත් ව්‍යවහාර වර්ෂ 5 වන සියවසේ දී රෝම අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් කිතු දහම පිළිගන්නා ලදී. ඒ අනුව කිතුනු ආගම නීත්‍යානුකූල වූ අතර එය රෝම අධිරාජ්‍යය පුරා නිල ආගම බවට පත් වන්නට විය. රෝමයේ එතෙක් පැවති රාජ්‍යය ලාංඡනය වූ රාජාලියා ඉවත් කොට ක්‍රිස්තු වහන්සේ ඇණ ගැසූ කුරුසිය රාජ්‍යය ලාංඡනය බවට පත් විය. යුරෝපය පුරා පැතිර තිබූ කිතුනු සභා සියල්ල ප්‍රධාන වශයෙන් ශාන්ත පීතර ( ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රධාන ගෝලයා වූ සයිමන් පේදුරු ) තුමා ගේ අනුප්‍රාප්තික ධූරාවලිය අනුව පැවත ආ සභාවේ නායකත්වය සම්ප්‍රදායය අනුව නිර්මාණය වී තිබූ පාප් වහන්සේ නම් තනතුර වටා කේන්ද්‍ර ගත විය. පාප් වහන්සේ රෝම අධිරාජ්‍යයේ අධ්‍යාත්මික නායකයා විය. මේ අයුරින් සකස් වෙද්දී කිතුනු සභාව භෞතික සම්පත් වලින් ආඨ්‍ය වන්නට විය. පාප් තුමා ගේ නායකත්වය යටතේ පූජක පක්ෂයක් සංවිධානය විය. වතිකානු දේව මාළිගය පාප් වහන්සේ ගේ නිල වාසස්ථානය විය. කිතුනු සභා ප්‍රධානීන් ගෙන් මුල් යුගයේ බලාපොරොත්තු වූයේ සාමාන්‍යයෙන් විවාහ වන්නේ නම් එක් විවාහයක් පමණක් කර ගන්නා ලෙසයි. ( එදා රෝම පාලනය තුළදීම බහු විවාහය පැරණි ලෝකයේ සම්මත චාරිත්‍රයක් වූ පරිදිම පැවතිනි ) එහෙත් විවාහ නොවී සභාවේ පදවි දරන්නේ නම් එය පැසසිය යුතු හා ජේසුස් වහන්සේ ගත කළ උතුම් ජීවිතය ට සමාන තත්වයේ ලා සැලකිනි. නමුත් දැන් පසු කාලීනව වතිකානුවේ ගත් තීරණ අනුව රෝමානු අධිරාජ්‍යයේ පැවති සභාවේ සභා පාලකයන් / පූජ්‍ය පක්ෂය අවිවාහකව සිටිය යුතු බවට සම්මත කරන ලදී. වතිකානුවේ නියෝජිතයන් වූ පියතුමන්ලා නොයෙක් රටවල ධර්ම දූතයන් ලෙස කටයුතු කිරීමේදී විශේෂයෙන් පෙරදිගට අයත් ප්‍රදේශ වල ඔවුන් දුටු පැවිදි පක්ෂයේ බඹසර රැකීම යහපත් ප්‍රවණතාවයක් ලෙස සලකා එය සභාවට යෙදීමට සම්මත කර ගන්නා ලදී. මෙසේ බයිබලය ව්‍යවහාර වර්ෂ 1 වන සියවසේ දී සම්පූර්ණ වූ පසු එහි ඇති ක්‍රිස්තුන් වහන්සේ හා උන්වහන්සේගේ ප්‍රේරිතයන් ගේ උපදෙස් පිළිපැදීම මෙන්ම ව්‍යවහාර වර්ෂ 5 වන සියවස වන විට පාප් වහන්සේ ගේ මූලිකත්වයෙන් ගනු ලබන වතිකානු තීරණ ද දිව්‍ය අනුමැතිය ලත් දේ ලෙස සැලකිනි. භෞතික සමෘද්ධිය තුළ හා බලය ලැබීම තුළ කිතුනු පූජක පක්ෂය රෝම පාලනය බිද වැටෙන විට ඒ ඒ ප්‍රදේශ රටවල් බවට පත් වෙමින් බිහිවූ යුරෝපයේ ඒ ඒ රටවල ස්වදේශීය පාලක පක්ෂය සමග එක්ව හවුලේ වරප්‍රසාද භුක්ති විදින පැලැන්තියක් විය. දැන් කිතුනුවන් බහුතරයක් අධ්‍යාත්මිකව දුගී තත්ත්වයට පත් ව සිටියහ. මෙසේ යුරෝපය ප්‍රවේණි දාසයන් වූ බහුතරයක් සාමාන්‍යය ජනතාව පෙළා ඔවුන් ගේ ප්‍රවේණික දේපොළ නඩත්තු කරවාගෙන සැප විදි රදළ රජ හා පූජක පක්ෂයන් සහිත වැඩවසම් අදුරු යුගයකට ගමන් කරනු ලැබිණි. මේ කාලය යුරෝපයේ කිසිදු අධ්‍යාත්මික හෝ භෞතික දියුණුවක් නොවූ යුගයකි.

දහම් පිටුව 779 – 2.7.2

දැන් අපි කතා කරන යුගය වන විට අරාබියේ ව්‍යවහාර වර්ෂ 5 වන සියවස ඇරඹෙන විට ඉස්ලාම් දහම බිහිව තිබුණි. ( එය මෙහිදී ඉදිරියේ වෙනම සාකච්ඡා කෙරේ ) ඒ අනුව ඉස්ලාම් රාජ්‍ය හා කිතුනු රාජ්‍ය අතර ජෙරුසෙලම සම්බන්ධයෙන් ආරවුලක් ඇති විය. මන්ද මේ දෙපක්ෂයම නම් දෙකකින් වෙන වෙනම එකම දෙවි කෙනෙකු ඇදහීම සිදු කළ අතර ඒ ආගමික විශ්වාසයට ජෙරුසෙලම ඍජුව සම්බන්ධ විය. තවද යුරෝපයේ විසිර සිටි ජුදෙව්වන්ද ඒ විශ්වාසය ම දැරූ බැවින් පාර්ශවයන් තුනක් ජෙරුසෙලමේ අයිතිවාසිකම් කීහ. ( යුදෙව්වන් ට මෝසෙස් දුන් ව්‍යවස්ථාව අනුව බිහි වූ තම අතීත රාජ්‍යයේ දෙව් මැදුර පිහිටි ස්ථානය හා අගනුවර යන පදනමින්, කිතුනුවන් ට සිය අධ්‍යාත්මික නායකයා වූ ක්‍රිස්තුස් වහන්සේ කුරුසිපත් වූ ස්ථානය යන පදනමින්, මුස්ලිම්වරුන් ට සිය අධ්‍යාත්මික නායකයා වූ මොහොමඩ් නබිසල්ලාහු අලෛවසල්ලම් තුමා දේව දූතයන් කැටුව පැමිණි චාරිකාවේ ගමනාන්තය වූ නුවර යන පදනමින් ) මෙය නොවිසදී තිබී යුද්ධයක් දක්වා වර්ධනය විය. ප්‍රධාන වශයෙන් යුරෝපා රජවරු හා අරාබිකරයේ රජවරු අතර සටන ඇතිවිය. ජය ගත් පක්ෂයට ජෙරුසෙලමේ අයිතිය හිමි වේ. මේ සංග්‍රාම මාලාව කුරුස යුද්ධ නමින් ඉතිහාසයේ සටහන් වේ. මේ යුද්ධ මාලාවේ ජය මුස්ලිම්වරුන් අත් කර ගත් හ. එහෙත් පරාජිත යුරෝපා රජවරුන්ට හා යුදෙව්වන්ට පලස්තීන මුස්ලිම් රාජ්‍යයට ඇතුල්ව ජෙරුසෙලමේ වන්දනා කටයුතු කිරීමේ නිදහස හා ඒ ඒ පූජ්‍ය ස්ථාන ඔවුන් වෙනුවෙන් ඉතිරි කිරීමට මුස්ලිම්වරුන් ( මේ මුස්ලිම්වරුන් බහුතරයක් අයත් වූයේ අරාබිකරයට වඩා සුළු ආසියාව, තුර්කිය යන ප්‍රදේශ වලටය ) ඉඩ හළහ. මෙසේ කුරුස යුද්ධ මාලාවේ අවසාන සිද්ධිය ලෙස ඉතිහාසඥයන් දක්වන්නේ ඔටෝමන් තුර්කි වරුන් විසින් එදා කොන්ස්තන්තිනෝපල් ලෙස හැදින්වූ ඉස්තාන්බුල් නගරය අත්පත් කර ගැනීමයි. මෙය අද තිබ්ලිසි ලෙස හැදින්වේ. මිහිමත ඇති සුන්දරතම ප්‍රදේශය කි. මෙහිදී ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ආදී පෞරාණික දැනුම් සංරක්ෂණාගාරවලින් ලේඛණ ඉවත් කර ගත් විද්වතුන් ඒවා යුරෝපය ට රැගෙන ආහ. යුද්ධයෙන් පරාජය වී පසු බෑ පිරිහුනු යුරෝපයේ නව වෙනසක් අවශ්‍ය බව සෑම තැනින්ම විද්‍යාමාන වන්නට විය. ඒ වෙනස ඇති කිරීමට යුරෝපයේ පිරිහී තිබූ කිතුනු ආගමට කළ නොහැකි කාර්යයක් විය. ඒ එයටද පුනර්ජීවනයක් අවශ්‍යව තිබූ බැවිනි.

දහම් පිටුව 779 – 2.7.3

යුරෝපයේ දැනුම සංසරණය වීම ඇරඹීම, විද්වතුන් ඉදිරිපත් වී සෑම දෙයක්ම ප්‍රශ්න කිරීම ඇරඹීම, නිදහසේ සිතීමට පටන් ගැනීම නිසා පාලක රදළ රජවරු හා පූජකවරුන්ට පාලනය කර ගත නොහැකි සමාජ පෙරළියක් වෙමින් පැවතිනි. ව්‍යවහාර වර්ෂ 10 වන සියවසේ සිට 15 වන සියවස දක්වා සියවස් 5 තුළ පෘථුල වශයෙන් යුරෝපයේ සෑම අංශයකම පුනර්ජීවනයක් ඇති වෙමින් පැවතිනි. මේ සමය යුරෝපයේ පුනරුදය ලෙස හැදින්වේ. යුරෝපයේ විද්‍යාත්මක ක්‍රමය දියුණු වන්නට විය. එය දැනුමේ මූලික පදනම විය. ඒ අනුව ඇති වන නව රැල්ල තුළ යුරෝපයේ විද්‍යාස්ථාන බිහි වන්නට විය. මේ තත්වය ප්‍රයෝජනයට ගෙන තමන්ටත් වඩා බලයෙන් වැඩී සිටි පූජක පක්ෂය පසු බැස්සවීමට කල්පනා කළ පාලකයෝ තම රටවල විශ්ව විද්‍යාල බිහි කරන්නට ගත් හ. මෙසේ යුරෝපයේ ලෝ පිළිගත් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ්, සෝබෝන්, මියුනික්, පීසා, ඇතෑන්ස් ආදී සරසවි බිහි වන්නට විය. මේ හරහා දැනුම රජ කරන යුගයක් උදා විය. මුලු යුරෝපයම වෙනස් වන්නට විය. අප දහම් පිටුවෙන් කලින්ද සාකච්ඡා කළ පරිදි යුරෝපයේ දේශපාලනික , ආර්ථික හා සමාජීය, සංස්කෘතික වෙනස්කම්, ප්‍රතිසංස්කරණ, පරිවර්තන හා විප්ලව ඇති විය. මෙය තනිකරම විද්‍යාත්මක ක්‍රමයෙන් දැනුම ලැබීම දියුණු වීමෙන් සිදු වූවකි. එයට පෙරදිග සමග සම්බන්ධයක් ඇත. මන්ද යුරෝපයේ දියුණු වූ සියලුම දැනුම් පද්ධති වල මූල ආකෘති පෙරදිගට අයත් වූ බැවිනි.

දහම් පිටුව 779 – 2.7.4

යුරෝපයේ රෝමානු කතෝලික ( Roman Catholic ) සභාව ලෙස ලොව පිළිගත් කිතුනු සභාව ට අමතරව යුරෝපයේ රුසියානු පෙදෙසට වන්නට මුල් කිතුනු සභා වලින් පැවත ආ ග්‍රීක් ඔර්තඩොක්ස් ( Orthodox ) කිතුනු සභාව විය. බිතාන්‍යයේ දෙවන ජේම්ස් රජු පුද්ගලික කරුණක් මත අමනාප වී පාප් වහන්සේ ගේ නායකත්වයෙන් ඉවත් විය. ඔහු එංගලන්තයේ පැවති කිතුනු සභාව වතිකානුවේ ග්‍රහණයෙන් ඉවත් කොට එය වෙනම එංගලන්ත සභාව ( Anglican ) ලෙස පවත්වන්නට විය. මේ අනුව එංගලන්ත සභාවේ නායකයා රජුම වේ. පූජ්‍ය පක්ෂය රජුට ගරු කිරීමේ අමුතු සම්ප්‍රදායයක් මෙයින් ඇරඹිනි. එංගලන්තයේ සභාවේ පූජකයන්ට විවාහ වීමේ අයිතියද ලබා දෙන ලදී. මෙසේ වතිකානුවේ බලය දෙදරන්නට ගත් සමයේ ශාන්ත පීතර බැසිලිකාව ( ප්‍රධාන වතිකානු දෙව් මැදුර ) ගොඩ නැගීම සදහා වූ පවුම් කෝටි ගණනක ව්‍යාපෘතිය ට සියලුම කිතුනුවන් මුදලින් ආධාර කළ යුතු බවත් එය ස්වර්ගයට යාමට හේතුවන පුඥ ක්‍රියාවක් බවත් පළ කොට පාප් වහන්සේ කිතුනු ලෝකයට විශේෂ පත්‍රයක් නිකුත් කරන ලදී. මෙහිදී ජර්මනියේ මාටින් ලූතර් නම් දේව ගැති තැන මේ නියෝගය වැරදි බවත් දෙවියන් මිනිසුන් ගෙන් සුඛෝපභෝගී දෙව් මැදුරු නොඉල්ලන බවත් අවශ්‍ය ජේසුස් වහන්සේ පෙන්වූ සහෝදර ප්‍රේමයේ මාවතේ ගමන් කිරීම බවත් ඒ ප්‍රකාශය වැරදි නම් පාප් වහන්සේ හා ඕනෑම වාදයකට තමා සූදානම් බවත් දන්වා පාප් වහන්සේ වෙත භිත්ති ලිපියකින් දැන්වීය. නොහික්මුනු දේව ගැති තැන අත් අඩංගුවට ගැනීමට පාප් වහන්සේ නියෝග කළ බැවින් මාටින් ලූතර් තෙමේ බැවේරියාවට පලා ගියේය. එහිදී එතුමා ගේ අභිලාෂයන් අවබෝධ කරගත් සිටුවරු විසින් කිතුනු සභාවේ අධ්‍යාත්මික විප්ලවයක් කළ හැකි තැනැත්තකු ලෙස සලකා මාටින් ලූතර් තුමාට රැකවරණය සැපයීය. සාමාන්‍යය ජනයාට ජේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් ඇතුලත් ලියවිලි ලබා දීමට වතිකානු පූජක පක්ෂය සියවස් ගණනක් කටයුතු කර නොතිබූ බැවින් ශුද්ධ බයිබලය හා එහි ලේඛණ එතුමා විසින් සියතින්, සාමාන්‍යය ජනතාවට කියවිය නොහැකිව තිබූ උගතුන්ට පමණක් සීමා වී තිබූ ලතින් බසින් ජර්මන් බසට පරිවර්තනය කර බෙදා හැරීමට කටයුතු කරන ලදී. මෙසේ වතිකානුවේ සිරකර තිබූ බයිබලය යුරෝපයේ පොදු ජනයා ගේ අතේ නිතර ගැවසුනු හස්තසාර ග්‍රන්ථයක් විය. ඒ හරහා සියවස් ගණනක් යට වී ගොස් තිබූ ජේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් යළි ඉස්මතු වී කිතුනු සභාවේ පිබිදීමක් ඇති විය. මෙය යුරෝපයේ ආගමික අංශයේ ඇති වූ පුනරුදය යි. මේ අයුරින් පසුව ඇංග්ලිකානු සභාවේ ඇතිවූ පිරිහීම පෙන්වා දී ඇංග්ලිකානු දේව ගැති ජෝන් වෙස්ලි විසින් මෙතෝදිස්ත සභාව ( Methodist ) ද, එයින් පසුව බැප්ටිස්ට් ( Baptist ), ගැලවීමේ හමුදාව ( Salvation Army ) යනාදී පිළිගත් කිතුනු සභා රැසක් ඇති විය. පෙන්තකොස්ත ( Penticostal ) සභා හෙවත් නිදහස් කිතුනු සභා මේ සභා ව්‍යාප්ත වීමේ සම්ප්‍රදායේ හටගත් ආගමික රැල්ලකි. මෙබදු සභා අද ලෝකයේ අති විශාල සංඛ්‍යාවක් තිබේ. බයිබලය ද මුද්‍රණ යන්ත්‍ර ක්‍රමවල දියුණුව සමග යුරෝපයේ හා ලෝකයේ නොයෙක් බසට පෙරැළී ලොව වැඩියෙන්ම මුද්‍රණය වූ ග්‍රන්ථයක් බවට පත් වී තිබේ. මෙයට එංගලන්තයේ කුඩා දැරියක ගේ උත්සාහයේ ප්‍රථිඵලයක් ලෙස ඇරඹි අන්තර්ජාතික ස්වාධීන බයිබල් සමාගම විශාල හේතුවක් විය.

දහම් පිටුව 779 – 2.7.5

යුරෝපයේ රාජ්‍ය‍යන් විද්‍යාත්මක දැනුමෙන් බලවත් වීම සමග දේශ ගවේෂණය සදහා සංචාරය සහ ඒ හරහා තම තමන් ගේ රාජ්‍යයන් යස ඉසුරින් පොහොසත් කර ගැනීම උදෙසා අන් රටවල් කොල්ලකෑමේ වැඩ පිළිවෙළ හෙවත් යටත් විජිත අධිරාජ්‍යවාදය ආරම්භ විය. පෘතුගාලය, ස්පාඤ්ඤය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ඕස්ත්‍රියාව, පෝලන්තය, නෝර්වේ හා ස්වීඩන් ඇතුලු යුරෝපා රටවල් රැසක් මේ අධිරාජ්‍යවාදී පොරයේ නිරතව උන් හ. ඔවුන් අප්‍රිකානු මහාද්වීපයේ හා ආසියානු මහාද්වීපයේ මූලික වශයෙන් යටත් විජිත ඇති කළ අතර පසුව උතුරු හා දකුණු ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව ද ග්‍රහනයට නතු කර ගත් හ. මේ යටත් විජිත වාදය තුළ කිතු දහම දෙයාකාරයකින් භාවිතා විය. රාජ්‍ය පාලකයෝ තම රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් ලෙස කිතු දහම අනිසි ලෙස භාවිතා කළහ. එය බහුල ලෙස සිදුවූ දෙයයි. නමුත් සැබෑ ලෙසම කිතු දහමේ අධ්‍යාත්මික අගයන් ක්‍රියාවට නැගූ පුද්ගලයන් ද ඒ අතර නොසිටියා නොවේ. ඒ විරලව සිදු වූ දෙයයි. මේ සංකීර්ණ තත්වය අප කලිනුත් දහම් පිටුවේ ලංකාවේ පෘතුගීසී යුගය සාකච්ඡා කිරීමේදී කුටිඥ පියතුමා, ජෝසප් වාස් පියතුමා ආදී චරිත ඇසුරින් පහදා දුනිමු. අද ඒ අතීත යටත් විජිත යුගයෙන්, ජ්‍යාත්‍යාන්තර වහල් වෙළදාම සිදු වූ යුගයෙන්, කලු සුදු වර්ණ භේදය තිබූ යුගයෙන් ලෝකය පාඩම් ඉගෙන ගෙන ඉවත් වී ඇති නව සියවසකි. එහෙත් අප වරින් වර දහම් පිටුවෙන් දැක්වූ ගෝලීය සුපිරි බල ව්‍යුහය තුළ තවමත් නොපෙනෙන ලෙස ක්‍රියාත්මක නූතන ගෝලීය අධිරාජ්‍යවාදය තුළ කිතුනු ආගම ඉත්තකු ලෙස භාවිතා කෙරේ. මේ සම්බන්ධයෙන් දැනුවත්ව නැගී සිට සිය යහපත් ආගමේ වටිනාකම් රැක ගැනීම සෑම අවංක කිතුනුවකුගේම වගකීම බැව් සහෝදරත්වයේ දෑත් දිගුකොට සියලුම අවංක කිතුනු පූජ්‍ය හා ගිහි පක්ෂයෙන් දහම් පිටුව ඉල්ලා සිටී.

ඡායාරූපය –

වර්තමාන කිතුනු දෙව් මැදුරක දේව මෙහෙයක්

මෙහි සදහන් වූ ෆේස්බුක් දහම් පිටුව සිංහල පේජය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය වූ The Doctrine Page වලට,
ඔබට මේ SL_Media.Hub වෙබ් අඩවියේ Astrological Tips යටතේ වූ ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 5 වන පරිච්ඡේදය ) ලිපිය අග පළ කර ඇති ලින්ක් / සබැදීන් ඔස්සේ ‍යා හැක.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top